Ads 468x60px

.

අනූනවයෙන් බේරුණු ජීවිත තුනක්‌

ආයුධ සන්නද්ධව රාත්‍රි නිවෙසකට ඇතුළු වූ නාඳුනන කණ්‌ඩායමක්‌ විසින් නිවසේ නිදා උන් කුඩා දරුවකු ඇතුළු යුවළක්‌ මරා දැමීමට දැරූ උත්සාහයක්‌ අනූනවයෙන් මඟහැරී ගිය බිහිසුණු පුවතක්‌ ඌරගස්‌මංහන්දිය, හල්ගහවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.


පසුගිය 03 දා රාත්‍රි පැයකටත් අධික කාලයක්‌ තිස්‌සේ සිදු වූ මෙම ත්‍රාසජනක අත්දැකීමට මුහුණ පෑ යුවළ නොසැලුණු වීර්යංයන් කටයුතු කිරිමත්, ඌරගස්‌මන්හන්දිය පොලිස්‌ ස්‌ථානය වහා ක්‍රියාත්මක වීමත් මත මෙම ජීවිත එම අලුගෝසුවන්ගෙන් ගලවා ගැනීමට හැකි වී තිබේ.

එදින අලුයම 2.00ට පමණ නිවසේ පිටත තිබූ විදුලි මීටරයෙහි ප්‍රධාන විදුලි සැපයුම් වයරය කපාදමා, ඉදිරිපස දොර අගුළු කැඩී යන පරිදි තදබල පහර කීපයක්‌ ගසා සැකකරුවන් නිවසට ඇතුළු වී තිබේ. අනතුරුව නිවැසියන් නිදා සිටි ඇතුළත කාමරයේ දොර වසා තිබූයෙන්, අපරාධකරුවන් එම දොර පසාරු වී යන පරිදි ඔවුන් සතු ගිනි අවියකින් වෙඩි පිට වෙඩි තබා ඇතත්, එයින් කිසිදු අනතුරක්‌ සිදුව නැත.

එහෙත් ඉන් අනතුරුව එම දොර පසාරු කරගෙන යන පරිදි එල්ල කළ උල් පිහි පහරවලට මැදි වූ එම දෙපළ එහිදී ලත් තුවාල සහිතව මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

මෙම සිදුවීම වූ නිවසට අප යන විටත් යුවළ නිදා සිටි කාමරයේ ප්ලයිවුඩ් දොර කීතු වන පරිදි ප්‍රති ප්‍රහාරයට ලක්‌ව තිබූ අයුරුත් කාමරයේ ජනේලයේ ලෑලි පලා දමා තිබූ අයුරුත් දක්‌නට ලැබිණි. තවද කාමරය තුළ වූ බිත්ති මත හා උල් පිහි පහරින් හානි වූ වානේ අල්මාරියෙහි ද විසිරුණු ලේ පැල්ලම් තිබිණි. එසේම අපරාධකරුවන් සාලයෙහි තිබූ යතුරු පැදි දෙකකට හා විදුලි පංකාවකට ද දැඩි අලාභහානි සිදුකොට තිබිණි.

මෙම බිහිසුණු සිදුවීමට මුහුණ පෑවේ හල්ගහවේල්ල පදිංචිව සිටි එච්. ජී. සුනිල් සේනාරත්න (38) හා ඒ. එච්. නිශාන්ති (30) යන අඹු සැමි යුවළ හා ඔවුන්ගේ එකම සිඟිති පුතු වන එච්. ජී. හිරුන් විලෝචන (09) යන අයයි. එම සිදුවීම පිළිබඳව පළමුවෙන්ම අපට තොරතුරු කී සුනිල් මහතාගේ වැඩිමහල් සොයුරියක වූ කුමාරි යන අය මෙසේ කීවාය.

"ඔය සිද්ධියට මූණ පෑවේ මගේ මල්ලියි. එයාගෙ නෝනයි. මල්ලි රස්‌සාව කළේ ඉරාකයේ. එයාගේ දණහිසේ අමාරුවකට බෙහෙත් ගන්න කියලයි ළඟදී ශ්‍රී ලංකාවට ආවේ."

