Ads 468x60px

.

මේ අම්මා දරුවාත් වඩාගෙන යන්නේ කොහෙද..?

තම කුසින් උපන් දරුවා කහළගොඩකට විසි කරන්න මවුවරු සිටින රටක...

මෙවැනි මවුවරුන් පියවරුන් රටට වාසනාවක්...
උණහපුළුවාට උගෙ පැටියා මැණිකක්ලුනේ.. 

මවක් තම දරුවා වඩාගෙන පෙර පාසලකට රැගෙන යාම සාමාන්‍ය දෙයක් වුවත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන වැඩිවියට පත් දරුවෙක් වඩාගෙන විශ්ව විද්‍යාලයට රැගෙන යන මවක් දැකීමට ලැබිම අසාමාන්‍ය  සිදුවීමකි.

එහෙත් එවැනි පුවතක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් වාර්තා වෙනවා.
   
කසුන් චාමර නැමැති මෙම විශ්ව විද්‍යාල සිසුවා මංශ පේශී දුර්වලතාව හේතුවෙන් උපතින්ම ආබාධිතයනමුත් මාතර රාහුල විද්‍යාලයේ වාණිජ අංශයෙන්  උසස් පෙළ හදාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ්‍ය හා කළමනාකරණ පීඨය සඳහා තේරී පත් වූයේ අනෙකුත් සාමාන්‍ය දරුවන් අභිබවා යමින්ය.

කසුන් චාමර අද සිටින තත්ත්වයට පැමිණීමට ඔහුට

ශක්තිය හා ධෛර්ය දෙමින් ඔහු ළඟ සිටින යෝධ සෙවනැල්ල ඔහුගේ මවත් පියාත්ය.කසුන් ගැන අන් හැම කෙනෙකුටත් වඩා දන්නේ ඔවුන්ය.  කසුන්ගේ මව වන මංගලිකා මහත්මිය කසුන් පිළිබඳව  අප හා පැවසුයේ  මෙසේයි.පුතා ඉපදුනේ 1990 අවුරුද්දේ. අපිට ඉස් ඉස්සෙල්ලාම ලැබුණු දරුවා.

ඉපදුනාට පස්සේ ඔළුවවත් හොල්ල ගන්න බැරිව හිටියේ. ‍පොඩි කා‍ලේ කොළඹ රිජ්වේ ආර්යා රෝහලෙන් බෙහෙත් කළා. මාතර ඉඳලා කොළඹ යන්න එන්න වියදම් වැඩි නිසා මාතර රෝහලට මාරු කරලා දුන්නා. මාංශ පේශි දුර්වලතාවකින් පෙළෙන නිසා ව්‍යායාම්වලට යොමු කළා.

රෝහලෙන් උපදෙස් දෙන විදියටම ගෙදර ගෙනත් දරුවට සාත්තු කෙරුවා. ඊට පස්සෙ තමයි ඔළුව ඔස්සලා ටික ටික වැඩ කරගන්න පටන් ගත්තේ. එක වසරේ ඉඳලා 7 වසර දක්වා දම්පැල්ල කනිෂ්ඨ විද්‍යාලයේත් ඊට පසුව උසස් පෙළ දක්වා මාතර රාහුල  විද්‍යාලයේත් ඉගෙනුම ලැබුවා. වාණිජ අංශයෙන් ඉගෙනුම ලබලා විශ්ව විද්‍යාලයට තේරුණාම දරා ගන්න බැරි තරම් සතුටක් දැනුණා.


තව පුතාලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මාතර රාහුල  විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරනවා. පුතා ඉන්නේ අම්මලා ළඟ. අනිත් පුතා ශිෂ්‍යත්ව විභාගයෙන්  මාතර දිස්ත්‍රික්කයේ 12 වෙනියට තේරිලා දැන් කොළඹ රාජකීය විද්‍යාලයේ  9 වසරේ ඉගෙනුම ලබනව.ා ඒ පුතා නැවතිලා ඉන්නේ පාසල් නේවාසිකාගරයේයි.

