Ads 468x60px

.

කුස මගේ සැමියනම් මම කැමැතියි - පූජා

පූජා උමාශංකර් ශ්‍රී ලාංකේය නිළියක් මෙන් දැන් අපේ සිනමා රසික රසිකාවියන් හට ඉතාම සමීප ය. ඒ ඇය අගනා සිංහල චිත්‍රපට කීපයකටම රංගනයෙන් දායක වී ඇති නිසා ය. වැඩි කාලයක් දකුණු ඉන්දියාවේ ජීවත් වුව ද පූජා ශ්‍රී ලාංකේය නිළියක් නොවේ යැයි කීම ද වැරදි සහගත ය. ඒ; ඇයගේ මව සිංහල බෞද්ධ කාන්තාවක් නිසා ය; එසේ ම පූජා කුඩා කල හැදී වැඩුණේ ශ්‍රී ලංකාවේ නිසා ය. 

 
‘අංජලිකා’ චිත්‍රපටයෙන් ඇරඹුණු ඇයගේ සිංහල සිනමා ගමන ‘සුවඳ දැනුණා ජීවිතේ’ චිත්‍රපටයෙන් අවසන් වේ යැයි සිතුව ද සැමදෙනා පුදුමයට පත් කරමින් පූජා, මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘කුස - පබා’ චිත්‍රපටයට රංගනයෙන් දායක වූවා ය. 



කුස පබා චිත්‍රපටයේ ඔබගේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?
හරිම පුදුමයි මටත් හිතාගන්න බැරි තරමට ඉහළ ප්‍රතිචාර ‘කුස පබා’ චිත්‍රපටයේ මගේ රඟපෑමට ලැබෙනවා. තිරගත වීම ආරම්භ වෙලා ගතවුණේ දවස් කීපයක් වුණත් ගොඩක් දෙනෙක් මේ වන විට චිත්‍රපටය නරඹල තියෙනව.

‘කුස පබා’ චිත්‍රපටයට එක්වන්ට පෙර ඔබ රංගනයෙන් ඉවත් වුණේ ඇයි?
ඉන්දීය චිත්‍රපටයක් වන ‘නාත් කඩවුල්’ චිත්‍රපටයේ මගේ රඟපෑම්වලට මට සම්මාන රාශියක්ම ලැබුණා. ඒ වන විට මම ඉන්දීය චිත්‍රපට 15 ක පමණ රඟපාල තිබුණා. මට සම්මාන ලැබුණට පස්සෙ තාත්ත මට කිව්වා “දුව රඟපෑමට දැන් ඔයාට සම්මාන ගොඩක් ලැබුණා. 

ඒ කියන්නේ ඔයාගෙ රඟපෑමට වටිනාකමක්, අගය කිරීමක් ලැබිල තියෙනව. තව කොච්චර රඟපෑවත් ඔච්චර තමයි. දැන් ඔයා රඟපෑමෙන් ඉවත් වෙලා ඔයාගෙ විවාහය ගැන හිතන්න” කියල. ඒ නිසයි මම රඟපෑමෙන් ඉවත් වුණේ.

එතකොට ඔබ නැවත රඟපෑමට ආවේ ඇයි?
මම රඟපෑමෙන් ඉවත් වෙලා ඉන්න විට තමයි මේ ‘කුස පබා’ චිත්‍රපටයට ආරාධනයක් ලැබුණේ. ඒකට මුලින්ම තාත්තගෙන් අවසරය ගත්තේ තාත්තගෙ යාළුවෙක් වන ධම්මික අංකල්. (ධම්මික සිරිවර්ධන) තාත්තගෙ අවසරය ලැබුණා වගේම මේ චිත්‍රපටයට සම්බන්ධ වෙලා ඉන්න ප්‍රවීණයින් ගැන දැනගත්තම මට චිත්‍රපටයට සම්බන්ධ වෙන්න හරිම ආශාවක් ඇතිවුණා. 

සුනිල් ආරියරත්න සර්, ජැක්සන් අයියා, රේණුකා අක්ක, සෝමරත්න අයියා, චන්න දේශපි‍්‍රය අයිය, චන්දන වික්‍රමසිංහ අයිය, රවින්ද්‍ර මහත්මය වගේ ප්‍රවීණයින් සමඟ වැඩ කරන්න මම ආස කළා. අනික මේක එසේ මෙසේ කතාවක් නෙමෙයිනේ. මේ ඓතිහාසික කතාවක්. ඉතින් ඒ වගේ කතාවක පබා වගේ චරිතයක් මට අහක දාන්න පුළුවන් ද? ඒ නිසයි මේ චිත්‍රපටයට මා සම්බන්ධ වුණේ.

ඔබ පබා චරිතයට සූදානම් වුණේ කොහොම ද?
කුස පබා කතාව මම පුංචි කාලෙ ඉඳලම අහල තියෙනව. මම පුංචි කාලෙ මට නින්ද යන තෙක් අම්ම කියන කතාවක් ඒක. කතාවක් විදියට මගෙ හිතේ ඒක රැඳිල තිබුණා. ඒ වගේ ම සුනිල් සර් සිංහලෙන් ලිව්ව පිටපත අම්ම මට ඉංගී‍්‍රසියෙන් පහදල දුන්න.

කුස පබා රූපගත කිරීම්වලදී අනෙක් නළු නිළියන්ගෙන් ලැබුණු සහයෝගය මොන වගේ ද?
මේ චිත්‍රපටයෙ වැඩ පටන් ගන්න විට මම ගොඩක් බයෙන් හිටියෙ මේ වැඩේ මට හොඳින් කරගන්න පුළුවන් වේවි ද කියල. නමුත් සුනිල් සර් මට පිටපත හොඳින් පහදල දීල මගෙ බය ඇරියා. ඒ වගේම චාන්දනී අක්ක, වීණා අක්ක, රේණු අක්ක මට හරියට උදව් කළා.

