Ads 468x60px

.

එප්පාවල සමූහ මරණවල ඉතිහාසය ...

මෙය කිසිවකු විසින් නොඇසිය යුතු නොදැකිය යුතු නො මිනිස් කුරිරු ඝාතනයකි.ළදරු කාලයේ මවුපියන් මිය ගිය පසු තමන්ට කවා පොවා නාවා අකුරු කරවා ඇති දැඩි කර ගත් අම්මා කෙනෙකු මෙන්වූ තම අක්කලා දෙන්නා තමන් ගේ අතට පත් පොරවෙන්ම කපා කොටා පෙති ගසා මරා දැමීම ඇදහිය හැකිද?
එක බඩවැල කඩාගෙන එක කුසින් මෙලොවට පැමිණ එක කිරි කෝඩුවෙන් කිරි උරා එක වහල යට එක බත්පත බෙදා ගෙන කෑ සහෝදර සහෝදරියන්ට මෙසේ මරා ගත හැකිද?.

 2003 වසරේදී එප්පාවල කටියාව යාය 2 විදුහල් භූමියේදී අත් බෝම්බයක් පුපුරා යෑමෙන් සිසුහු හය දෙනෙක් මරුමුවට පත්වූහ. සිසුවකු අහුලාගත් අත් බෝම්බයක් පරීක්‍ෂා කරද්දී පිපිරීම සිදු විය. මරුමුවට පත් සිසුන් යාය 2 කටියාව ප්‍රදේශයේ පදිංචිකරුවෝය.

එප්පාවල සඳරැස්ගමදී එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනා නිවෙස තුළදීම ඝාතනය කරනු ලැබිණි. සඳරැස්ගම පදිංචි කේ. ඒ. දයාරත්න (48) පියා, මාලනී ජයසිංහ (42) අයනි උදේශිකා (17) ක්‍රිෂාන් දිල්හාර (13) මෙසේ ඝාතනය කරනු ලැබිණි. 2010 ජූලි 11 වැනිදා ඝාතනය කළ මේ සිවුදෙනාගේ සිරුරු පොලිසිය සොයා ගත්තේ ජූලි 14 වැනිදායි. මේ ඝාතන සම්බන්ධයෙන් සැක පිට තරුණයකු අත්අඩංගුවට ගැනිණි. ඔහු දයාරත්න යුවළගේ නිවෙසේ හැදී වැඩුණු අයෙකි. දයාරත්නගේ පවුලේ අය සමඟ තිබූ තරහකට ඝාතන සිදු කළ බව හෙළි විය. ඔහු තවමත් රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

2011 දෙසැම්බර් 09 වැනිදා එප්පාවල කඩිගාව ප්‍රදේශයේදී එකම පවුලේ අක්කා නෙඟී සහ අක්කාගේ පෙම්වතාගේ මළ සිරුරු කඩිගාව ප්‍රදේශයේ කැලෑවක ගසක එල්ලෙමින් තිබියදී හමු විය. මෙසේ මියගියේ එප්පාවල කඩිගාව පදිංචි දිල්ෂානි කුමාරි වික්‍රමරත්න (17) ඇගේ නැගණිය ආර්. එම්. ගංගානි ඉෂංකා (15) සහ හිටපු කමාන්ඩෝ සෙබළකු වන රුවන් ප්‍රේමජයන්ත මෙසේ සියදිවි නසාගෙන තිබිණි. පවුලේ ආරවුලක් මේ සිද්ධියට හේතු විය.

2011 දෙසැම්බර් 17 වැනිදා එප්පාවල යාය 01 කටියාව ජනපදයේ පදිංචි එකම පවුලේ සිවුදෙනකු ඝාතනය කරනු ලැබූහ. මන්නාදි පතිරන්නැහැලාගේ සීතා සෝමලතා (55) මහත්මිය ඇගේ නැගණිය මන්නාදි පතිරැන්නැහැලාගේ ස්වර්ණා සෝමලතා (50) ඇගේ දියණිය නිලූකා චාන්දනී (23) සහ සැමියා හමුදා සෙබළ මධුශංක පෙරේරා (25) මෙසේ ඝාතනය කරනු ලැබිණි. සැකකරුවන් දෙදෙනා සීතා සෝමලතා මහත්මියගේ සොයුරන් බව පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය විය. ඉඩම් ආරවුලක් මත මේ ඝාතන සිදු කළ බව හෙළි විය. සැකකරුවකු අනුරාධපුර පොලිසියට බාර වූ අතර සෙසු සැකකරු තඹුත්තේගම දී අත්අඩංගුවට ගැනිණි. සැකකරුවෝ දෙදෙනා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.