ළමයි තුන්දෙනාම ඉගෙන ගන්න දක්ෂයි. මහත්තයා රුහුණු විශ්ව විද්‍යාලයේ රියැදුරෙක් වශයෙන් සේවය කරමින් සිටිද්දි දරුවාගේ වැඩවල පහසුවටත් එක්කම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට මාරුවක් ගත්තා.
පුතාට තියෙන්නේ ඇවිදින්න බැරි එක විතරයි. 


කැම්පස් එක ළඟින් කාමරයක් කුලියට අරන් මම පුතත් එක්ක නැවතිලා ඉන්නවා. මහත්තයා කැම්පස් එකේ ඉන්නවා. දරුවෝ තුන් දෙනා තුන් තැනක. එක තැනක ඉන්න ලැබෙනවා නම් හොඳයි. ඒත් කොළඹ ගෙයක් කුලියට අරන් නවතින්න තරම් වත්කමක් නැහැ.

කැම්පස් එකේ ළමයි උදව් කරනවා. පුතාව වඩාගෙන යනවා නම් ළමයි ඉදිරිපත් වෙලා ඕනෙ කරන තැනට ගෙනියනවා. පුතාත් එක්ක කැම්පස් එකට එන්න යන්න මටත් අවසර දීලා තියනවා. කැම්පස් එකේ ගුරුවරුන් උදව් කරනවා. නොදන්න දෙයක් ඕනෙ වෙලාවක අම්ම එක්ක ඇවිත් අහගන්න කියලාත් කියලා තියනවා.


ඉස්සර පුතාට ඕනෙ වුණේ පළවෙනි පන්තියේ සාමාර්ථයක් අරන් බැංකුවක රස්සාව කරන්න. දැන්  කියනවා කැම්පස් එකේම මහාචාර්යවරයෙක් වෙනවලු.


ඇය සැබැවින්ම ආදර්ශමත් මවකි. උණහපුළුවාට උගෙ පැටියා මැණිකක් කියන කියමනත් වැ‍ලේ ගෙඩි වැලට බර නැහැ කියන කියමනත් ඇය සනාථ  කර තිබේ. නිකරුනේ කාලය මුදල් නාස්ති කර දෙමව්පියන්ගේ බලා‍පොරොත්තු  සුන් කරමින් ඖෂධ පවා මත් ද්‍රව්‍ය ලෙස භාවිතා කර මියැදෙන දරුවන් සිටින රටක දිරියෙන් නැගී සිටින මේ දරුවා තව තවත් ධෛර්යමත් කළ යුතුය. දෙමාපියන්ට ආශිර්වාද කළ යුතුය.


තම කුසින් උපන් දරුවා කහළගොඩකට විසි කරන්න මවුවරු සිටින රටක ආබාධිත දරුවා කරපින්නාගෙන ඉහළට ගෙන එන්නට වෑයම් දරන මෙවැනි මවුවරුන් පියවරුන් රටට වාසනාවක් බවද කිය යුතුමය.


විදේ‍යා්දය  විද්‍යාර්ථීන්ගේ සංගමය මෙම සිසුවාට අධ්‍යයන කටයුතු වෙනුවෙන් ලක්ෂයක මුදලක් ලබා දෙන බවද අපට එම සිසුවා හඳුන්වා දුන් සංගමයේ සංවිධායක රන්ජිත් ඉද්දමල්ගොඩ මහතා පැවසීය.
මවක් දරුවකු වඩාගෙන යාම සාමාන්‍ය දෙයකි. 


එහෙත් මේ අම්මා වඩාගෙන යන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිය දරුවායි. උපතින්ම ආබාධිත තත්ත්වයේ පසුවන මේ දරුවා වඩා ගෙන යන මව සරසවිය අවට අයට නිතර ඇස ගැටෙන සාමාන්‍ය සිදුවීමකි. ඔහු මාතර රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ්‍ය හා කළමණාකරණ  අධ්‍යාපනය  ලබන කසුන් චාමර සිසුවායි.











 
 
Related Posts with Thumbnails