Ads 468x60px

.

කුසපබා සම නිෂ්පාදිකා රේණුකා බාලසූරිය කතා කරයි

රේණුකා..."කුස පබාවතී" ගැන තෘප්තිමත්ද?
ඔව්.... ඇත්තටම සුනිල් ආරියරත්න මහාචාර්යතුමා පිටපත පළමුව දුන්නේ මට. මම එය සෝමෙට දුන්නා. තිස්‌ස අබේසේකරයන් ලියූ මේ පිටපත පළමුව කියෑවූයේ මම. මට පුදුමාකාර ආශාවක්‌ ඇති වුණා... මේ පිටපත ගැන. ඒ 2008 දී. ඒ කාලේ අපට සල්ලි තිබුණේ නැහැ... නිෂ්පාදනය කරන්න. 'සංකාරා' කළ අලුතනේ. ඒ නිසා ඒ පිටපත යටගියා. මේ අතර චිත්‍රපට නිර්මාණකරුවන්ගේ සංසදයට යෝජනා කළා චිත්‍රපටයක්‌ කරමු කියලා. 


මමත් සෝමෙත් මහාචාර්යවරයාට තමයි ඒ යෝජනාව කළේ... අපි ඉල්ලීමක්‌ කළා මහාචාර්යතුමාගේ 'කුසපබා' පිටපත පළමුව බලමු කියලා. අපි හිතුවා සංසදය ඇතුලේ ඉන්න කෙනෙකුගේ පිටපතක්‌ කලින් කරනවාට වඩා තිස්‌ස අබේසේකරයන්ගේ පිටපතක්‌ කරන එක හොඳයි කියලා. කවුරුත් ඊට එකඟ වුණා. මම වැඩක්‌ භාරගත්තාම අවසාන ප්‍රතිඵලය දකින දවසත් තීරණය කරනවා.

අපේ සිනමාවේ කාන්තා දායකත්වය ගැන සිතද්දී සතුටක්‌ ඇතිවේ. ප්‍රමාණවත් නැත.... එහෙත් සෑහීමකට පත්විය හැකිය.... ෆ්ලොරිඩා ජයලත්, රූබී ද මැල්, සුමිත්‍රා පීරිස්‌, මාලිනී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, ශ්‍රියානි අමරසේන, ඉනෝකා සත්‍යාංගනී... චිත්‍රපට අධ්‍යක්‍ෂණයෙන් ද, සෝමා එදිරිසිංහ, මිලීනා සුමතිපාල මෙන්ම රේණුකා බාලසූරිය චිත්‍රපට නිෂ්පාදනයෙන්ද අපේ සිනමාවට ඉතා අගනා දායකත්වයක්‌ ලබාදී තිබේ. මේ අතර සමහර නිෂ්පාදිකාවන් සහ අධ්‍යක්‍ෂවරියන්ගේ නම් අපට මඟ හැරෙන්නට ඇත. ඒ ගැන කනගාටුව අයදිමු.


සෝමා ඉදිරිසිංහ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක්‌ නිෂ්පාදනය කළ කාන්තාවය. මිලීනා සුමතිපාල ද ඒ හා සමාන තත්ත්වයක සිටින්නීය. ඉන්පසු රේණුකා බාලසූරිය ගැන සඳහන් කළ යුතුමය.

සරෝජා, සූරිය අරණ, පුංචි සුරංගනාවි, සමනල තටු, සංකාරා, සිරි රජසිරි ආදී චිත්‍රපට නිපදවමින් කඩා වැටෙමින් තිබූ අපේ සිනමාවට හිස එසවීම සඳහා ඔක්‌සිජන් සැපයූවේ රේණුකා බාලසූරිය විසිනි. ඒ සෝමරත්න දිසානායකගේද දායකත්වය සමඟිනි.

කුසපබා... දැන් තිරගත වන සුනිල් ආරියරත්න මහාචාර්ය වරයාගේ චිත්‍රපටයේ නිෂ්පාදන මඩුල්ලක්‌ සිටී. ඒ අතරින් වැඩිම මුදලක්‌ සැපයූ සම නිෂ්පාදකවරුන් දෙදෙනෙකි. ධම්මික සිරිවර්ධන ආලංකුලම චිත්‍රපට වෙනුවෙන් 'කුසපබා' හි සම නිෂ්පාදකවරයා විය. අනෙක්‌ සම නිෂ්පාදකවරිය රේණුකා බාලසූරියයි.

ඉතින් 'කුසපබා'ට අතගහපු දවසේම මං තීරණය කළා ජනවාරි මාසයේ මෙය ප්‍රදර්ශනය කරනවා කියලා. මමත්, සෝමෙත් (සෝමරත්න දිසානායක) පෞද්ගලිකවම කරන්න සූදානම් වුණ චිත්‍රපටය මඳකට නතර කළා. කුසපබා වෙනුවෙන් කාලසටහනක්‌ හදලා වැඩ පටන් ගත්තා.

