Ads 468x60px

.

අනතුර සිදුකර පලායමින් සිටි ලොරිය හඹා ගිය තරුණයා එම රථයට යට වී මියයයි

ප්‍රකෝප වූ ජනයා ලොරි දෙකකට ගිනි තබති
බස්‌රථයක ගැටී පලායමින් සිටි ලොරි රථයක්‌ පසුපස යතුරුපැදියකින් හඹා ගිය තරුණයකු

එම ලොරිරථයට යටවී මරණයට පත්වීම හේතුවෙන් කුපිත වූ ගම්වාසීහු එම ලොරිය සහ එම රථය හිමිකරු සතු තවත් ලොරිරථයක්‌ ගිනි තබා විනාශ කොට ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි.

කොළඹ - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර පල්ලියද්ද ප්‍රදේශයේදී බස්‌රථයක්‌ පසුකර යමින් තිබූ කර්මාන්තශාලා නිමි ඇඳුම් පැටවූ ලොරිරථයක්‌ බස්‌රථයේ ගැටී ඇති අතර එහිදී ලොරි රියෑදුරු රථය නොනවත්වා ඉදිරියට ධාවනය කොට ඇත. පසුව මැල්සිරිපුර අබන්පොල ප්‍රදේශයේදී අතුරු මාර්ගයක්‌ හරහා ධාවනය කරමින් සිටි ලොරිරථය පිටුපසින් පැමිණි බස්‌රථයේ සහයකද එම ස්‌ථානයේදීම පහරදී නැවත ලොරිරථය දඹුල්ල දෙසට ධාවනය කොට ඇත. මෙය දුටු ගම්වාසී තරුණයකු ලොරිරථය පිටුපසින් හඹා ගොස්‌ ඇල්ලීමට උත්සාහ කිරීමේදී මෙම ඛේදවාචකයට මුහුණ පා ඇත. ඉන්පසු නැවතත් ලොරිය ධාවනය කරමින් සිටියදී ඒ අසලින් ගමන් කළ යුද හමුදා බට පිරිසක්‌ ලොරිරථයේ පසුපස හඹාගොස්‌ දැඩි පරිශ්‍රමයක්‌ දරා මග හරස්‌ කොට එහි රියෑදුරු අල්ලා ගොකරැල්ල පොලිසියට භාර දී ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ 27 හැවිරිදි තරුණයා කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත් වී ඇත.

මෙලෙස මරණයට පත් වූයේ මැල්සිරිපුර අඹන්පොල නැකැත්ත පදිංචි විරාඡ් පියංග ජයසුන්දර නමැති අයෙකි.

ගොකරැල්ල පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. රංජිත් විතාරණ මහතාගේ උපදෙස්‌ මත උ.පො.ප. සිසිර, පො.සැ. (31368) උපුල්, (18527) වසන්ත, පො.කො. (9968) සේනාරත්න යන මහත්වරු පරීක්‍ෂණ සිදු කරති.
 
Related Posts with Thumbnails