පශ්චාත් යුද සමය

යුද්ධයක් තිබුණු කාලයකදී මේ ගුණ ධර්මයන් කාල්ගා බලමින් හමුදා සෙබළුන් තෝරා ගැනීමට කාල වේලාවක් තිබුණේ නැත. එකම අරමුණ යුද්ධයේ ජයග්‍රහණය පමණක් වන බැවිනි. මේ නිසාම ඔවුන් බහුතරයකට යුදමය පුහුණුව හැරෙන්නට වෙනත් මානව ගුණ ධර්ම පිළිබඳ පුහුණුවක් ලැබෙන්නේ නැත. මේ නිසා ඉවසීම රඳා සිටීමේ ගුණය ඔරොත්තු දීමේ හයිය ඔවුන් ළඟ ඉතාම අඩුය. ආයුධ ලේ මරණය යන මානසිකත්වයට පෙළ ගැසී සිටින ඔවුහු නිතර ප්‍රශ්න විසඳන්නට යන්නේ ඒ මානසිකත්වයෙනි. මෙබඳු සෙබළුන් යළි සමාජයට මුදා හැරීමට පෙර ඔවුන් යුද මානසිකත්වයෙන් මුදා ගැනීමේ මානසික මෙහෙයුම් සිදු කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. එසේ නොවන්නට සිදුවන්නේ මිනීමරුවන් පිරිසක් සමාජ ගත කිරීමය. අද අපේ රටේ තැනින් තැන හෝ මේ දුර්ගුණය දකින්නට ලැබෙන්නේ ඒ නිසාය.

පසුගිය වසර අටක කාලය ඇතුළත එප්පාවල ප්‍රදේශයේ පොකුරු මරණ කීපයක්ම සිදු වුණි. 2003 දී එප්පාවල කටියාව යාය 2 විදුහලේදී බෝම්බයක් පිපිරී යාමෙන් දරුවන් හය දෙනකු එකම තැන මිය ගියහ. එම බෝම්බය යුද සෙබළකු විසින් ගෙනැවිත් සඟවා තැබු පුද්ගල නාශක බෝම්බයකි. ඊළඟට 2009 දී එප්පාවල සඳරැස්ගමදී එකම නිවසේ හතර දෙනකු එකම තැන ඝාතනය කරනු ලැබූහ.නැවත 2011 දෙසැම්බර් 09 වෙනිදා එප්පාවල කටියාව ප්‍රදේශයේදී තිදෙනකු එල්ලී මිය ගියහ. ඒ අතරින් එක් අයකු පිරිමියෙකි. ඔහු යුද හමුදා සෙබළෙකි. ඊළඟට 2001 දෙසැම්බර් 17 වෙනිදා එප්පාවල කටියාව යාය එක ජනපදයේ අංක 110 දරන නිවසේ පදිංචිව සිටි හතර දෙනාම ඝාතනය කරනු ලැබූහ. මේ ඛේදවාචකයටද හිටපු හමුදා සෙබළකුගේ සම්බන්ධතාවක් තිබුණි.එප්පාවල ප්‍රදේශයට සිදුවී ඇති මේ විපත්තිය ගැන උතුරු මැද පළාතේ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි දයානන්ද මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.


චර්යාධර්ම

මෙය එප්පාවල ප්‍රදේශයේ වරදක් නෙමෙයි. මිනිසුන්ගේ චර්යා ධර්මවල නාය යෑමක්. සඳරැස්ගම සිද්ධිය පළිගැනීම මුල්කරගත් ඝාතනයක්. කටියාව සිද්ධිය මෝඩකම මුල් කර ගත් සිද්ධියක්.කටියාව ඛේදවාචක ය තණ්හාව නිසා ඇතිවූ සිද්ධියක්. මේවායින් පෙන්නුම් කරන්නේ මිනිසුන් මානව ගුණධර්ම වලින් ඈත්වී කෙටි මාර්ගවලින් ප්‍රශ්න විසඳන්නට යන බවයි. මේ නිසා එප්පාවල ප්‍රදේශයේ ජනතාව මානව ගුණ ධර්ම වලින් යළි පෝෂණය කිරීමේ මෙහෙයුමක් කළ යුතුව තිබෙනවා.කටියාව සිවු මිනිස් ඝාතනයට මුල්වී ඇත්තේ ඉඩම් ආරවුලක්. මේ ආරවුල ගොඩනැගී ඇත්තේ එකම පවුලේ අය අතරයි.

