Ads 468x60px

.

නිවුන් දරු උපත් ඇතිවන්නේ මෙහෙමයි...

කාන්තාවකට නිවුන් දරුවන් පිහිටන්නේ කෙසේද ? 

නිවුන් දරුවන් දෙදෙනකුට වඩා හට ගන්නේ කෙසේද ?

නිවුන් දරුවන් බිහිවීමේදී ඇතිවන ගැටලු. 

අපේ රටේ සිදු වූ දෙවන පස් නිවුන් දරු උපත පසුගිය 15 දා මහනුවර මහ රෝහලෙන් වාර්තා වුනා. ඒ කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි රසාංගිකා ශ්‍යාමන්ති මේ පස් නිවුන් දරුවන් බිහිකළ මවයි

අපේ රටේ පළමු පස් නිවුන් දරු උපත 2004 දී සිදු වූ අතර ඒ කාසල් කාන්තා රෝහ‍ලේදීය.සාමාන්‍යයෙන් නිවුන් දරුවන් දෙදෙනකු බිහිවීම බොහෝ විට අපට අසන්නට දකින්නට ලැබෙන දෙයකි. නමුත් දරුවන් පස්දෙනකු බිහිවීම ඉතා කලාතුරකින් වන තත්ත්වයක් වේ. 


කාන්තාවකට නිවුන් දරුවන් පිහිටන්නේ කෙසේද ?
නිවුන් දරුවන් වර්ග 2 කි. ඒ සම නිවුන් හා නොසම නිවුන් දරුවන් ලෙසිනි. වෛද්‍ය විද්‍යාවේ මෙය Dizygotic twins (නොසම නිවුන් Non identical twins) හා Monozygotic twins (සම නිවුන් identical twins)) ලෙස හැඳින් වේ. 


කාන්තාවකගේ ඩිම්බ කෝෂයෙන් එක් ඩිම්බයක් පිටවී එය ශුක්‍රානුවක් සමග සංසේචනය වීම තුළින් එක් කළලයක් හටගෙන එක දරුවකු බිහිවීම සාමාන්‍යයෙන් සිදුවන දෙයයි. 


නමුත් මවකට ඩිම්බ දෙකක් එකවර පිටවී එම ඩිම්බ දෙක ශුක්‍රානු දෙකක් සමග සංසේචනය වුණොත් එවිට නිවුන් දරුවන් දෙදෙනකු පිහිටනු ඇත. මේ දරුවන්ගේ වැදෑමහ වෙන්වෙන්ව පවතින අතර ඇතුළත පටලය (Amnion) සහ පිටත පටලය (Chorion) ද වෙන්වෙන්ව පිහිටයි. මේ නොසම නිවුන් හෙවත්(Dizygotic twins) දරුවන්ය.


නමුත් මවට එක ඩිම්බයක් පිටවී එය එක් ශුක්‍රානුවකින් සංසේචනය විමෙන් පසු එම කලලය සමහර අවස්ථාවලදී දෙකට බෙදිය හැකිය. මෙසේ කලලය දෙකට බෙදී දරුවන් දෙදෙනෙකු ලෙස වර්ධනය වන අතර ඒ සම නිවුන්(Monozygotic)දරුවන් වේ.


මෙසේ කලලය වෙන්වීම සිදුවන අවස්ථා
සංසේචනයෙන් පසු පළවෙනි හෝ දවෛනි දිනයේ කලලය කැඩුණොත් ඒ කලලවල ඇතුළත පටලය හා පිටත පටලය වෙන වෙනමත්  වැදෑමහ එකක් වශයෙන් හෝ දෙකක් වශයෙනුත් පැවතිය හැකිය. 


දින 3-8 අතර කලලය බෙදුනොත් පිටත පටලය එකක් ලෙසත් ඇතුළත පටල දෙකක් ලෙසත් දෙකටම එක වැදෑමහක් හෝ දෙකක් පිහිටීමට පුළුවන. සංසේචනයෙන් දින 9-12 අතර බෙදුනොත් පිටත පටලය සහ ඇතුළත පටලය එක බැගින් පිහිටා දරුවන් වැඩෙන්නේ එකම බෑගයක් තුළය.


නිවුන් දරුවන් දෙදෙනකුට වඩා හට ගන්නේ කෙසේද ?
එකවර ඩිම්බ තුනක් පිටවී එය ශුක්‍රානු තුනක් සමග සංසේචනය වීමෙන් තුන් නිවුන් දරුවන් හැදෙන්නටත් පුළුවන. 


එසේම මෙසේ පිටවන ඩිම්බ දෙක ශුක්‍රානු දෙකක් සමග සංසේචනය වීමෙන් පසු එම කලල දෙක තවත් කොටස් දෙකකට බෙදී ගියොත් මවට සිව් නිවුන් දරුවන් හැදෙනු ඇත. යම් හෙයකින් මේ කලල දෙකෙන් එකක් පමණක් දෙකට බෙදුනොත් එවිට හැදෙන්නේ තුන් නිවුන් දරුවන්ය. එවිට එකම කලලයෙන් බිහිවූ දෙදෙනා සම නිවුන් වන අතර අනෙක් කලලයෙන් බිහිවූ දරුවා නොසම නිවුන්ය. 

