Ads 468x60px

.

මට දුවෙක් හදන්න ඕනෑ, කැමති කෙනෙක් ඉන්නවානම් අයැදුම්පත්‍රයක් එවන්න - අනෝමා


කාන්තාවක් වීම තුළ ජීවිතයේ අහිමි වුණු දේවල් තිබෙනවාද?

ඔව්, මම හිමි කරගත්තු හැම දෙයක්ම පිරිමි සමාජය මගෙන් උදුරාගත්තු මට අයිති මගේ දේවල්. සමහරක් මගෙන් ගිලිහුණා. ළමා කාලය, හුරතලය, සුන්දරත්වය, මවුපිය සෙනෙහස වගේ දේවල්. මම කුඩා කාලයේදීම අම්මා, තාත්තා, බාප්පාගේ කීමට මාව ගෙදරින් පිටමං කළා.


මම අද කියනවා, මට බාල නංගි තමයි ඒ වේදනාවට ඊ ගාවට ගොදුරු වුණේ. ඇය වයස අවුරුදු 24දී බැල්කණියේ ගෙල වැලලාගෙන සියදිවි
තොර කරගන්නවා. ඒ ගැන මම පුනරුක්ති 4 කොටසින් කියනවා. 

මම පිරිමි සමාජය එක්ක වැලහින්නක් වගේ පොර බදලා අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ප්‍රේමය, කලාව, නිළිකම වගේ අරමුණු මම ඔවුන්ගෙන් උදුර ගත්තා.

කාන්තාවක් විදියට ජීවිතේ තෘප්තිමත්ද?

නැහැ. අපිට අපේ ජීවිත තෘප්තිමත් කරගන්න පුරුෂ මූලික සමාජයෙන් කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ.

කාන්තාවක් විදියට මේ සමාජයේ සෙසු කාන්තාවෝ ගැන තෘප්තිමත්ද?

 
නැහැ.


අනෝමා ජනාදරී කියන්නේ මේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. නමුත් ක්ෂේත්‍රය තුළ ඔබට කෙනෙහිලිකමක් සිදුවෙනවාද?


මේ රටේ දක්ෂ නළු නිළියන්ට ආදරයෙන් ගෞරවයෙන් සලකන්න ඕන අධ්‍යක්ෂවරයා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඇරෙන්නට විශේෂයෙන් වම් ඉවුරේ අධ්‍යක්ෂවරු නළු නිළියෝ (විශේෂ නිළියන්) සූරා කාපු අය. 


දෙවැනිව ඔවුන්ගේ දියුණුව තකා අපි සරුපස තෙතමනය වෙන්න ඕනෑ. අපිට හොඳ චරිතයක් දීම, ඒකට සංකේතනීය ප්‍රාග්ධනයක් ඒකරාශී වීම, සම්මාන, ගරුබුහුමන් තමයි අපිට ලැබෙන දීමනාව හැටියට ඔවුන් සලකන්නේ. 

අනෙක් ප්‍රබලතම කාරණය තමයි 99%ක්ම මේ රටේ අධ්‍යක්ෂවරු රඟපෑම නූගත් අය. මේ සාධක සමඟ මම මගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟීම ඒ අයට ලොකු ප්‍රශ්නයක්. ඉතින් මාව සුදුසු වුණත් නොගැනීම තමයි ප්‍රතිඵලය.

වරක් ඔබත් නීටා ප්‍රනාන්දු රංගන ශිල්පිනිය ලබාගත් සම්මානයම මෙරටට ගෙනාවා. නමුත් ඇයට බෙදපු හැන්දෙන් නෙවෙයි නේද ඔබට බෙදුවේ.


නීටා ප්‍රනාන්දුට ජනාධිපති ලේකම් කාර්යාලයට ආරාධනා කරලා ක්ෂේත්‍රයේ සියලුම නළු නිළියන්, ශිල්පීන් ඇවිත් එවකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක අතින් ගෞරවයට පාත්‍ර වුණා. වරප්‍රසාද, තෑගි බෝග දුන්නා. මට ඒ කිසිවක් නැහැ. ඔවුන්ගේ හෙලුව ඔවුන්ගේ රසඥතාවට බලපානවා, ඔවුන් කොතරම් දුප්පත්ද?


හරි. එහෙනම් ඒ පිටුපස අදෘෂ්‍යමාන යාන්ත්‍රණයක් තිබුණා කියලද කියන්නේ--?


ඔව්, එය තමයි මිථ්‍යාදෘෂ්ටිකත්වය සහ කුහක සදාචාරය. ඔවුන්ට සම්භාවනීය යාන්ත්‍රණයක් නැහැ.

ඔබේ ඉස්මතු වීම එවක සිටි නිළියන්ට අභියෝගයක් වුණාද?


