Ads 468x60px

.

මගේ ජීවිතේ ලොකු සිහින නැහැ - රොෂාන්

අටුවා ටීකා නොලිව්වාට රොෂාන් පිලපිටිය කවුරුන් ද කියන වග ඔබ අප කවුරුත් දන්නවා. කවදත් නිදහසේ තම රංගන වෘත්තිය ඉටුකරන නළුවකු වන රොෂාන් මේ දවස්වල අපට මුණගැහෙන්නේ ආනන්ද අබේනායකගේ ‘අහසින් වැටුණා’ ටෙලි නාට්‍යයෙන් හා නාලන් මෙන්ඩිස් ගේ ‘දූවරු’ ටෙලි නාට්‍යයෙන්. ඒ නිසයි රොෂාන් හා අප කළ සංලාපය මෙවර ඔබ වෙත ගෙන එන්න කල්පනා කළේ.


රොෂාන් මේ දවස්වල ගෙවන ජීවිතේ ගැන කියලම අපි කතාබහ පටන් ගමු.
මේ දවස්වල ‘අහසින් වැටුණා’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට එකතු වෙන ගමන්ම ‘දූවරු’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. සාමාන්‍යයෙන් මම වැඩ බදාගන්න කෙනෙක් නෙමෙයි. සුමිත්‍රා පීරිස් මහත්මියගේ අලුත්ම චිත්‍රපටය ‘වෛෂ්ණාවි’ සිනමා පටයටත් සම්බන්ධ වෙලා ඉන්න බව මම කියන්න ඕන.

දැන් යන ටෙලි නාට්‍ය රැල්ලත් එක්ක රොෂාන්ලට වැඩක් (අවස්ථාවක්) නැති තරම් ද?
ඇත්තටම මෙතන අර්බුදයක් තියෙනවා. අද යන ටෙලි නාට්‍ය දිහා බැලුවම තිර පිටපතක් නැහැ. කවර කාලයකවත් නැති විදිහට කුලී පදනම මත අද රඟපාන්න වෙලා තියෙන්නේ. උදේට එක ටෙලි නාට්‍යයක හවසට තවත් එකක. කතාව මොකක්ද කියන්න අධ්‍යක්ෂවරයා දන්නෙත් නැහැ රංගන ශිල්පීන් දන්නෙත් නැහැ. අහපුවාහම කියනවා ලියන මනුෂ්‍යයා තමයි මේක දන්නේ කියලා. 

එහෙම කුලී වැඩක් බවට අද මේක පත්වෙලා. එහෙම තැනකට අද අපට ගෝචර වෙන්න අමාරුයි. මේකට ප්‍රමිතියක් තියෙනවානම් හොඳයි කියලා මට හිතෙනවා. මේ මෑතකදී රූපවාහිනියේ අපි දැක්කා ධර්මසේන පතිරාජ, පරාක්‍රම නිරිඇල්ල, ජයන්ත චන්ද්‍රසිරි කළ ටෙලි නාට්‍ය. මේ නිර්මාණ දකිනකොට හරි ආසාවක් හිතුණා වගේම වේදනාවකුත් දැනුණා ඇයි මේ වගේ නිර්මාණ බිහි නොවෙන්නෙ කියලා.

පසුගිය කාලේ ඔබ ටෙලි නාට්‍ය නිෂ්පාදනයට අතගහනවා. දැන් ඒක ඇනහිටල ද?
සාමාන්‍යයෙන් මම ටෙලි නාට්‍යයක් කරන්නේ නිශ්චිත කතාවක්, අවසානයක් තෝරාගෙන. ඒ නිසා හොඳ නිර්මාණයක් ලැබුණොත් මම ඒ ගැන හිතනවා.

ඒ කළ නිෂ්පාදන පේ‍්‍රක්ෂකයා අතරට ගියා කියලා ඔබ හිතනව ද?
පැහැදිලිවම ඔව්. මම නිහාල් පීරිස් ගේ ‘ප්‍රාර්ථනා මල්’ ටෙලි නාට්‍ය කළා. එය පේ‍්‍රක්ෂකයන් අතරට ගියා. ‘සිහින කුමරිය’ එයත් පේ‍්‍රක්ෂකයින් අතරට ගියා. අද පේ‍්‍රක්ෂකයන් බුද්ධිමත්. අද ටෙලි නාට්‍යයක් විකාශය වෙනකොට හැමෝම කියන්නේ අපි එක කියලා. 

ඉතිං ටෙලි නාට්‍ය කරන්න ඕන ඒ එකට ද නැත්නම් හොඳ ටෙලි නාට්‍යයක් ද? නමුත් මම සුබවාදීව හිතනවා. අද දීර්ඝ ටෙලි නාට්‍ය කොටස් 250 ට සීමා කරලා. එකම අධ්‍යක්ෂවරයෙක් වටා යනවට වඩා මෙය අතින් අතට යන්න ඕන. එහෙම නොවුණොත් අලුත් පරපුර මේ ටෙලි නාට්‍යවලින් ඈත් වෙන්න පුළුවන්.