මීට කලින් එක සිදුවීමක්‌ වෙලා තිබුණා. දවසක්‌ කව්ද මනුස්‌සයෙක්‌ එයාල හිටපු ගෙදර කාමරේට බීරළු අස්‌සෙන් එබිලා බලනවා දැකලා තියෙනවා. ඊට පස්‌සේ ඒවට පත්තර ඇලෙව්වා. මල්ලි රට ඉන්න ගමන්ම නෝනගෙයි දරුවගෙයි ආරක්‍ෂාව ගැන හිතලා ගේ ඉස්‌සරහ අඩි පහක්‌ උසට තාප්පයක්‌ බැඳලා වත්ත වටේටම කම්බි ගැහුවා. එහෙමත් කරලා තියෙද්දියි ඔය අපරාධය සිදු වූයේ. මරණ බයෙන් තැතිගෙන තුවාල ලබා සිටි සුනිල් මහතා මෙසේ කීවේය.

"එදා රෑ අපි නින්දට ගිහිල්ලයි හිටියේ. රස්‌නේ වැඩි නිසා කාමරයේ දොර ඇරල දාලයි තිබුණේ. රෑ 2.00 ට විතර අපිට ඇහුණා නිවසේ දොරට කවුද ගහන විශාල ශබ්දයක්‌. මම ඇඳෙන් නැගිටලා සාලෙ පැත්තට යන්න හදනකොටම දැක්‌කා සාලයේ හත්අට දෙනෙක්‌ ඉන්නවා.

ඒක දැනුන ගමන් කාමරේට වැදිල මම දොර වහගන්නයි හැදුවේ. ඒත් දොර ලොක්‌ කරගන්න මට ඉඩක්‌ නොදීම උන් කට්‌ටිය සාලෙ පැත්තෙ ඉඳන් දොර ඇරපිය, දොර ඇරපිය කියාගෙන දොරත් තල්ලු කරන් එන්න උත්සාහ කළා.

ඒ වෙද්දිත් මම පුළුවන් හයියෙන් දොර තදකරගෙනයි හිටියේ. මට තනියම ඒ වැඩේ කරන්න අමාරු වුණු තැන බිරිඳ නිශාන්තිත් මාත් එක්‌ක එකතු වෙලා දොර තද කරන් හිටියා. උන්ට දොර ඇරගන්න අමාරු වුණා. ඒ වෙලාවේ කව්ද කිව්වා "තොපි බේරුණ කියලද හිතාගෙන ඉන්නෙ" කියල.

ඊට පස්‌සේ තමයි උල් ආයුධ වලින් දොරට අනින්න පටන් ගත්තේ. මේ අවස්‌ථාවේදී දොර පසාරු කරගෙන උල් පිහි පහර වැදීමත් සමගම එම ප්‍රහාරයට ලක්‌වූ මෙම අඹුසැමි යුවලගේ අත්ල සහ ඇඟිලි තුවාල වී ඇති අතර බිරිඳගේ ඉන ප්‍රදේශය සහ උරහිසට ද පිහි පහර වැදී තුවාල වී ලේ වැගිරී ඇත.

"ප්ලයිවුඩ් දොර පැලෙනවා දැක්‌කාම මට හිතුනා අපි ඉවරයි තමයි කියලා. මේ වෙද්දී අපේ අත්වලට සහ නිශාන්තිගේ ඇඟට පිහි පාරවල් වැදිලයි තිබුණේ. ඒ වෙලාවේ තමා නිශාන්ති කාමරේÊතිබුණු වානේ අල්මාරිය ඇදල අරගෙන දොරට හේතු කරලා තිබ්වේ. මං එතකන් දොර තද කරන් හිටියා.

ඒ පාර උන් ඇනපු ආයුධ පාරවල් අල්මාරියට වදින්න පටන් ගත්තා. ඊටත් ටික වේලාවකට පස්‌සේ තමයි උන් වෙඩි තියන්න පටන් ගත්තේ. ඒ තියපු හැම වෙඩිල්ලක්‌ම බිත්තියටයි වැදුනේ.