ලංකාවේ ජේ‍යෂ්ඨ නිළියන්ගේ අතළොස්සයි. අයිරාංගනී සේරසිංහ, රුක්මණී දේවි, පුණ්‍යා හීන්දෙණිය, අනුලා කරුණාතිලක, සුවිනීතා වීරසිංහ, ස්වර්ණා මල්ලවආරච්චි. ඔවුන් මටවත් මං ඔවුනටවත් අභියෝගයක් නෙවෙයි.


"තනි තටුවෙන් පියාඹන්න" චිත්‍රපටය ඔබේත් එවක ඔබේ සැමියා වූ අශෝක හඳගමගේත් ආදරයේ ප්‍රතිඵලයක්ද?


තනි තටුවෙන් පියාඹන්න කියන්නේ ඔහුගේ ස්වාමීත්වයට මා කළ අභියෝගයකට සිදුකළ පළිගැනීමක් පමණයි. ඔහු මාව ලෝකය ඉදිරියේ විකාරරූපී ලෙස වංචනික ලෙස නිරුවත් කර මානසික සුගතියකට පත් වුණා. නමුත් ඔහුගේ ව්‍යාධි කුමන්ත්‍රණය ඔහුටම පාරාවළල්ලක් වුණේ මා එම චිත්‍රපටය, තිරනාටකය, අධ්‍යක්ෂණය අභිභවා රඟපෑව නිසයි.

හරි එහෙමනම් ඔබ ඔහුට එක්තරා මොහොතකදී පාවිච්චි වෙලා තියෙනවා කිව්වොත් හරි නේද?


ඔය කියන අදහස මට තේරෙන්න ටික කලක් ගතවුණා. නමුත් චිත්‍රපටයට එකඟවීමේදී දෙදෙනාටම ජයගත යුතු කලාවේ තීරණාත්මක ඉලක්ක තිබුණා. ඒ සඳහා දෙදෙනාම දෙදෙනාව පාවිච්චි කරන බව හොඳින් දැනගෙන හිටියේ.


තනි තටුවෙන් පියාඹන්න ඔබේ සම්මානනීය රංගනය වෙනුවෙන් ඔහු ඔබට ගෙවූ මිල කොපමණද?


බිංදුවයි. දුන්හිඳ අද්දර, දියකැට පහන, සින්තටික් සිහින, චන්දකින්නරී, මේ මගේ සඳයි, ප්‍රභාතය, තනි තටුවෙන් පියාඹන්න යන සියලුම නිර්මාණ වලට මට ගෙවූ මුදල බිංදුවයි. ඔහු මගේ වෘත්තීයමය අයිතිවාසිකම් ගොඩනඟලා මගේ වෘත්තීය නිදහස ඇති කරනවා වෙනුවට ඒක ඒ හීන නින්දිත විදියට මාව සූරාකෑවා. 


අද ඒ නිර්මාණ සියල්ලම ඩී.වී.ඩී. තාක්ෂණයෙන් පටිගත කර රට පුරා වීඩියෝහල්, හන්දි ගාණේ තිරිසන් ලෙස සදාචාර විරෝධී ලෙස සූරා කනවා. ගිවිසුමකට නොබැඳීම ඔහු ක්‍රියාවේ යොදවන නිරුවත් වානර ක්‍රමය දැන් හොඳින් පේනවනේ.

එවක ඔබ ඔහුගේ බිරිය. තම බිරියට ගෙවීම අවශ්‍ය සාධකයක් කියල ඔහු හිතන්නේ නැතිව ඇති. ඔබත් ඒ ගැන ඇහුවද නැද්ද දන්නෙ නැහැනේ?


ඕක තමයි අර්බුදය නංගි, මම බිරිය වීම ඇතුළේ එතකොට වෘත්තීය කොහේද? එයා සැමියා වුණාම එයා එළියේ ඉන්න අයට ගෙවීමක් කරනවා. එයට පිළිගැනීමක් තිබෙනවා. එයාටත් ගාණක් ලැබෙනවා. 


ඇයි ඔහු මට ඒ සැලකිල්ල නොකළේ. මට ඒ වෘත්තීය අයිතිය නැද්ද? මම ශිල්පිනියක්, මට හරි මගේ ගෙදර ඉන්න දරුවාට හරි, පිට අයට හරි ගෙවන ගාණ ගැන විමසන්න ඕනෑ අධ්‍යක්ෂවරයා. 

පිට ඉන්න අයට ගෙවනවා නම් ඇයි ගේ ඇතුළේ ඉන්න කෙනා ගැන නොසලකා ඉන්නේ. මට මතකයි මම චන්දකින්නරී එකේදි ද කොහෙද ඇහුවා ඇයි මට ගෙවන්නේ නැද්ද කියලා.