කාන්තාවක්‌ විදිහට ඔබට මේ පුහුණුව ලැබුනේ කොහොමද?

මම හිතන්නේ සෝමෙගෙන් තමයි මට මේ පුහුණුව ලැබුනේ. ටෙලි නාට්‍ය කරද්දී, සරෝජා කරද්දී සියලුම සැලසුම් හැදුවේ මම. ඒ අත්දැකීම් මත තමයි ඕනෑම පිරිසක්‌ සමඟ හිනාවෙලා ඉන්න පුළුවන්කම තියෙන්නේ. සරෝජා දැවැන්ත බර වැඩක්‌. සූරිය අරණත් ඒ වගේ. ඒවායින් ලද අත්දැකීම තමයි මේ සඳහාත් ඉවහල් වුණේ.

"කුසපබා" කරද්දී ඔබ ඇතුළු නිෂ්පාදන කණ්‌ඩායම අලුත් තරුණ පිරිස කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. මේ අභියෝගය භාරගත්තේ කොහොමද?



මේ විදිහට නවකයන් සම්බන්ධකර ගැනීම තුළ අපි අප්‍රමාණ තෘප්තියක්‌ ලැබුවා. වැඩිහිටි අයත් සිටිය යුතුයි. නමුත් තරුණ පිරිස සමඟ වැඩ කරද්දී එන අභිහෝග භාරගත යුතුයි. අපේ සෑම චිත්‍රපටයකින්ම වගේම කුසපබා තුළිනුත් තරුණ අයට ඉඩකඩ ලබා දුන්නා. බලන්න චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය දිහා... අලුත්ම අලුත් තරුණයෙක්‌ගේ වැඩ... වෙනුක වික්‍රමාරච්චි. වෙස්‌ගැන්වීම සමීර මධු කිඳෙල්පිටිය. මනුසිරි රාජපක්‍ෂ නිශ්චල ඡායාරූප. මගේ පුතා විශ්වා බාලසූරිය... මේ අය ක්‍ෂේත්‍රයට අලුත් අය.

පබාගේ චරිතයට පූජාවම යොදාගත්තේ... ලංකාවේ නිළියන් නැති නිසාද?

නෑ තමයි... හේතුව තමයි කුසපබා පිටපත කියවද්දීම දැනගන්නවා මේක ඉන්දියානු කතාවක්‌ නිසා... කෙනෙකුට දැක්‌කාම ලෝබ හිතෙන, මීට කලින් වැඩිපුර දැක නැති කෙනෙක්‌ විය යුතුයි පබාවතීට රඟපෑ යුත්තේ කියා අපි තීරණය කළා. ඒ වගේම ඇය දක්‍ෂ විය යුතුයි. බෝනික්‌කෙක්‌ නොවිය යුතුයි. ඉතින් මගේ ඔලුවට එකවරම ආවේ පූජාව.


ඒත් ඒ වෙද්දී ඇය නැවත චිත්‍රපටවල රඟ නොපාන්න තීරණයක්‌ අරගෙන තිබුණා. ඒත් ධම්මික සිරිවර්ධනගේ පුතාගේ විවාහ උත්සවයේදී පූජාත්... ඇගේ මව සන්ධ්‍යාත් හිටියේ අපිත් එක්‌ක වාඩිවෙලා. ඒක දෛවයේ හාස්‌කමකින් වගේ වූ දෙයක්‌. මම කලිනුත් සුනිල් ආරියරත්නයන්ට කියා තිබුණා පබාට ගන්නවානම් ගන්නේ පූජා උමාශංකර්වම තමයි කියලා. ඉතින් කෑම මේසෙදි මම පූජාට මේ ගැන කිව්වා. 

තාත්තා කැමති නෑ කියලා කිව්වා. මම කිව්වා පූජා නිළියක්‌ විදිහට ඔයා මෙතෙක්‌ කලක්‌ කළේ වාණිජ චිත්‍රපටවල චරිත. ඒ නිසා රඟපෑමෙන් සමුගන්න කලින් හොඳ සංකීර්ණ චරිතයක්‌ කළ යුතුයි කියා. සිනමාවේ ලකුණක්‌ තියලා සමුගන්න කියා මම කීවා. මම ඇගේ මවටත් බලකළා තාත්තට කියන්න කියලා. පස්‌සේ ධම්මික සිරිවර්ධන පූජාගේ තාත්තව කැමති කරවා ගත්තා.

ජැක්‌සන්ගේ රඟපෑම්...?

ඒ ගැන ඉතින් කියන්න දෙයක්‌ නැහැනේ. හරිම කැපවීමකින් වැඩ කළා. ජැක්‌සන්ව දෙසැරයක්‌ම අශ්වයාගේ පිටින් වැටුණා. විශාල අනතුරක්‌ නූලෙන් වැළකුනා. ඒත් ඔහු බිය නැතිව එඩිතරව යළිත් අශ්වයා පිට නැග්ගා. පොකුණ යට ඉඳලා උඩට ඇවිත් පබාවතීව බියට පත්කරන දර්ශනයේදී ජැක්‌සන්ට එකවරම වතුර යට ඉඳන් උඩට මතුවෙන්න බැරි වුණා. වතුර යට තිබුණු ගස්‌වැල්වලට ඔහුගේ ආභරණ පැටලිලා. හොඳ වෙලාවට වතුර යට සෝමෙත් හිටියා. 