පබා වැනි චරිතයක් රඟපාන්න ලැබීම ඔබට සතුටට කාරණයක් ද?
පබා චරිතය රඟපාන්න අවස්ථාව ලැබීම පෙර පිනක් නිසා ලැබුණු දෙයක් හැටියටයි මම සලකන්නේ. පබා චරිතය රඟපෑම ගැන මම හරිම සතුටින් ඉන්නේ.

ඔබත් විවාහ වන වයසේ පසුවන කෙනෙක්. ඔබට කුස වැනි කෙනෙක් සමඟ විවාහ වෙන්න ලැබුණොත්...?
අනේ කොච්චර හොඳ ද? එහෙම කෙනෙක්මයි මට ලැබෙන්න ඕන. කුස කියන්නෙ හරිම හිත හොඳ කෙනෙක්. ඔහු දක්ෂ පුද්ගලයෙක්. හොඳ කලාකරුවෙක්. ඔහුට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවනි. ඒ වගේම පිළිම නෙළන්න පුළුවනි. ඉතාම මිහිරිව ගීත ගයන්න, වීනාව වයන්න ඔහුට පුළුවනි. ඒ වගේම ඔහු ප්‍රාන්තයක රජ කෙනෙක්. 

ඔහුගේ යටත් වැසියන්ට ඔහු හරිම ආදරෙයි. කුස ඒ වගේ පුද්ගලයෙක්. ඉතින් කුස වගේ කෙනෙක් මගේ සැමියා වෙනවානම් මම කොච්චර වාසනාවන්ත ද? භාග්‍යවන්ත ද? මම දැන් අම්මට කියන්නෙම මට කුස වගේ කෙනෙක් සොයල දෙන්න කියලයි.

එතකොට ඔබ රූපය ගැන හිතන්නෙ නැද්ද?
අවුරුදු 18, 20 වන කාලෙ රූපය හරිම ලස්සනයි. වයසට යන විට රූපය වෙනස් වෙනවා. විරූපි වෙනවා. ඒක තමයි ස්වභාවය. මගෙ අම්මගෙ අම්මයි තාත්තයි දෙන්නම තාම ජීවත් වෙනවා. සීයට අවුරුදු 94 යි; ආච්චියට 89 යි. ආච්චි තරුණ කාලෙ හරිම ලස්සනයි. 

මම ඡායාරූපවලින් දැකල තියෙනව. ඒත් දැන් ආච්චි මහලුයි; දුර්වලයි. හැබැයි සීයයි ආච්චියි අතරෙ තවමත් තියෙන්නෙ පුදුම ආදරයක්. පුදුම විදියේ බැඳීමක්. ඒක බාහිර රූපය මත ඇතිවුණු හැඟීමක් නෙමෙයි. ඒතරම් ආදරයෙන් ඉන්න දෙන්නෙක් මම දැකල නෑ. මම හිතන්නෙ මගෙ ආච්චියි සීයයි ‘කුස පබා’ කියලයි.

ඒ කියන්නෙ ඔබ ලස්සන ගැන සලකන්නෙම නැහැ කියල ද?
නැහැ. එහෙම නෙමේ. ලස්සන වීම හොඳයි. ඒක ඉතා වැදගත් කාරණයක් නෙමෙයි. අනෙක අංග සම්පූර්ණ පුද්ගලයො මේ ලෝකෙ නෑ.

ඉන්දීය සිනමා පේ‍්‍රක්ෂකයින් සහ ලාංකේය සිනමා පේ‍්‍රක්ෂකයින් අතර වෙනසක් ඔබ දකිනව ද?
ලොකු වෙනසක් මම දකින්නෙ නෑ. ඒත් ඉන්දියාවෙ පේ‍්‍රක්ෂකයින්ට තරම් ලංකාවේ පේ‍්‍රක්ෂකයින්ට චිත්‍රපටි පිස්සුවක් නෑ. ලංකාවේ පේ‍්‍රක්ෂකයින් හොඳ චිත්‍රපට ඉතාම ආසාවෙන් බලනවා.

ඔබේ මව බෞද්ධ තාත්තා හින්දු. ඔබ පන්සල් යනව ද? කෝවිල් යනව ද?
මම යන්නෙ පල්ලි.

ඔබ ඉදිරියේදී දිගටම රඟපානව ද?
‘කුස පබා’ චිත්‍රපටියෙන් පසුව දෙමළ චිත්‍රපටයකත් සිංහල චිත්‍රපට කීපයකත් රඟපාන්න ආරාධනා ලැබුණා. ඒත් මම තවම ඒ ගැන හිතල නෑ.

ඔබ මේ වසරේ විවාහ වෙනව ද?
ඒක දන්නෙ අම්ම තමයි. මේ අවුරුද්දෙ මම බඳින්න ඕන කියල අම්ම තාත්තත් කියනව. ඒත් ඉතින් බඳින්න කෙනෙක් නෑනෙ. මට පිටරටවලින් විවාහ යෝජනා එනවා. මම ඒවට කැමැති නෑ. මගේ සහකරුවා ඉන්දියාවෙ කෙනෙක් වුණත් ලංකාවෙ කෙනෙක් වුණත් මට ප්‍රශ්නයක් නෑ. ඔහු කුස වගේ කෙනෙක් නම් මම ඔහුට කැමැතියි.
 
Related Posts with Thumbnails