Ads 468x60px

.

ආදරය කියන්නෙ හරිම පවිත්‍ර දෙයක් - තුෂාරි

තුෂාරි වේහැල්ල අපට සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. මෝස්තර නිරූපණය, රූපවාහිනි වෙළෙඳ දැන්වීම් හරහා රංගනයට පිවිසි තුෂාරි තමා රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍ය කීපයෙන් තම රංගන හැකියාව ප්‍රේක්ෂකයින්ට පෙන්වීමට සමත් වූවා ය. පසුගියදා ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ‘ආදරණීය චංචලා’ ටෙලිනාට්‍යයේ අරුණිගේ චරිතය නිරූපණය කරමින් ප්‍රේක්ෂක හදවත් දිනා ගැනීමට ඇයට හැකි විය.



තුෂාරි මොනවද ඔබේ අලුත් තොරතුරු?
හොඳින් ඉන්නවා. කලා කටයුතු වගේ ම රැකියාවේ වැඩ කටයුතුත් හොඳින් කරගෙන යනව.

මොනවද මේ දවස්වල නිරත කලා කටයුතු?
එරංග සේනාරත්නගේ ‘හිතන්න පොඩ්ඩක්’ ටෙලිනාට්‍යයේ වැඩවලට මේ දිනවල සම්බන්ධ වෙලා ඉන්නව. චිත්‍රපට දෙක තුනකටත් ටෙලිනාට්‍ය කීපයකටත් ඉදිරි මාස දෙක තුන ඇතුළත රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබිල තියෙනව.

ඔබ මෙතෙක් සහභාගි වී ඇති නිර්මාණ පිළිබඳ සිහිපත් කළොත්...?
‘කහ ඉර පාමුල’, ‘වසන්තේ ඇවිල්ලා’, ‘කාව්‍යා’, ‘වසූදා’, ‘යර්ස් බොස්’, ‘නිලංජනා’, ‘සඳ ගොම්මන් රෑ’, ‘රෝස කටු’, ‘වන්දනා’, ‘ආදරණීය චංචලා’ වැනි ටෙලිනාට්‍යවලත් රෝයි ද සිල්වාගේ ‘සර් ලාස්ට් චාන්ස්’’, සෆ්රාස්ගේ ‘සුදු හංසි’ කියන චිත්‍රපටවලත් රඟපෑමේ අවස්ථාව මට ලැබුණා. ඉන්පසුව මට ටෙලිනාට්‍ය සහ චිත්‍රපට කීපයකටත් රංගනයෙන් දායක වීමේ අවස්ථාව උදාවෙලා තියෙනවා.

ඔබ කලා ක්ෂේත්‍රයට පිවිසුණේ...?
මගේ ගම කැලණියෙ වේවැල්දූව. කැලණිය වෙදමුල්ල මහා විදුහලේ ඉගෙන ගන්න කාලෙත් මම කලා කටයුතුවලට සම්බන්ධ වෙලා සිටියා. විශේෂයෙන් ම මම සහභාගි වුණේ නැටුම්වලට. පුංචි කාලෙදි ගමේ දි මම ලබපු අත්දැකීම් රංගනයෙන් ඉදිරියට එන්න මට ගොඩක් උපකාරී වුණා. අපේ ගමේ සිටියා ගුණදාස කියල මාම කෙනෙක්. 

ඔහු තමයි මට නැටුම්වලින් සහ රංගනයෙන් ඉදිරියට එන්න මඟ පෙන්නුවේ. ගුණදාස මාම ගමේ ළමයි එකතු කරගෙන වේදිකා නාට්‍ය නිර්මාණය කරනව. අනිවාර්යයෙන් ම වෙසක් එකට නාට්‍යයක් කරනව. ඒකෙ නළු නිළියො වුණේ ගමේ ළමයි. ඒ නාට්‍ය අපේ ගමේ විතරක් නෙමෙයි අහල පහළ ගම්වලත් වේදිකාගත කරනව. මම පුංචි කාලෙ කලාවට සම්බන්ධ වුණේ එහෙමයි.

පසුකාලෙක මම බ්‍රෙම්ලි සහ සොහොනා යටතේ මෝස්තර නිරූපණයට ජාතික රූපවාහිනියේ ‘නුග සෙවණ’ වැඩසටහන්වලට එක් වුණා. ඉන්පසුවයි මම බ්‍රෙම්ලි අයියගේ උදව්වෙන් ‘කහ ඉර පාමුල’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ. ඉන්පසුව මට රූපවාහිනි වෙළෙඳ දැන්වීම් ගණනාවකට පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. මේ දිනවල ප්‍රචාරය වන දැන්වීම් කීපයකම මම ඉන්නවා.