ජැක්‌සන් වතුර යට ගස්‌වැල් එක්‌ක පොර බදිනවා දැකලා සෝමේ එකපාරට ඔහුව වතුර උඩට තල්ලු කරලා... නැතිනම් හරිම විපතක්‌ වෙන්නේ. පූජාත් එහෙමයි. පූජාව විවාහයට කලින් සේවිකාවන් විසින් නාවන දර්ශනය... පාන්දර තුනට විතර රූගත කළේ. සීතලේ ගැහි ගැහී පූජා බාත් එකට බැස්‌සා... කිසි කතාවක්‌ නැතිව වතුරට බැස්‌සා...

හොඳයි... කුසපබාට පස්‌සේ ඔබේ ඊළඟ නිර්මාණයට සූදානම්ද?

ඔව්... අපි කුසපබා පටන් ගන්න කලින් සැලසුම් කළා කවි සිළුමිණ ලියූ පරාක්‍රමබාහු රජුගේ ළමා කාලය ගැන චිත්‍රපටයක්‌ කරන්න. කලා අධ්‍යක්‍ෂ හීනටිගල ප්‍රේමදාස දැනටමත් සැලසුම් අඳිනවා... ජුනි මාසයේ විතර රූගත කිරීම් ආරම්භ කරනවා.

ඒක ළමා චිත්‍රපටයක්‌ද?

ළමයින්ට බලන්න පුළුවන්. පරාක්‍රමබාහු රජවෙන අවස්‌ථාව දක්‌වා චිත්‍රපටය දිවෙනවා. මව, පියා නොමැතිව ගෙදර හැදිලා උගත් කමින් ජීවිතය දියුණු කරගත් අන්දම තමයි ඉන් කියෑවෙන්නේ....

කුසපබාට විශාල මුදලක්‌ වැය වී තිබෙනවා. නිෂ්පාදක කණ්‌ඩායමට තවත් චිත්‍රපටයක්‌ කළ හැකිවේවිද?

ඔව්... මේ සඳහා රුපියල් කෝටි අටක්‌ දැනට වැයවෙලා තියෙනවා. ප්‍රචාරණ කටයුතු නැතිව නිර්මාණයක්‌ ගැන අපිට විශ්වාස නම්... චිත්‍රපට බලන ප්‍රේක්‍ෂක සංඛ්‍යාව අනුව ගණන් හැදුවාම උපයන ගණන සොයා ගත හැකියි. 'සූරිය අරණ' එදා ලක්‍ෂ තිස්‌ හයක්‌ බැලුවා... 


එදාට වඩා අද ප්‍රවේශ පත්‍ර මිල වැඩියි. ඒ අනුව බැලුවාම අද කළානම් සූරිය අරණ ලක්‍ෂ 4000 ක්‌ උපයනවා. එහෙම හිතද්දී අවංකවම වියදම් කරන මුදල චිත්‍රපටයකින් පෙනෙන්න ඕනෑ.... අපිට ප්‍රේක්‍ෂකයන් වෙන්න බැහැනේ... 

දන්න අය දන්නවා චිත්‍රපටය බලද්දීම වැයවූ මුදල විශාලයි කියලා. නිර්මාණය වගේම චිත්‍රපටය පෙන්වද්දීත් මාධ්‍ය සහය මට ලෝභ නැතිව ලැබෙනවා.... මාධ්‍යවලින් මේ විදිහට සහාය දෙද්දී වතුර බාල්දියෙත් කිඹුල්ලු දකින අය කියනවා මේවා රජයේ බලපෑම් නිසා ලැබෙන ඒවා කියලා. මාධ්‍යයේ සහාය මට ලැබෙන්නේ හිතවත්කමට... අපි වපුරන දේ තමයි නෙළාගන්නේ... කිසිම කෙනෙක්‌ අපිට උදව් කළේ නෑ කියා නොහිතෙන තරම්....

ඇත්තම කියන්න කුසපබා චිත්‍රපටය වෙනුවෙන් රජයේ තල්ලුවක්‌ ලැබුනෙම නැද්ද?

අද වනතුරු නැහැ. රජයෙන් කියා විශේෂ දෙයක්‌ නැහැ. හුඟ දෙනෙක්‌ හිතනවා රජයේ මාධ්‍යවල දැන්වීම් යද්දී රජයෙන් නොමිලේ ලැබිලා කියලා. එහෙම නොමිලේ ගුවන් කාලය දෙන්න බැහැනේ... අපේ සල්ලිවලින් තමයි මේ දැන්වීම් දාන්නේ...




කුසපබා නිෂ්පාදන කණ්‌ඩායම
 
Related Posts with Thumbnails