Ads 468x60px

.

පොලිස් සුනඛයා කහවත්තේ වී මෝල් හිමියාට ඉව අල්ලයි

ඔහු මිය ගිය කාන්තාවන්ගේ වැඩිමහල් සහෝදරියගේ පුතෙක්ලු...
සිරුරේ පිළිස්සුම් තුවාලත්...

කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකු පිලිස්සී මිය යාමේ සිද්ධිය සම්බන්දයෙන් ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ඊයේ  රාත‍්‍රියේ සමත්ව තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරු එම කාන්තාවන්ගේ වැඩිමහල් සහෝදරියගේ පුත‍්‍රයෙකු වන වී මෝල් හිමියෙකි. මීට පෙර කහවල්ල ප‍්‍රදේශයේ සිදු වූ ඝාතන සම්බන්ධයෙන්ද මොහුගෙන් ප‍්‍රශ්ණ කර තිබූ බව පොලීසිය පවසයි.


ගිනිගැනීමේ සිද්ධියට අදාලව පරීක්‍ෂණ සඳහා පොලීසිය විසින් ‘සීබා’ නම් පොලිස් සුනඛයා යොදාගෙන ඇති අතර ගිනිගත් නිවසේ නැවී ගිය ජනේල කූරක් ඉව කර ඇති සුනඛයා ඉව ඔස්සේ කිලෝ මීටරයක් පමණ ගොස් ගොස් සැකකරුගේ නිවස අසල නතර වී තිබේ. 

නිවසේ සිටි පුද්ගලයා පොලීසිය විසින් අත්අඩගුංවට ගෙන ඇති අතර ඔහුගේ සිරුරේ පිළිස්සුම් තුවාල කිහිපයක් වන බවද පොලීසිය කියයි. සැකකරුවන් මේ වන විටත් ප‍්‍රශ්ණ කරමින් තිබේ.

පොලිස් සුනඛයා එක් වරක් වැරදීමකින් කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේ මව සහ දියණිය ඝාතන සැකකරුවකු වන ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ධර්මසිරිගේ නිවස දෙසටද ගමන් කර ඇත.


සිද්ධිය සැකෙවින් මෙසේයි
කහවත්ත කොටකෙතන වරාපිටිය ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි වයෝවෘද්ධ සොහොයුරියන් දෙදෙනකු අභිරහස්‌ අන්දමින් නිවෙස තුළම පිළිස්‌සී මියයැමේ සිද්ධියක්‌ නිසා ඊයේ (31 වැනිදා) අලුයම සිට කහවත්ත ප්‍රදේශය නැවතත් කැළඹීමට පත්ව ඇත.

මෙහිදී අභිරහස්‌ අන්දමින් මියගොස්‌ ඇත්තේ කොටකෙතන වරාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි එක්‌ කුස උපන් සොහොයුරියන් දෙදෙනකු වන 52 හැවිරිදි සේතුන්ගේ තිලකාවතී සහ 61 හැවිරිදි සේතුන්ගේ දයාවතී යන අය බව හඳුනාගෙන තිබේ.

මරුමුවට පත්වූ දයාවතී වැන්දඹු කාන්තාවකි. තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති ඇයගේ සැමියා මීට කාලයකට උඩදී මියගොස්‌ තිබිණි. පසුව ඇය සිය නැඟණිය වූ තිලකාවතී සමග මෙම නිවසේ පදිංචි වී සිට ඇත.

ඊයේ අලුයම 2.00 ට පමණ මොවුන් පදිංචිව සිටි නිවසේ ගින්නක්‌ හටගෙන තිබූ අතර ප්‍රදේශවාසීන් එක්‌ව එම ගින්න මැඬපවත්වා තිබිණි.

මේ පිළිබඳව සැලවූ වහාම ක්‍රියාත්මක වූ කහවත්ත පොලිසියේ නිලධාරීන් සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ පරීක්‍ෂා කරද්දී සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී ගිය කාන්තාවන් දෙදෙනාගේ සිරුරු නිවසේ කාමරයක තිබී සොයාගෙන ඇත.ගින්නෙන් කාන්තාවන් දෙදෙනා පදිංචිව සිටි නිවස මුළුමනින්ම පාහේ විනාශ වී තිබිණි.

මෙම හදිසි මරණ සිදුවූ ස්‌ථානයට ඊයේ පෙරවරුවේ පැමිණි පැල්මඩුල්ල මහෙස්‌ත්‍රාත් චාන්දනී නිරංජලා ඩයස්‌ මහත්මිය පිළිස්‌සී තිබූ සිරුරු පරීක්‍ෂා කළාය. මෙම සිරුරු වැඩිදුර පරීක්‍ෂණ සඳහා රත්නපුර රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස එහිදී මහෙස්‌ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

අභිරහස්‌ අන්දමින් මරුමුවට පත්ව සිටි සොහොයුරියන් දෙදෙනා අසල්වාසීන් සහ ඥතීන් සමග ඉතාම කිට්‌ටු සම්බන්ධතාවන් පවත්වාගෙන ගිය අය බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. දයාවතී මහත්මියගේ සැමියාගේ විශ්‍රාම වැටුපෙන් ඔවුන් දෙදෙනා ජීවත්ව ඇති අතර ඔවුන්ට කිසිවකු සමග ආරවුලක්‌ තිබී නැති බවද අනාවරණය වී ඇත.

මෙම අභිරහස්‌ මරණ මිනීමැරුමක්‌ නිසා සිදුවූවක්‌ ද යන්න ඊයේ දහවල් වනතුරුත් හෙළිවී නොතිබිණි. මුළු රටම කළඹවනු ලැබූ කහවත්තේ මවත් දියණියත් කපා කොටා ඝාතනය කළ සිද්ධිය වූ ස්‌ථානය ආසන්නයේම නිවසක මෙම අභිරහස්‌ මරණ සිදුවී ඇති බව පොලිසිය පවසයි. මෙම සිද්ධියෙන් පසු නැවතත් කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ ජනතාව දැඩි භීතියට පත්ව සිටි අතර ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ද යොදවනු ලැබීය.
 
Related Posts with Thumbnails