Ads 468x60px

.

ඉදිරියේදී ඉතා අමාරු කාලයක්‌

පොළී අනුපාත ඉහළ යන්නට පටන් ගෙන ඇති අතර රුපියල ද පිරිහෙමින් තිබේ. ඉදිරියේදී තවදුරටත් රුපියල පිරිහීමට ඉඩ ඇති බව ද ආර්ථික හා මූල්‍ය අංශ ආරංචි මාර්ගවලින් අපට දැනගන්නට ඇත. මේ තුළ ඛනිජ තෙල් ඇතුළු බොහෝ ආනයනික භාණ්‌ඩවලද මිල ගණන් ඉහළ යැමට ඉඩ තිබේ. 


ඊට අමතරව බොහෝ අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්‌ඩ ආනයනය කිරීමේ සීමාවන් හෝ බදු ඉහළ නැංවීම් සිදුවීමට ද ඉඩ ඇත. ආනයන පාලනය කර ගැනීම හරහා වෙළෙඳ හිඟය පාලනය කර ගැනීම මෙහි අරමුණ වී තිබේ. මේ අනුව ළඟ එමින් තිබෙන්නේ ශ්‍රී ලංකා ආර්ථිකයට තරමක අමාරු කාලයක්‌ බවට බොහෝ ලකුණු පහළ වී ඇති බව කිව යුතුය.

ඉකුත් පෙබරවාරි 03 වැනි සිකුරාදා සිට මේ දක්‌වා ගෙවීගිය දින කීපයේදීම රුපියල සුළු වශයෙන් පිරිහීමට ලක්‌විය. මේ අනුව රුපියලේ අගය තීරණය වීමේදී ඉකුත් සිකුරාදා සිට යම් තරමකට වෙළෙඳපොළ බලවේගවලට ඉඩදීමට ආර්ථික බලධාරීන් තීරණය කර තිබීම මෙයට හේතුවයි. 


දැනට පවතින ආනයන විශාල වශයෙන් ඉහළ යමින් වෙළෙඳ හිඟය පුළුල් වෙමින් පවතින තත්ත්වය හමුවේ රුපියලේ හෙට දවස කුමක්‌ වේද? මෙසේ පිරිහීමට ලක්‌වෙමින් ඩොලරයත් රුපියලත් අතර විනිමය අනුපාතය කවර අගයක නවතීද? මේ ප්‍රශ්න අප හමුවේ තිබේ.

රජයක්‌ ලෙස ආනයන පාලනය කර ගනිමින් ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග හමුවේ ජනතාවට යම් යම් අමාරුකම්වලට මුහුණදීමට සිදුවීමද වැළැක්‌විය නොහැකිය. ඒ තුළ විදෙAශ භාණ්‌ඩ මිල ඉහළ ගියහොත් අපට සිදුවන්නේ එවැනි භාණ්‌ඩ පරිභෝජනය හැකිතාක්‌ අවම කර ගනිමින්, දේශීය භාණ්‌ඩ පරිභෝජනය කිරීමටය. 


විදේශීය ආනයනික භාණ්‌ඩ අවශ්‍යම නම් එහිදී අපට වැඩි මිලක්‌ ගෙවීමට ද සිදු වනු ඇත. මීට අමතරව ඛනිජතෙල් මිල ගණන් සඳහා දැරීමට සිදුවන පිරිවැය ඉහළ යැමෙන්, දේශීය ඉන්ධන මිල ගණන් ඉහළ යැමට අමතරව, සමස්‌ත මිල මට්‌ටම ඉහළ ගොස්‌ ජනතාවගේ ජීවන බර ඉහළ යැමට ද මේ තත්ත්වය බලපායි. 

මේ නිසා ඉදිරියේදී බොහෝ දුරට උදාවනු ඇත්තේ ආර්ථික කළමනාකරණයට මෙන්ම ජනතාවටද අමාරු යම්තාක්‌ දුරකට පටි තදකර ගත යුතු දුෂ්කර කාලපරිච්ඡේදයකි. මෙවැනි දුෂ්කර කාලයක්‌ සඳහා සූදානම්වීමට සියලු දෙනාටම සිදුවනු ඇත. 

මෙහිදී ආර්ථික බලධාරීන් කළ යුතු වන්නේ ශ්‍රී ලංකා ආර්ථිකයට මුහුණදීමට සිදුවන ආර්ථික අර්බුදයන් හැකිතාක්‌ ප්‍රශස්‌ත අයුරින් කළමනාකරණය කර ගනිමින් පොදු මහජනතාවට දැනීමට ඉඩ තිබෙන අසහනය හැකිතාක්‌ අවම කිරීමට පියවර ගැනීමයි. 

මෙහිදී මහ බැංකුව සහ මහා භාණ්‌ඩාගාරය ද ආර්ථික තීන්දු තීරණ සම්බන්ධයෙන් වන මතභේද ඉවත දමා මහජනතාව වෙනුවෙන් මේ ප්‍රශස්‌ත ආර්ථික කළමනාකරණයට දායක විය යුතු බව අපගේ අදහසයි.
 
Related Posts with Thumbnails