මේ ජනපදයේ හැම පවුලකටම රජයෙන් අක්කර එකහමාරක ගොඩ ඉඩමක් ලැබී තිබේ. මෙහි මුල් ඉඩම් ලාභීන් දැනට මිය ගොසිනි. දැන් සිටින්නේ පවුලේ මැදිවිය පසුකල දුවා දරුවන්ය. මේ ඉඩම දරුවන් තිදෙනකුට අක්කර බාගය බැගින් මවුපියන් විසින් ලියාදී තිබුණි. නමුත් ඉඩම බෙදා හදා ගැනීමේදී සහෝදර සහෝදරියන් අතර අර්බුද මතුවී ඇත. වරක් මේ පිළිබඳව කෝලාහලයක් ඇතිවී පොලිසිය හරහා උසාවි ගොස් ඇප පිට නිදහස්ව පැමිණි අයද මේ අතර සිටිති. තවමත් ඒ නඩුව උසාවියේ පවතී.


ඉඩම් ආරවුල

මේ ඉඩමේ අංක 110 දරන නිවසේ පදිංචිව සිටියේ සීතා හේමලතාය. (55) ඇයගේ සැමියා නැත. විසිතුන් හැවිරිදි නිලුකා චාන්දනී පතිරණ ඇයගේ දියණියයි. මැය හමුදා කෝප්‍රල් මධුසංඛ පෙරේරා (23) සමග මෑතකදී විවාහ වුවාය. ඒ දෙපළද එම නිවසේම පදිංචිව සිටියහ. මධුසංඛ හමුදා සේවයට ගොස් නිවාඩුවට ගෙදර පැමිණෙයි.

එතෙක් ගෙදර ඉතිරි වන ගැහැණු දෙදෙනාගේ තනි නොතනියට සීතා හේමලතාගේ නංගී මාලනි ස්වර්ණලතා (49) මේ ගෙදර පදිංචිව සිටියාය. ඉඩම් ආරවුලට අමතරව වත්තේ ගසක් කපා ඉරාගෙන සීතා හේමලතාගේ නිවසේ තිබු ලී වගයක් පිළිබඳවද අර්බුදයක් මතුවී තිබුණි.

මධුසංඛගේ උපන් දිනය යෙදී තිබුණේ දෙසැම්බර් 18 වෙනිදාටය. සිය බිරිය සහ පවුලේ අය සමග එකතුව උපන් දිනය ගත කර න්නට මධුසංඛ හමුදා සේවයෙන් නිවාඩු ගෙන 17 වෙනිදා ගෙදර ආවේය. එදා රාත්‍රි කෑමට ලොකු අම්මා වන රූපලතාගේ (61) පුතාවන රෝහණ චින්තක කුමාරද මධුසංඛලාගේ නිවෙසට පැමිණ සිටියේය. ඔහුද හමුදා කෝප්‍රල් වරයෙකි. සියලු දෙනා එක්ව රාත්‍රි කෑම ගැනීමෙන් පසු රාත්‍රි නමයට පමණ රූපවාහිනිය වට කොට ගෙදර කවුරුත් වාඩි වුහ. රොහණ චින්තක කුමාර රෑ බෝවීම නිසා ආපසු සිය නිවෙස බලා ගියේය.


රණවිරු මධුසංඛ

මධුසංඛ රට ජාතිය බේරා ගැනීමේ සටනේදී ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ වීරෝදාර රණවිරුවෙකි. යුද බිමේදී ඔහුගේ බඩට උණ්ඩයක් වැදී බඩවැල එළියට පැන දඟලද්දී බඩ වැල අතින් තද කර ගෙන රෝහලට ගොස් ශල්‍යකර්මයකින් සුවය ලබා සිටි අයෙකි. නැන්දම්මා වරු දෙදෙනා සහ බිරිය සමග මධුසංඛ රූපවාහිනිය බලමින් සිටියේය. අහල පහල අය කවුරුත් නෑදෑයන් නිසා ඔවුන් දොර වසා තැබුයේ නැත. රෝහණ චින්තක කුමාර දොර ඇරගෙන ගිය ගමන් දොර ඇර තිබිණි.

ඒ අවස්ථාවේ රාත්‍රි 9.45ට පමණ ආයුධ සන්නද්ධ කීප දෙනකු ඇර දමා තිබුණු දොරෙන් ඇතුළු වී ආරාවුල් පිළිබඳව සීතා හේමලතා සහ මාලනී ස්වර්ණලතා සමග බහින් බස් වන්නට ඇත. මෙහිදී සීතා විසින් එක් සැකකරුවකුගේ අතට පිහියෙන් කෙටීම නිසා ඇඟිල්ල කැපී යාමෙන් වියරු වූ ඔහු ළඟ සිටි මධුසංඛ ඇඳ සිටි සරම උදුරා ගෙන ඇඟිල්ල වෙලා ගෙන ගෙයින් පැන ගිය සීතා ලුහුබැඳ ගොස් පොරවෙන් කොටා මරා දැමූ බවටද පොලිස් පරීක්ෂණවලදී තොරතුරු ලැබී තිබේ. අනෙක් තිදෙනා රූපවාහිනිය බලමින් සිටි තැනම මරා දමා ඇත. සිරුරේ තැන් තැන්වලට කොටා අතපය කපා දමා තිබුණි. මුළු කාමරයම එකම ලේ විලක් බවට පත්වී තිබිණි.


