Ads 468x60px

.

මිනිසකුට කිසිම දෙයක්‌ නිකම් දිය යුතු නැති බව


පත්තරකාරයන්ට, TV වල වැඩ කරන මාධ්‍යකාරයන්ට සහ ගුවන් විදුලි ශිල්පීන්ට හෙවත් ජනමාධ්‍යවේදීන්ට හෝමාගම දියගමින් නිවාස 1500 ක්‌ හැදීම සඳහා නොමිලයේ ඉඩම් ලබාදීමට මැනුම් කටයුතු ඊයේ (26 දා) ආරම්භ කළ බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක පවසා ඇත. 

මේ රටේ දැනට සිටින සියලු ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ඇමැති ගයන්තට ස්‌තුති කිරීමට මෙය අවස්‌ථාවක්‌ කර ගනිමු. නිවාසයක්‌ යනු හැම මධ්‍යම පාන්තිකයකුටම තිබෙන ප්‍රශ්නයකි. මෙය නිකම්ම ප්‍රශ්නයක්‌ නොව ගින්දර ජාලාවක්‌ වැනි ප්‍රශ්නයකි. 

මේ රටේ ධනපති පන්තිය නියෝජනය කරන ජනමාධ්‍යකරුවන් ඇත්තේ ඉතා ස්‌වල්පයකි. මේ නිසා සමස්‌ත මධ්‍යම පන්තියටම සහ සමස්‌ත
නිර්ධන පන්තියටම තිබෙන නිවාස, ජීවන වියදම, ගමනාගමනය වැනි ප්‍රශ්න මාධ්‍යකරුවන්ට තිබේ.

1977 න් පසු මේ රටේ පහළ වූ ආණ්‌ඩුවලින් කිහිපයක්‌ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න විසඳන බව පොරොන්දු වී, ප්‍රශ්නය අතපත ගා පැත්තකට විය. ඡේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපතිව සිටි කාලය මේ රටේ මාධ්‍ය කලාව නවීකරණය වූ කාලයයි. එසේම මේ රටේ ජනමාධ්‍යකරුවන්ට ගුටි දීමට පටන් ගන්නා ලද්දේ ද මේ කාලයේදී ය.

ඡේ. ආර්. පත්තරවලට බය නොවූ අතර සමහර පත්තර ද ඡේ. ආර්. ට බය වූයේ නැත. ඡේ. ආර්. එකල තිබූ කොමියුනිස්‌ට්‌ ඇත්ත පත්තරයට ගැහූ තරමටම, ඇත්ත පත්තරය ද ඡේ. ආර්. ට ගැහුවේය. 


'දිවයින' ට පාඩමක්‌ උගැන්වීමේ පරම අභිලාෂයෙන් කටයුතු කළ එතුමා 'දිවයින' ට දෙන ආණ්‌ඩුවේ දැන්වීම් නවත්වා දමන ලද නමුත් පෞද්ගලික අංශයේ දැන්වීම්වලින් යෑපීමට 'දිවයින' ට හැකි විය. 

ජනාධිපති ආර්. ප්‍රේමදාස තම හිතවත් ජනමාධ්‍යකරුවන් ස්‌වල්ප දෙනකුට ද සංගීතඥයන් සහ නළුවන් විශාල පිරිසකට ද ගෙවල් දුන්නේ ය. එහෙත් එයින් ජනමාධ්‍යකරුවන්ගෙන් 000.1% ක වත් නිවාස ප්‍රශ්නය විසඳුණේ නැත.

චන්ද්‍රිකා බණ්‌ඩාරනායක ජනාධිපතිතුමියගේ කාලයේදී බත්තරමුල්ලේ නිවාස සංකීර්ණයක්‌ හදා මාධ්‍යවේදීන් පිරිසකට නිවාස ලබා දෙන ලදී. එය සුප්‍රකට රිචඩ් ද සොයිසා නිවාස ක්‍රමයයි. ගිය ආණ්‌ඩුව මාධ්‍යකරුවන් 200 කට පමණ 'කාර් ලෝන්' දුන්නේ ය. 


කාර් එකක්‌ ඉතා වැදගත් බව ඇත්ත. එහෙත් ඉඩමක්‌ නැති මාධ්‍යකාරයකු ට ඉඩමක්‌ ගන්නට හෝ ඉඩමක්‌ තිබෙන මාධ්‍යකාරයකුට ගෙයක්‌ හදා ගැනීමට මුදලක්‌ දුන්නා නම් කොතරම් හොඳද? මේ ආණ්‌ඩුව සුළුතර ආණ්‌ඩුවක්‌ වුවත් ජනමාධ්‍යකාරයන් ගේ නිවාස ප්‍රශ්නය විසඳීමට මහා පරිමාණයෙන් කල්පනා කර ඇත. 

ඉඩමක්‌ හා ගෙයක්‌ යන දෙකම මාධ්‍යකාරයකුට නිකම් දිය යුතු නැත. සමහර විට එකක්‌වත් නිකම් දිය යුතු නැත. එසේ නිකම් බඩු ගැනීමට පුරුදු වූ විට මාධ්‍යකාරයා කෙළින්ම පරපෝෂිතයකු බවට පත්වන අතර ඔහුගේ ආත්මය නන්නත්තාර වෙයි.

කිසිම මිනිසකුට කිසිම දෙයක්‌ නිකම් දිය යුතු නැති බවට ආර්ථික න්‍යායක්‌ තිබේ. කට්‌ටියක්‌ වළවල් හාරාගෙන යන අතර තව කට්‌ටියක්‌ ඒ වළවල් වැසීමට යොදවා හවසට ඒ දෙගොල්ලට පඩි නඩි බේරනවා මිස නිකම් තඹ සල්ලියක්‌වත් නොදෙන ලෙස එම ආර්ථික න්‍යායේ සඳහන්ය.


ඒ අනුව ජනමාධ්‍යකරුවන්ට දියගමින් දීමට යන ඉඩම් නොමිලයේ දීම පමණක්‌ම ඉතාම ප්‍රමාණවත් සද් ක්‍රියාවක්‌ වන්නේ ය.
 
Related Posts with Thumbnails