Ads 468x60px

.

අනියම් සම්බන්ධයක්‌ නිසා බිරිඳ දුන් කොන්ත්‍රාත්තුව ක්‍රිකට්‌ ක්‍රීඩකයාට මරු කැඳවයි...

ගුවන් නියමුවා සහ ක්‍රිකට්‌ ක්‍රීඩකයාගේ බිරිඳ අතර අනියම් සම්බන්ධක්‌...

දක්‍ෂ ක්‍රිකට්‌ ක්‍රීඩකයකු වූ ඊෂ්වරදාසන් කේදීෂ්වරන් නමැති තරුණයා ඉකුත් අප්‍රේල් මස 18 වැනිදා ත්‍රිකුණාමලය නගරයේදී ගෙල කපා කෲර අන්දමින් ඝාතනය කරනු ලැබුවේ ඔහුගේ බිරිඳ ලබා දුන් කොන්ත්‍රාත්තුවක්‌ මත බව හෙළි කරගත් රහස්‌ පොලිසිය එම ඝාතනය සිදු කළ බව කියන ගුවන් නියමුවකු සහ ගුවන් හමුදාවෙන් පලා ගිය සෙබළකු ද ඊයේ (06 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

අනියම් සම්බන්ධතාව පවත්වාගෙන යැමට සිය සැමියා බාධාවක්‌ වන නිසා බිරිඳ අනියම් සැමියාද සමග එක්‌වී මෙම ඝාතනය සිදු කර ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී ඇත. ක්‍රිකට්‌ ක්‍රීඩකයාගේ බිරිඳ මෙම ඝාතනය සඳහා ස්‌ටර්ලින් පවුම් 1750 ක මුදලක්‌ ඝාතකයන් වෙත ලබාදී තිබේ. එම මුදල ගුවන් හමුදාවෙන් පලා ආ සෙබළාගේ මවගේ බැංකු ගිණුමකට බැර කර තිබූ බව ද අනාවරණය වී තිබේ.

සැකකාර බිරිඳ මේ වනවිට එංගලන්තයේ පදිංචිව සිටින අතර ඇය මෙම ඝාතනය මෙහෙයවා ඇත්තේ එහි සිට බව අනාවරණය විණැයි පොලිසිය පවසයි. සැකකාර බිරිඳ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගැනීමට රහස්‌ පොලිසිය කටයුතු කරමින් සිටියි.

මෙම ඝාතනයට සම්බන්ධ ගුවන් නියමුවා මීට කලකට උඩදී එංගලන්තයට ගිය අවස්‌ථාවේ ක්‍රිකට්‌ ක්‍රීඩකයාගේ බිරිඳ සමග සම්බන්ධතාවක්‌ ගොඩනඟාගෙන තිබිණි. එම සම්බන්ධතාව අනියම් ප්‍රේමයක්‌ දක්‌වා දුරදිග ගොස්‌ තිබේ. මෙම සම්බන්ධතාව පවත්වාගෙන යැමට නීත්‍යනුකූල සැමියා බාධාවක්‌ බව සිතූ බිරිඳ සැමියා මරා දැමීමට සැලසුම් කර ඇත.

අනියම් සැමියා සමග මේ පිළිබඳව සාකච්ඡා කර ක්‍රිකට්‌ ක්‍රීඩකයකු වූ සැමියා ශ්‍රී ලංකාවට පැමිණි අවස්‌ථාවකදී ඔහු මරා දැමීමට සැලසුම් කර තිබේ. ඊෂ්වරදාසන් කේදීෂ්වරන් මීට මාස කීපයකට උඩදී තනිවම ශ්‍රී ලංකාවට පැමිණි අතර ත්‍රිකුණාමලයේ පිහිටි ඔහුගේ මහ ගෙදර නවාතැන් ගෙන ඇත. බිරිඳගේ නිවස පිහිටා ඇත්තේ ද ඒ ආසන්නයේම නිසා ඔහු මෙම නිවාස දෙකේම වරින්වර නවාතැන් ගෙන ඇත.

මේ අතර කෙදීෂ්වරන් ත්‍රිකුණාමලය නොමෑඩ්ස්‌ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ පළමු පෙළේ පිතිකරුවකු ලෙසද ක්‍රීඩා කළේය. ඉකුත් අප්‍රේල් මස 18 වැනිදා රාත්‍රි මොහු සිය බිරිඳගේ නිවසින් රාත්‍රි ආහාර ගෙන යතුරුපැදියේ නැඟී මහගෙදරට යමින් සිටියදී ත්‍රිකුණාමලය අයියනාකේනි වීදියේදී සාහසිකයන් පිරිසක්‌ විසින් ගෙල කපා කෲර අන්දමින් ඝාතනය කරනු ලැබ තිබිණි.

මෙම අබිරහස්‌ ඝාතනය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලිසිය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කළ ද සැකකරුවන් පිළිබඳව සොයා ගැනීමට නොහැකි වී ඇත. පසුව මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළ රහස්‌ පොලිසිය මෙම ඝාතනයේ සුලමුල හෙළිකරගෙන අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

මෙම ඝාතනය සඳහා සැකකරුවන් දෙදෙනාම පැමිණ ඇති අතර ඊෂ්වරදාසන්ගේ ගෙල කපා ඔහු මරා දමා ඇත්තේ ගුවන් හමුදාවෙන් පලා ගිය සෙබළා බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ. 


 
Related Posts with Thumbnails