‘ආදරණීය චංචලා’ ඔබේ නිර්මාණ දිවියට ඉතා වැදගත් ටෙලි නාට්‍යයක් නේද?
ඇත්තෙන්ම ඔව්. ‘ආදරණීය චංචලා’ ටෙලි නාට්‍යයෙන් තමයි මාව ප්‍රේක්ෂකයින් ගොඩක් දෙනෙක් හඳුනා ගත්තේ. එහි මම රඟපාන්නේ නපුරු චරිතයක් වුණත් ප්‍රේක්ෂකයින් මගේ රංගනයට ගොඩක් ඇලුම් කළා. ඒකට මම ස්තුතිවන්ත වෙන්න ඕන සඳුන් රාජකරුණා අයියට.

ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක් ද?....
නැහැ. රංගනය මගෙ ප්‍රධාන වෘත්තිය ලෙස තෝරා ගන්න මට බැහැ. මගෙ ආශාව මටම කියල ව්‍යාපාරයක් පටන් ගන්න. මම දැනට රූපලාවණ්‍ය ද්‍රව්‍ය ගෙන්වන ආයතනයක නිරූපිකාවක් (Brand models) ලෙස වැඩ කරනවා. කලාවට මම ඉතාම කැමැතියි. ඒ නිසා දිගටම කලා කටයුතුවලත් නිරත වෙන්නයි බලාපොරොත්තුව.

රංගනයට අමතරව ඔබ සතු වෙනත් කලා හැකියාවන්...?
මම වැඩියෙන් ම දක්ෂ නර්තනයට. ගීත ගයන්නත් මට ටිකක් පුළුවන්. ගීත රචනා කිරීමට මම කැමැත්තක් දක්වනවා. මේ වනවිට මම ගීත කීපයක් ම ලියල තියෙනව. මම ලියපු ගීත කීපයක් වෙනුවෙන් රූප රචනා කරල නිෂ්පාදනය කරන්න මම බලාපොරොත්තු වෙනවා.

ඔබේ පෞද්ගලික තොරතුරු...?
අම්මයි මමයි තමයි දැනට ගෙදර ඉන්නෙ. මගෙ අයියා විවාහ වෙලා වෙනම ඉන්නෙ. මල්ලි ඉන්නෙ රට. මගෙ තාත්තා අපිව හැර දාලා ගියේ මම පුංචි කාලෙදිමයි. මගෙ හැම වැඩකදීම මගෙ ළඟින්ම ඉන්නේ මගෙ අම්මා.

යෞවන ප්‍රේමය, ආදරය පිළිබඳ ඔබට ඇති හැඟීම...?
යෞවන ප්‍රේමය, ආදරය කියන්නෙ හරිම පවිත්‍ර දෙයක්. මට දැනෙන විදියට ආදරය ගොඩක් බර දෙයක්. ඒක සැහැල්ලුවෙන් හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආදරය දිහා සැහැල්ලුවෙන් බලන්න ඒක සෙල්ලමක් ලෙස දකින්න මම කොහෙත්ම කැමැති නෑ. බුදුන්ට පුදන මලක් මෙන් ආදරය පිවිතුරු විය යුතු බවයි මගේ හැඟීම.

ඔබේ පෙම්වතා කවුද?
මම කලකට පෙර කෙනෙකුට ආදරය කළා. නමුත් දැන් ඒ සම්බන්ධය නැහැ.

ඔබ පතන පෙම්වතා කෙබඳු විය යුතු ද?
මගේ පෙම්වතා කෙළින් කතා කරන කෙළින් වැඩ කරන අවංක කෙනෙක් විය යුතුයි.

‘ආදරණීය චංචලා’ ටෙලිනාට්‍යයේ අරුණි වගේ ඔබත් නපුරු ද?
නැහැ. සාමාන්‍යයෙන් මම නපුරු කෙනෙක් නෙවෙයි. ඒත් අසාධාරණයක් සිදුවන විට මට කේන්ති යනවා.

ඔබ රඟපාන්න කැමැති චරිතයක් තියෙනවද?
අද්භූත චරිතයක්, කාලි මෑණියන් වැනි දෙවි කෙනෙකුගේ චරිතයක් නිරූපණය කරන්න මම හරිම කැමැතියි.

ඔබ ආගමට ළැදිද?
ඇත්තෙන් ම ඔව්. මම උදේට ගෙදරින් පිට වෙන්නෙ බුදුන් වැඳල සවසට ගෙදර යනවිට යන්නේ එගොඩ කැලණිය වැඳල.

මොනවගේ අනාගත බලාපොරොත්තු ද ඔබට තියෙන්නෙ?
රංගනය පැත්තෙන් හොඳ නිර්මාණවලට දායක වෙන්නත් ඒ වගේ ම දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස සම්මානයක් ගන්නත් මගේ ආශාවක් බලාපොරොත්තුවක් තියෙනව. ඒ වගේ ම ටෙලිනාට්‍ය චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙස ඉදිරියට එන්නත් මගෙ බලාපොරොත්තුවක් තියෙනවා.
 
Related Posts with Thumbnails