Ads 468x60px

.

බොක්‌සිං පුහුණුවේදී මිය ගිය බුද්ධිට ප්‍රහාර එකකට වඩා එල්ල වී ඇති බවට සැකයිලු

යුදහමුදා සෙබළකු සමග අනාරක්‍ෂිත ආකාරයට බොක්‌සිං පුහුණුවීම්වල නිරතවෙමින් සිටියදී මාරාන්තික ප්‍රහාරයකට ලක්‌ව බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ බුද්ධි ඉන්දීවර ශිෂ්‍යයා
ඊයේ (10 වැනිදා) අලුයම මිය ගියේය.


ඉකුත් 5 වැනිදා සවස විදුහල් ක්‍රීඩාංගණයේ පුහුණුවීම්වල නිරතවෙමින් සිටියදී ඉන්දීවර ශිෂ්‍යයා මෙම ප්‍රහාරයට ලක්‌ විය. එහිදී බරපතල ලෙස රෝගාතුර වූ බුද්ධි ඉන්දීවර හෝමාගම රෝහලට ඇතුළත් කළ අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි.

දින 5 ක්‌ තිස්‌සේ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 18 හැවිරිදි බුද්ධි ඉන්දීවර ඊයේ (10 දා) අලුයම 3.00 ට පමණ මියගිය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. මෙම ශිෂ්‍යයා පුහුණුවීම් කටයුතුවල නිරතවී සිට ඇත්තේ යුද හමුදා බොක්‌සිං කණ්‌ඩායමේ ක්‍රීඩකයකු සමගය. ශිෂ්‍යයාට මාරාන්තික ප්‍රහාරය එල්ල කළ හමුදා සෙබළා කොට්‌ටාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබිණි.

පාසල් ශිෂ්‍යයන් ඉතාම අනාරක්‍ෂිත ආකාරයට හමුදා සෙබළුන් සමග පුහුණුවීම් සඳහා යෙදවීම බරපතල ප්‍රශ්නයක්‌ බව පොලිසිය පවසයි.

ධර්මපාල විද්‍යාලයේ බොක්‌සිං පුහුණුකරු විශ්‍රාමික යුදහමුදා මේජර්වරයකු වන අතර ඔහු පාසල් ශිෂ්‍යයන්ගේ පුහුණුවීම් කටයුතු සඳහා හමුදා බොක්‌සිං කණ්‌ඩායමේ සෙබළුන් යොදාගෙන ඇති බවද අනාවරණය වී තිබේ. පාසල් ශිෂ්‍යයාගේ හිසට එල්ලවූ මාරාන්තික ප්‍රහාරයකින් මොළයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි සිදුවීමෙන් මෙම මරණය සිදුවී ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

මෙහිදී ඉතාම අවාසනාවන්ත ආකාරයට මරුමුවට පත්වූ ශිෂ්‍යයා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ දක්‍ෂ බොක්‌සිං ක්‍රීඩකයෙකි. බොක්‌සිං තරගාවලි කීපයකටම සහභාගි වී ඇති බුද්ධි ඉන්දීවර ඉන් ජයග්‍රහණ අත්කරගෙන තිබේ.

ධර්මපාල විද්‍යාලයේ අපොස උසස්‌ පෙළ පන්තියක අධ්‍යාපනය ලබමින් සිටි බුද්ධි ඉන්දීර බටහේන පාර මාගම්මන හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බොක්‌සිං ක්‍රීඩාව වැනි භයානක ක්‍රීඩාවක්‌ සඳහා කෙරෙන පුහුණුවීම් මේ ආකාරයට අනාරක්‍ෂිත ආකාරයට සිදුකිරීම ඉතාම බරපතල තත්ත්වයක්‌. පුහුණුකරුවන් වගේම පාසල් බලධාරීනුත් ඊට වගකිව යුතුයි. මෙවැනි අවාසනාවන්ත ක්‍රියා මින් ඉදිරියටවත් මගහරවා ගැනීමට කටයුතු කළ යුතු යෑයි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේය.



බුද්ධි ඉන්දීවර ශිෂ්‍යයාගේ මරණය සම්බන්ධයෙන් පන්නිපිටිය ධර්මපාල විදුහලේ විදුහල්පති ඩබ්ලිව්. විමලසේන මහතා මෙසේ පැවැසීය..

මියගිය ශිෂ්‍යයා වූෂු ක්‍රීඩාවේ නිරතව සිටි දක්‍ෂ ශිෂ්‍යයෙක්‌. වසර කිහිපයක්‌ම සමස්‌ත ලංකා වූෂු ශූරතාව දිනා ගත් අයෙක්‌. බොක්‌සිං පුහුණුව සඳහා මෙම ශිෂ්‍යයා පසුගිය වසරේ සිට පුහුණුවීම් අරඹා තිබෙනවා. මෙවර පැවැත්වෙන අවුරුදු 19 න් පහළ සමස්‌ත ලංකා බොක්‌සිං තරගාවලිය සඳහා මොහු පුහුණුව ලැබුවා.

මෙම සිද්ධිය වන අවස්‌ථාවේ තමන් විද්‍යාලයේ නොසිටි අතර පුහුණුවීමේ සියලු කටයුතු කළ ආචාර්යවරයාට පවරා තිබූ බවත් විදුහල්පති පැවැසීය.



"අනේ මගේ රත්තරන් දරුවට මේ මොකද වුණේ. මේ දුක මම කොහොම උහුලා ගන්නද? දරුවා ගැන අහස උසට තිබුණ බලාපොරොත්තු ඔක්‌කොම දැන් ඉවරයි. කිසිම මවකට මෙවැනි දුකක්‌ වෙන්න එපා'' මියගිය බුද්ධි ඉන්දීවර ශිෂ්‍යයාගේ මව කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ දී හැඬූ කඳුලින් පැවැසුවාය.