සිනමා පටය හරහා ඔබේ රංගන ප්‍රතිභාව සහ ඔබ ඉස්මතු වීම ඔබේ සැමියාට දරාගන්න අසීරු වුණාද?


ඔව්, මගේ ඉස්මතු වීම අශෝක හඳගමට දරාගන්න බැරිවුණා. චිත්‍රපටය සිනමාහල්වලට මුදාහැරියට පසුව විචාරකයන් මාව අගයද්දී ජනමාධ්‍යයන් විසින් මාව හොයන්න පටන් ගත්තා. මේ අයට වුවමනා වුණා මම ජනමාධ්‍යයට කියන කරුණු ඔවුනට ඕන විදියට පෙළගස්වන්න. 


ඔවුන් මට ජනමාධ්‍යයට ආමන්ත්‍රණය කරන විදිය ගැන පන්ති පවත්වන්න පටන් ගත්තා. අධ්‍යක්ෂවරයාට තමුන්ගේ චිත්‍රපටයේ නිළිය ප්‍රශස්ත සේ රඟපෑම දරාගන්න බැරි වෙන තරම් නිහීන දුර්වල අධ්‍යක්ෂවරු ඉන්න ක්ෂේත්‍රයක් මේක. හරියට අභිමාන් චිත්‍රපටයේ කතාව වගේ.

ඔය කියන කාරණාව ඔබේත්, අශෝක හඳගමගේත් විවාහය දෙදරා යන්න හේතු වුණු එකම කාරණාව කියලද ඔබ හිතන්නේ?


නැහැ, ඒක එක හේතුවක් විතරයි. ප්‍රබල වෙනත් ලිංගික ද්වේෂය, ගෘහස්ථ පීඩනය වැනි හේතු ඊට පෙර සිටම පෙළගැසෙමින් තිබුණා.


ලිංගික ද්වේෂය කියන කාරණය හරහා මතුකරන්නේ තුන්වැන්නියකගේ ආගමනයක් ගැනද?

 
ඔව්, තුන්වැන්නියක් පැමිණ ඒ වෙද්දී පෙළ ගැස්සෙමින් තිබුණු හේතු හොඳින් විශ්ලේෂණය කරමින් කල් යල් බලමින් තමුන්ගේ අවස්ථාව එනකන් හිටියා. ඇය එන්නේ 1997 ටෙලිස්ටාර් ආයතනයෙන් නිෂ්පාදනය කරපු 'දියකැට පහනේ' ප්‍රදර්ශනය හරහා නිෂ්පාදන කළමනාකාරිනියක් විදියට. එතැන් සිට 2003 වෙනතුරු මම ඇය සමඟ කලා කටයුතුවල නිරත වුණා.

විවාහය සම්බන්ධයෙන් එදා ගත්තු තීරණය ගැන ඔබ අද පසුතැවෙනවාද?


නැහැ. ඇත්තටම මගේ හිත ගියේ අමිත්ට. වාසගම කියන්න බැහැ ඔහු නළුවෙක් නිසා. අපි එතකොට එකම වර්ක් ෂොප් එකේ ඉගෙන ගත්තේ. ඔහු ටිකක් විතර ආඩම්බර හිත හොඳ කොල්ලෙක්. ඒ අතර තමයි හඳයා මාව දැලේ දාගත්තේ. 


මගේ තාත්තා හඳයා ගැන දැනගත්තු දවසේ මගෙන් ඇහුවේ "උඹේ ඇස් පෙනීමේ දුර්වලකමක් තියෙනවාද? මොකෙක්ද මේ ලොඹු කටක් තියෙන එකෙක්" කියලයි" මම කිව්වේ මට ඕන මනුස්සකම කියලයි. තාත්තා මගෙන් ඇහුවේ 'කුලේ මොකක්ද" කියලා, මම කිව්වේ මම දන්න තරමින් මනුස්ස කුලේ" කියලා.

අද වෙද්දි ඔබ ඔහුට වෛර කරනවාද?


නැහැ. හැබැයි දැන් පේනවා මම හොයපු මනුස්සකමවත් මට නෑ කියලා. ලෝකෙට තියෙනවා ඇති මට එදා තිබුණෙත් නෑ. අදත් නැහැ.


පුනරුක්ති තුළ ඔබ ඔබේ අම්මාගේ, තාත්තාගේ, බාප්පාගේ ලිංගික සබඳතා ගැන විවෘතව කතා කරනවා. 


ලංකාව වගේ සංස්කෘතික රාමුවක් ඇති රටක දුවෙක් තමන්ගේ මවුපියන්ගේ ලිංගික සබඳතා ගැන කතා කිරීම බොහෝ අය හෙළා දැක්කා නේද? අම්මාගේ, තාත්තාගේ නෙවෙයිනේ මේ වැඩිහිටියන්ගේ අනියම් සබඳතා ගැනයි කතා කළේ. ඒක තමයි මගේ සමාජය තුළ තියෙන හැංගුණ කුහකකම.