හොඳයි මේ අද එකතු වන අලුත් පරම්පරාව පිළිබඳ මොකක්ද ඔබේ තක්සේරුව.
මෙහෙමයි. ඉතාම දක්ෂ පිරිසක් ඉන්නවා. නමුත් බොහෝ දෙනෙකුට මෙය විධිමත්ව හදාරන්න තියෙන අවස්ථාව අඩුයි. මුල් කාලයේ පිටපතක් අතට ලැබුණු සැණින් අපි කතා කරනවා. චරිතය පිළිබඳ හදාරනවා. දීර්ඝව ඒ ඒ චරිත ගොඩනැඟෙන විදිහ කතා කරනවා. 

නමුත් අද එහෙම තත්ත්වයක් නැහැනේ. අද කතා කරලා කෙළින්ම අහන්නේ දින පිළිබඳවයි. උදේට ගිහිනුයි අපි කතාව දන්නේ. මම මේ කාටවත් ද්වේශ සහගතව කතා කරනවා නෙමෙයි. මෙහෙම තත්ත්වයක් ලෝකේ කොහෙවත් නැහැ.

ඉතියෝපියාවට පවා කලාවට ප්‍රතිපත්තියක් තියෙනවා. අපේ රටේ තමයි නැත්තේ. අපිට අද දැඩි ප්‍රමිතියක් ඕන. එහෙම නැත්නම් අද කලාවට එන කෙනා හෙට අධ්‍යක්ෂවරයෙක් කියලා කියනවා. මොකද මේක ඇතුළේ අනන්‍යතාවයක් නැහැ. මේ සියල්ල ඉතාම ඉක්මනින් වෙනස් වෙයි කියලා මට හිතෙනවා. එතෙක් නිහඬව බලා ඉන්නවා.

අද ඔබේ වෘත්තිය කලාව ද?
කලාව වෘත්තියක් විදිහට මිසක් මේක විනෝදාංශයක් කරගෙන යන්න බැහැ. මේ පිළිබඳ අවබෝධයෙන් ගමනක් යන්න පුළුවන්නම් හොඳයි. අද දේශපාලකයිනුත් ඇවිත් රඟපානවා. පාරේ යන මිනිස්සුත් රඟපානවා. පුදුම තැනකට කලාව තල්ලු වෙලා. ඒ නිසයි මම කිව්වේ මේක ජොලියටවත්, හොබි එකටවත් කරන්න බැහැ කියලා. 

අද ඔබේ වෘත්තියටත් අධ්‍යයනයක් අවශ්‍යයි. ඒක ඔබ දන්නවා. ඒ වගේම රංගනයටත් විධිමත් ක්‍රමවේදයක් අවශ්‍යයි. මම නම් කියන්නේ හැමදේටම ගරුත්වයක් විධිමත් බවක් තියෙන්න ඕන.

අපේ සිනමාව වෙනුවෙන් ඔබ යමක් කළා කියලා හිතනව ද?
මගේ ජීවිතේ ලොකු සිහින නැහැ. බලාපොරොත්තු නැහැ. මට හදාගන්න කියලා ප්‍රතිරූපයක් නැහැ. ‘ගොළු හදවත’ ටෙලි නාට්‍යයෙන් පස්සේ ලෙස්ටර් මහත්තයාගේ ‘අම්මාවරුනේ’ සිනමා පටයට දායක වෙන්න ලැබුණා. එය ලොකු භාග්‍යයක්. සිනමාපට රැසකට මම දායක වුණා.

ඒ නිසා ජීවිතේ සමබරව ගෙනයන්නයි අද මගේ බලාපොරොත්තුව. සිනමාවට මම ගොඩක් පෙම් බඳින කෙනෙක්. නමුත් මම කියන පුද්ගලයාට පිටින් ඉඳලා මම නිතරම කියන්නේ අනාගත පරපුරට මෙහෙම ගියොත් මොනවද වෙන්නේ කියලා හිතන්න කියලයි.

රොෂාන් ඇත්තටම ඔබ තවමත් ඉටුකර නොගත් බලාපොරොත්තු ගැන කතා කරමු.
මුලිනුත් මම කිව්වා වගේ එහෙම දෙයක් මා ළඟ නැහැ. මම ධනාත්මකව හිතන්නේ නැති කෙනෙක් නෙමෙයි. නමුත් රාමු ප්‍රතිරූප හදාගෙන ඒවා බිඳ වැටෙන කොට වේදනාවට පත්වෙන්න ඕන නැහැ. මම මේක හිතාමතාම කරන දෙයක්. ජීවිතය දිහා බොහෝම උපේක්ෂාවෙන් බලන්නේ. හැමෝම එක්ක හිනාවෙලා සතුටින් ඉන්නයි ඕන. අනෙක් අයට එහෙම වෙන්න කියනවා නෙමෙයි. මේ මම හිතන පතන විදිහ.

අවසන් වශයෙන් මට ඔබෙන් අහන්න හිතෙනවා යම් කලකිරීමක් ඔබේ හිතේ තියෙනව ද?
නැහැ පුද්ගලයෙක් විදිහට ඉතාම සතුටින් මම ඉන්නේ. නමුත් මම කියන්නේ මේ යන ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන කියලයි. ඒක පොදුවේ කලාවට ආදරය කරන අපි හැමෝටම සුබවාදී වෙයි කියලා මට හිතෙනවා.
 
Related Posts with Thumbnails