මිය ගිය බුද්ධි ඉන්දීවර (18) ශිෂ්‍යයාගේ මරණය සම්බන්ධයෙන් ස්‌ථානීය පරීක්‍ෂණයක්‌ හෝමාගම මහෙස්‌ත්‍රාත් අනුර පෙරේරා මහතා විසින් එකී පුහුණුව සිදුවූ විද්‍යාල භූමියේ දී ඊයේ (10 වැනිදා) පවත්වනු ලැබීය. පෙබරවාරි මස 09 වැනිදා සිට 12 වැනිදා දක්‌වා කොළඹ පැවැත්වෙන අන්තර් පාඨශාලයීය 19 න් පහළ බොක්‌සිං ශූරතාවලිය සඳහා විද්‍යාලයෙන් ඉදිරිපත් කරන ශිෂ්‍යයන් 04 දෙනාගේ පුහුණුවීම් කටයුතු පසුගිය 05 වැනි දා උදය කාලයේදී ද පැවැත්වුණ බවත්, මේජර් ලක්‍ෂ්මන් ජයලත් රත්නසූරිය මහතා මෙහි පුහුණුවීම් සිදුකළ බවත්, මෙය තරගාවලියක්‌ නිසා විද්‍යාලයෙන් ඉදිරිපත්වී සිටින ශිෂ්‍යයන් 04 දෙනාගේ බරට හා වයසට සමාන ශිෂ්‍යයන් 04 දෙනෙකු බාහිරින් පුහුණුකරු විසින් යොදවාගෙන, මෙම පුහුණුවීම් සිදුකළ බවත් ක්‍රීඩා විෂය බාර ආචාර්ය ඩබ්. ඩී. ජානක මහතා මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණයේදී සඳහන් කර සිටියේය.

එම අවස්‌ථාවේදී බුද්ධි ඉන්දීවර ශිෂ්‍යයාට ප්‍රහාරයක්‌ එල්ල වූ අතර ඔහු ඇදවැටීම නිසා ඔහු අසනීපව සිටි බැවින් පුහුණුව නතර කර වහාම ඔහු හෝමාගම මහ රෝහලට ඇතුළත් කළ බවත්, අනතුරුව ඔහුගේ තත්ත්වය තරමක්‌ බරපතල බැවින් පෙ.ව. 11.00 ට පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව දැනගන්නට ලැබුණු බවත් ඔහු සඳහන් කර සිටියේය. මෙහිදී මිය ගිය ශිෂ්‍යයා සමඟ මෙම තරගාවලියට සහභාගි වන මලිත් පසිඳු සහ ලලන්ත යන ශිෂ්‍යයන් දෙදෙනාගෙන් ද මහෙස්‌ත්‍රාත්වරයා කරුණු විමසා සිටියේය.

මේ අවස්‌ථාවේ දී එහි පැමිණි මිය ගිය ශිෂ්‍යයාගේ ඥති සහෝදරයෙක්‌ සහ මාමා කෙනෙක්‌ද මහේස්‌ත්‍රාත් පරීක්‍ෂණයට ඉදිරිපත් වූහ. ඥති සහෝදරයා සඳහන් කර සිටියේ තමාගේ සහෝදරයා රෝහලට ඇතුළත් කළ බව දැනගත්තේ එදින සවස 6.00 ට පමණ බවත්, ප්‍රහාරය එකකට වඩා එල්ලවී ඇති බව තමා අනුමාන කරන බවත් ඔහු කීය. මෙහිදී මහෙස්‌ත්‍රාත්වරයා සිද්ධිය සිදුවූ අවස්‌ථාවේ සිටි අයගෙන් තවදුරටත් සාක්‍ෂි කැඳවීමට නියෝග කළත් කිසිවෙක්‌ ඒ සඳහා ඉදිරිපත් නොවූහ.

අනතුරුව මේ පිළිබඳ සම්පූර්ණ පරීක්‍ෂණයක්‌ 14 වෙනි දින සවස 1.30 ට හෝමාගම මහේස්‌ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන බවත්, ඒ සඳහා සියලුම පාර්ශ්වකරුවන් එකී පරීක්‍ෂණය සඳහා ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ පොලිස්‌ අධිකාරි (02) නිශාන්ත සොයිසා මහතාට මහෙස්‌ත්‍රාත්වරයා විසින් දැනුම් දුන්නේය.

මෙම අවස්‌ථාවට විදුහල්පති ඩබ්. ඒ. විමලසේන, සහකාර විදුහල්පති (අධ්‍යාපන හා සංවර්ධන) සුනිල් රංජිත් යන මහත්වරුන් ඇතුළු ආචාර්යවරු කිහිපදෙනෙක්‌ද, හෝමාගම දකුණ සහකාර පොලිස්‌ අධිකාරි ටී. සී. විමලසේන, හෝමාගම සහ මහරගම පොලිස්‌ කොට්‌ඨාසයේ පොලිස්‌ නිලධාරීහු සහභාගී වී සිටියහ.

මෙහි පරීක්‍ෂණ කටයුතු නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියමයෙන් පොලිස්‌ අධිකාරි (02) නිශාන්ත සොයිසා මහතාගේ අධීක්‍ෂණය යටතේ මහරගම පොලිසියේ පොලිස්‌ පරීක්‍ෂක ආනන්ද මහතා විසින් සිදුකරනු ලබයි.



 
 
Related Posts with Thumbnails