මේ වෙනකොට අපේ පුතාව කාමරේ ඇතුලේ ඇඳයට හංගලායි හිටියේ. වෙඩි සද්දෙ ඇහිලා එයත් "අනේ මාමේ අපිව මරන්න එපා" කියලා කෑ ගැහුවා. ඒ වගේම හැංගිලා හිටිය තැනින් එළියට එන්න පුතා දැඟලුවා. මම දෙතුන් වතාවක්‌ම පුතාව පයින් තල්ලු කරලා එළියට ඒම වැළැක්‌වුවා. ඔය අතරේ මගේ කකුලට අපේ ෆෝන් එක පෑගුනා. මම ඒක පුතාගේ ළඟට තල්ලු කළා. ඒ වෙලාවේ එයා ඇඳයට ඉඳගෙන මාමගේ අංකෙ හොයලා නිශාන්තිට දුන්නා. ඊට පස්‌සෙ නිශාන්ති අයියට කොල් කරලා කිව්වා "අනේ අයියේ මෙන්න අපිව මරන්න හදනවා" කියලා. ඒක අහන් හිටපු එළියෙ හිටපු එවුන් කිව්වා "තොපි කාටද කෝල් කළේ. ෆෝන් එක මෙහාට දීපියව්" කියලා.

ඊට පස්‌සෙ උන් එළියට ඇවිත් ජනේලයට ගගහ ඒකෙ ලෑලි ගලවන්න ගත්තා. මම නිශාන්තිව අල්මාරිය පිටුපස්‌සට තල්ලු කරලා ඇඳ පොල්ලක්‌ අරගෙන එළියෙ හිටපු එකෙකුට ඇන්නා. ඒකෙ වේදනාවට කේන්ති ගියපු ඌ කෑ ගහලා කිව්වා "තෝ මට ගැහුවා නේද? ඉඳපියව් තොපි තුන්දෙනාම මරනවා" කියලා.

එහෙම කියපු උන් මොකක්‌ද ගුලියක්‌ වගේ පත්තු කරලා බෝම්බයක්‌ කියලා කාමරේට උඩින් දැම්මා. ඒකට බයවුණත් පස්‌සේ අපට තේරුණා ඒක රෙදි ගුලියක්‌ කියලා.

නිශාන්ති ඒ වෙලාවේ කෑ ගහලා කිව්වා "අනේ අපිව මරන්න එපා. උඹලට මොනවද ඕන සල්ලිද, රත්තරන් බඩුද? කියලා. මේ වෙද්දීත් මාත් හිතලා තිබුණා අපි තුන්දෙනාම එකට මැරෙමු කියලා."

නිශාන්තිගේ සොහොයුරාට ලැබුණු දුරකථන ඇමතුමට අනුව ඔහු යතුරු පැදියෙන් බිරිඳ සහ දරුවා ද නංවාගෙන එම නිවස කරා පැමිණෙමින් තිබුණත් බිරිඳගේ දැඩි බලකිරීම මත පළමුව ඌරගස්‌මංහන්දිය පොලිසිය වෙත ගොස්‌ තිබේ.

පොලිසියේදී නිශාන්තිගේ ජංගම දුරකථනය වෙත ලබා ගත් දුරකථන ඇමතුමෙන් ද ඇසී ඇත්තේ මැර පිරිසගේ තර්ජනය කිරීම් සහ නිවැසියන්ගේ ළතෝනියයි.

මේ මොහොතේදී ඌරගස්‌මංහන්දිය පොලිස්‌ ස්‌ථානාධිපති උ. පො ප. ඒ ග්‍රේෂන් ද සිල්වා මහතාගේ උපදෙස්‌ පරිදි වහා ක්‍රියාත්මක වූ අපරාධ අංශයේ ස්‌ථානාධිපති උ. පො. ප. උපුල් කුමාර, පො. සැ (21918) ජයතිලක, පො. සැ. (22677) සෝමසිරි යන නිලධාරින් ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ එම ස්‌ථානයට පැමිණෙනවාත් සමඟම මැර පිරිස පලාගොස්‌ තිබිණි.

පසුව කළ සෝදිසියකදී එම ස්‌ථානයේ තිබූ උණ්‌ඩ කීපයක්‌ පොලිසිය විසින් සොයාගෙන ඇත. මුදවාගත් තුවාලකාරයන් රෝහලට ඇතුළත් කිරිමට පියවර ගෙන තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇල්පිටිය කොට්‌ඨාසයේ ඡේ. පො. අ. සිසිර කුමාර මහතාගේ අධීක්‍ෂණය යටතේ ඌරගස්‌මංහන්දිය පොලිසිය පුළුල් පරීක්‍ෂණ සිදුකරයි.

 
Related Posts with Thumbnails