ඔය එක් ආකාරයකි. එසේම එකම ඩිම්බයක්, ශුක්‍රාණුවක් සමග සංසේචනය වී එය දෙකට බෙදී මුලින්ද සඳහන් ආකාරයට නිවුන් දරුවන් දෙදෙනකු හටගත  හැකි සේම එසේ බෙදුණු කලලයකින් එකක් නැවත දෙකට බෙදී තුන් නිවුන් දරුවන් හදන්නටද පුළුවන.


එසේ බෙදුනු කලල දෙකක්  නැවතත් බෙදුනොත් නිවුන් දරුවන් පස් දෙනකු හැදෙනු ඇත. කලලය සංසේචනය වී මුල් දින දොළහ ඇතුළත මෙසේ ඕනෑම ආකාරයකට බෙදි බෙදී යාමේ හැකියාව පවතියි. නිවුන් දරුවන් කිහිප දෙනකු බිහිවන්නේ මේ බෙදීම සිදුවන ප්‍රමාණය අනුවය.


දෙබිඩි දරුවන් මෙසේ බෙදීම සංසේචනයෙන් මුල් දින දොළහ ඇතුළතදී සිදුවන අතර යම් හෙයකින් දොළොස් වෙනි දිනයෙන් පසුව බෙදුණොත් එම දරුවන් සම්පූර්ණයෙන් වෙන් නොවී සමහර අංග එකට ඇලුණු දෙබිඩි දරුවන්(Conjoined twins) ලෙස බිහිවනු ඇත. නිවුන් දරුවන් වෙන් වෙන්ව පිහිටන්නේ සංසේචනය සිදුවී මුල් දින දොළහ ඇතුළත බෙදුණු විට බව මෙහිදී විශේෂයෙන් අවධාරණය කරමු.


එකම කලලය දෙකට බෙදී හැදෙන සම නිවුන් දරු උපත් දහසකට හතරක් පමණ සිදුවේ. මෙය ලෝකයටම ‍පොදු තත්ත්වයකි. තුන් නිවුන් දරුවන් හැදීම දරු උපත් දසදහසකට එකකි. සිවු නිවුන් දරුවන් ලක්ෂ 6කට එකක් වේ. 


ඒ අනුව පස් නිවුන්, සය නිවුන් වැනි දරු උපත් ඊටත් වඩා දුර්ලභය.
අප මේ දක්වා සඳහන් කළේ ස්වාභාවික අන්දමට හැදෙන නිවුන් දරුවන් පිළිබඳවය. ලෝකයේ මේ වනවිට දරුවන් නැති මව්වරුන් හට දරුවන් ලැබිම සඳහා විවිධ ක්‍රම භාවිත කෙරේ. 


ඩිම්බ මෝචනය වීම සඳහා ඖෂධ ලබාදීම, නළ දරුවන් හැදීම මින් ප්‍රධාන ක්‍රම දෙකකි. මේ හැම ක්‍රමයකදීම එක් දරුවකු හැදෙනවාට වඩා නිවුන් දරුවන් දෙදෙනකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් (Multiple Pregnancey)  බිහිවීමේ ප්‍රතිශතය වැඩිවී ඇත.

නිවුන් දරුවන් බිහිවීමේදී ඇතිවන ගැටලු.
නිවුන් දරුවන් බිහිවීමෙන් දෙආකාරයකින් ගැටලු ඇතිවේ. එකක් නම් මේ නිසා මවට ඇති වන ප්‍රශ්නය. අනෙක එම දරුවන්ට ඇති වන ප්‍රශ්නය.
මෙහිදී මවුවරුන්ට ප්‍රශ්න රාශියක් ඇතිවේ. ගර්භණී සමයේ රුධිර පීඩනය වැඩිවීම(Pregnancey Induced Hypertension), 


රක්තහීනතාවය (Anaemia) හටගැනීම, දරු ගැබට නිසි කල සම්පූර්ණ වීමට පෙර ප්‍රසූත වේදනාව ඇතිවීම, දියවැඩියා රෝගය හටගැනීමට තිබෙන අවදානම වැඩිවීම, ගැබිනි සමයේ මුල් කාලයේ වමනය යාම වැඩිවීම, ගැබ තුළ දරුවන් වටා ඇති තරලය වැඩිවීම, 

වැදෑමහ පහළින් පිහිටීමේ හැකියාව වැඩිවීම, ප්‍රසූතියට පෙර වැදෑමහ ගැලවී යාමට තිබෙන හැකියාව වැඩිවීම, පෙකනිවැල තදවීමට තිබෙන හැකියාව වැඩිවීම, දරුවන් බිහිකිරීමට සිසේරියන් සැත්කම කිරීමට තිබෙන හැකියාව වැඩිවීම, ප්‍රසූතියෙන් පසු මවට අධික රුධිර වහනයක් ඇතිවීමට තිබෙන හැකියාව වැඩිවීම මේ අතරින් ප්‍රධාන ය.