පරීක්ෂණය

මේ සිවු මරණ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට තඹුත්තේගම වැඩබලන මහේස්ත්‍රාත් පුෂ්පපානී වික්‍රමසිංහ මහත්මිය පැමිණි අතර උතුරුමැද පළාතේ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි දයානන්ද මහතාගේ මෙහෙයවීම යටතේ එප්පාවල පොලිස් ස්ථානාධිපති විජය කුමාරසිරි මහතා සමග පොලිස් පරීක්ෂක සන්තක එදිරිසිංහ මහතාද සාක්ෂි මෙහෙයවූහ. පොලිස් පරීක්ෂක විජේකෝන් උප පොලිස් පරීක්ෂක දිසානායක මහතා ඇතුළු එප්පාවල පොලිසියේ නිලධාරින් පිරිසක් පරීක්ෂණවලට සහාය වූහ. මෙම පරීක්ෂණ කටයුතු මෙහෙයවමින් සිටියදී එක් සැකකරුවකු අනුරාධපුර පොලිසියට බාරවූ බව වාර්තා විය. තවත් සැකකරුවන් මීට සම්බන්ධ වී ඇතැයි ලැබී ඇති හෝඩුවාවල් අනුව එප්පාවල පොලිසිය දිගටම පරීක්ෂණ කටයුතු කර ගෙන යයි.

ජනපද ඉඩම්වල අයිතිය බෙදී යාමේදී තවමත් පවතින්නේ සුද්දා කාලයේ හැදු නීතිය. මේ නීති රීති අනුව ජනපද ඉඩම්වල නීත්‍යානුකූල පසු අයිතිය ලැබෙන්නේ පවුලේ වැඩිමහල් දරුවාටය. සාමයෙන් සහෝදර ත්වයෙන් බෙදා හදා ගත්තොත් මිස දරුවන්ට මවුපියන් බුක්ති විඳින ලද ඉඩම් වල අයිතිය ලැබෙන්නේ නැත. දැන් පවතින මහවැලි ඉඩම්වල අයිතිය පැවරෙන්නේද ඒ අන්දමටය.මෙය පවුලේ දරුවන් මුණුබුරන් අතර ආරවුල් නිර්මාණය කරන නීතියකි. මේ නීතිය නිසා ඇතිවූ ඉඩම් ආරවුලකදී කටියාව යාය නමය ජනපදයේ ජනපද ඉඩම හිමි එක් වියපත් පුද්ගලයකුද සිය මුණුබුරන් විසින් මරා දමන ලදී. මේ නිසා මෙබඳු මරණවලට පාදක වන ජනපද ඉඩම්නීතිය ප්‍රතිශෝධනය කිරීමට අදාළ බලධාරීන් වහා පියවර ගත යුතුය.

කටියාව යාය එක ජනපදයේ අංක 110 නිවසේ පදිංචිව සිටි සියලු දෙනාම ඝාතනයට ගොදුරුවීම නිසා දැන් මුළු නිවෙසම අයිති කරුවකු නැතිව පාළුවට ගොස් තිබේ.මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් පරීක්ෂණ සඳහා මළ සිරුරු හතරම අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගෙන යනු ලැබීය. දැන් මේ ජීවිත හතරට ඉඩමක් නැත. ගෙයක් නැත. හරි හම්බ කර ගත් දෙයක් නැත.
මේ අවමගුල් කටයුතු කරන්නට මධුසංඛගේ පියා සහ නෑදෑ පිරිසද සීතා හේමලතාගේ නෑදෑ පිරිසද එක් වී සිටිති. මීට අමතරව කටියාව යාය එක ජනපදයේ මරණාධාර සමිතිය මුල්වී අවමංගල කටයුතුවල බර කරට ගෙන ඇත.

පසුගිය සතියේ දෙසැම්බර් 09 වෙනිදා එප්පාවල කටියාව ගමට තරුණ ජීවිත තුනක් නැති විය. මේ සතියේදී දෙසැම්බර් 17 වෙනිදා එප්පාවල කටියාව ජනපදයට තරුණ ජීවිත දෙකක් සමග ජීවිත හතරක් නැති විය. මේ පිළිබඳව එප්පාවල මහ මාංකඩවල ශ්‍රී පියරතන නාහිමියෝ ‘තණ්හාය ජායතී ශෝකෝ’ යන බුදු වදන නැවතත් මේ මරණ හරහා සනාථ වූ බව පැවසූහ. යළිත් මෙබඳු ඛේදවාචක එප්පාවල ඇති නොවේවායි අපිද ප්‍රාර්ථනය කරමු.



 
Related Posts with Thumbnails