එක්තරා විහාරස්ථානයක මහා පින්කමකි. උත්සව කමිටුව විසින් උත්සව සංවිධානය කිරීම පිණිස රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් වියදම් කොට ඇත. විහාරස්ථානය දෙපස කොඩිවැල් සරසා තිබුණේ බුද්ධාලම්භන පී‍්‍රතිය වැඩිවන ආකාරයටය.
උත්සව දිනය හා වේලාව ළංවිණි. සංවිධායක මණ්ඩලය ආරාධිත හිමියන් හන්දියේ සිට පෙරහරකින් විහාරස්ථානයට වැඩම කරවීමට සංවිධානය කර තිබිණි. වේලාව ළංවිය. සංඝනායක ස්වාමීන් වහන්සේ හන්දිය වෙත වැඩම කළහ. සංවිධායකයෝ පාවඩ පිට නායක හිමියන් විහාරස්ථානය වෙත වැඩම කරවීය. සන්සුන්ව නායක ස්වාමින් වහන්සේ වියන යටින් වැඩම කරති. වියන ඔසවා ගෙන යන ලද්දේ මැදිවියේ පිරිමි කිහිපදෙනෙකි.
වියන අල්ලාගෙන යන එක් සැදැහැවතකුට අපහසුවක් දැනිණ. නායක හිමි හැරී ඒ දෙස බලන විට ම ඩකස් ගා යමක් බිම වැටෙන හඬ ඇසිණ. කවුරුත් ඒ දෙස බැලුවේ විමතියෙනි.
පුදුමයකි. සැදැහැවන්තයාගේ ඉනේ සඟවාගෙන ගිය අරක්කු භාගයක බෝතලය බිම වැටී කුඩු වී තිබිණි. නායක හිමි ඒ පුද්ගලයා දෙස බලා “ඈ උපාසක මහත්තයෝ මෙවැනි අවස්ථාවකවත් ශීලයෙන් යුක්තව ගමන් කිරීමට නොහැකිද? මේ උත්සවය කොයි තරම් හොඳට සංවිධානය කර තිබුණත් දැන් සිදුවූයේ කුමක්දැයි” කියමින් වෙනත් පුද්ගලයකුගේ සහාය ඇතුව ගමන් කෙළේය.
එම පුද්ගලයාට ලැජ්ජාව දරාගැනීමට නොහැකිව බෝතල් කටු ටික ඉවතට විසිකොට නොබලාම යන්නට විය.