බිහිවන දරුවන්ට ඇතිවන ගැටලු ගැන බැලුවොත් මවගේ ගර්භාෂය තුළ හිඳින විට වර්ධනය හීන වීමේ හැකියාව, ගැබට නිසි කල පිරෙන්නට පෙර බිහිවීමට  තිබෙන හැකියාව වැඩිවීම මේ අතරින් ප්‍රධාන ගැටලු කිහිපයකි.


සාමාන්‍යයෙන් ගර්භණී කාලය සති 40කි. නමුත් මෙහිදී නිවුන් දරුවන් දෙදෙනකු නම් සති 37දීත්, තුන් දෙනෙක් නම් සති 33-34 අතරදීත්, සිව් දෙනෙක් නම් සති 28-29දීත් බිහිවිය හැකිය. ඒ අනුව දරුවන් ගණන වැඩිවන තරමට බිහිවන කාලය ඉක්මන්වේ.  එය එම දරුවන්ට යහපත් තත්ත්වයක් වන්නේ නැත.


එකම ලිංගයක දරුවන් ලෙස මෙන්ම විෂම ලිංගික දරුවන් ලෙසද නිවුන් දරුවන් බිහිවීම.
එකම කලලයක් දෙකට බෙදුණොත් එම මුල් කලලය ස්ත්‍රී නම් එයින් බෙදී ඇතිවන අනෙක් කලලත් ස්ත්‍රීම වේ. සම නිවුන් දරුවන් එකම ලිංගයක දරුවන් ලෙස බිහිවන්නේ ඒ නිසාය. නමුත් ඩිම්බ දෙකක් වෙන වෙනම සංසේචනය වුණොත් එය එකම ලිංගයක දරුවන් ලෙස හෝ ස්ත්‍රී හා පුරුෂ වශයෙන් විෂම ලිංගික දරුවන් ලෙස බිහිවිය හැකිය.


ඩිම්බ දෙකක් ශුක්‍රාණු දෙකක් සමග සංසේචනය වී බිහිවන දරුවන් වෙනම පුද්ගලයන්ය. ඔවුන්ගේ ජාන පවා වෙනස්ය. නමුත් එකම ඩිම්බයකින් හැදෙන කලලයක් වෙන්වීම තුළින් හැදෙන නිවුන් දරුවන්ගේ ලිංගිකත්වය සමාන වනු සේම අනෙක් සියලු ආකාරවලින්ද ඔවුන් සමාන වේ.


නිවුන් දරුවන් හට ගැනීමේදී ඇතිවන ප්‍රශ්න.
සම නිවුන් දරුවන් හට එකම බාහිර පටලයක් ඇතිවීම මත ඔවුන්ගේ රුධිරය මිශ්‍රවීම සිදුවිය හැකිය. මේ නිසා රුධිර ගමනා ගමනයේ ප්‍රශ්න මතුවීමට පුළුවන. මෙවැනි දරුවන්ට ඇතිවිය හැකි තවත් ගැටලුවක් වන්නේ එක දරුවකුගේ රුධිර ගමනා ගමනය වැඩිවී අනෙක් දරුවාගේ රුධිර ගමනාගමනය අඩුවීමය. මෙය feto fetal transfusion sundrome නම් වේ. 


මෙහිදී ‍ලේ ගමනා ගමනය වැඩිවූ දරුවාගේ ‍ලේ මෙන්ම තරලයද වැඩිවී දරුවා ඉදිමීම සිදුවනු ඇත. මෙසේ වන්නේ එකම වැදෑමහක් දෙදෙනාටම පවතින නිසාය. අනෙක් දරුවාට ‍ලේ අඩුවීම නිසා වියළීම සිදුවිය හැකිය. මේ තත්ත්වය ඇති වුණොත් මේ දරුවන් දෙදෙනාම මව්කුසේදීම මියයාමට හැකියාව තිබේ. 

මේ නිසා වරින්වර ස්කෑන් පරීක්ෂණ කරමින් මේ පිළිබඳ වෛද්‍යවරුන් අවධානයෙන් සිටිනු ඇත. මෙහිදී වැදෑමහෙන් රුධිරය බෙදී යන රුධිරවාහිනි අවහිර කිරීම සිදුකරන අතර කුමක් හෝ ගැටලු සහගත අවස්ථාවක් ආවොත් සිසේරියන් සැත්කමකින් දරුවන් බිහිකරවීමට සිදුවෙයි. 

එක දරුවකුට තරලය වැඩිවී අනෙක් දරුවාට අඩුවූ විට ඒ පටලය සිදුරු කිරීම වැනි ප්‍රතිකර්ම අවශ්‍ය පරිදි සිදුකෙරෙනු ඇත.නමුත් ඩිම්බ දෙකක් ශුක්‍රාණු දෙකකින් සංසේචනය වී සෑදෙන දරුවන්ට මෙවැනි ගැටලු ඇති නොවේ.


උපදෙස් - දකුණු කොළඹ (කළුබෝවිල) ශික්ෂණ රෝහ‍ලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ  වෛද්‍ය ධම්මික සිල්වා
 
Related Posts with Thumbnails