ඔබ දැන් ඔබේ අම්මාට, තාත්තාට, බාප්පාට වෛර කරනවාද?


ඔව්. ඔවුන්ට තම තමන්ගේ සදාචාරයේ කුහකකම කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් ප්‍රශ්න කරන්න කියලා මම කැමැතියි කියන්න.


සමහරු කියනවා ඔබට පියවාගන්න නොහැකි වුණු ලිංගික ඉරිසියාවත්, කුහකත්වයත් තුළ ඉඳගෙනයි මේ වගේ දේවල් ලියන්නේ කියලා.


රෙහානා ජබ්වාර් කියන ඉරාන කාන්තාව එල්ලලා මරලා දැම්මා, තමාව දූෂණය කරන්න ආව නරුමයාට දිය යුතු දඬුවම දුන් නිසා. ලෝකය පුරාම ගැහැනිය කියන සුන්දර සත්ත්වයාට එරෙහි නරුම හිංසන ක්‍රියාත්මක වෙනවා. බැල්මෙන්, රැවුමෙන් පවා. මේකත් මම දකින්නේ නරුම හිංසනයක් විදියටයි.


දික්කසාද වුණු ගැහැනියක මේ සමාජයට තවමත් අමුතු සත්ත්වයෙක් වෙන්නේ ඇයි?


කුහක සදාචාරය, කාන්තාවට එරෙහිව දියත් කර ඇති අවනීතිය නිසා.

ඔබ ස්ත්‍රීවාදිනියක්ද?


ස්ත්‍රීවාදිනියක් කියන අදහසට මම තනි තටුවෙන් කළ චිත්‍රපටයට කළ කැපකිරීමම ප්‍රමාණවත්.


දවසකට පිරිමියෙක් වුණොත් මොකද කරන්නේ?


සියලුම පිරිමින්ට ගර්භාෂ බද්ධ කරනවා.


නැවතත් මේ රටේ ජනාධිපතිකම කාන්තාවක් අතට පත් වුණොත්?


අපි තීරණාත්මක අවධියකයි ඉන්නේ. පශ්චාත් යුද සමය, ජිනීවා විභාග කිරීම ඒකට මුහුණ දෙන්න රාජපක්ෂවරු ඇරෙන්න වෙන කවුරුත් සුදුසු නැහැ. මට පක්ෂ දේශපාලනයක් නැහැ. මම එය අවධාරණය කරනවා.

ගැහැනියට මේ සමාජයේ සම තැනද, නිසි තැනද?


සමානාත්මතාව පිළිබඳ අදහස ක්‍රියාත්මක කරන්න තරම් පිරිමි සංවේදී නැහැ. පිරිමියා ඉන්නේ උන්නතිකාමය සමඟ. ඒ තරගයට යන්න ආවේගකාරී ගමනේ වෙහෙස නිවන්න යොදාගන්න නීත්‍යනුකූල අඩවිය තුළ තමයි තවමත් ගැහැනිය වහලිය ලෙසට ඉන්න ඕන. 


බුද්ධාගමේ තියෙන්නෙත් බුදු වෙන්න පුළුවන් පිරිමියකුට පමණයි කියලානේ. කාන්තාව අනවශ්‍ය විදියට මුරුංගා අත්තේ තියන්න ඕනත් නෑ. අනවශ්‍ය විදියට පහතට දාන්න ඕනත් නෑ. ඇයට සුදුසු පරිදි සුදුසු ගෞරවය ලබා දුන්නම ඇති.

"අවසර කල් රහස් තැන ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන" කිව්වා. වරදේ බැඳෙන්න නම් ගැහැනියක් වීම සුදුසුකමක්ද?


නැහැ, හොඳට බලන්න ගැහැනු සතා වරදේ බැඳෙන සතෙක්ද එහෙම නැත්නම් පිරිමි සතාගේ වුවමනාවට පොලඹවා ගන්න සතෙක්ද කියලා. ඕවා බූරු ගතානුගතික සාහිත්‍යකාරයන්ගේ පෞද්ගලික අසාර්ථක පබැඳුම්.


නැවත විවාහ වෙන්න අදහසක් තියෙනවාද?


ඔව්. මට දුවෙක් හදන්න ඕනෑ. ඉන්නේ පුතෙක් නිසා. ඒකට මම විවෘත ආරාධනාවක් කරනවා. සුදුසු අය ඉන්නවානම් අයැදුම්පත්‍රයක් එවන්න කියලා.


මේ වෙද්දි ඔබ විරුද්ධ ලිංගික ප්‍රේමය අත්විඳිනවාද.


ඒක රහසක්.
 
Related Posts with Thumbnails