Ads 468x60px

.

"ග්‍රීස්‌ යක්‍ෂ" කතා බොරු කරමින් සැබෑ තතු කියන්න ගම් 3000 කට සිවිල් කමිටු

අම්පාර සහ මඩකලපුව ප්‍රදේශයන්හි ජනතාව අතර පැතිර යන "ග්‍රීස්‌ යකා" භීතිය මුළුමනින්ම තුරන් කරමින් ජනතාවට සත්‍ය වටහා දීම සඳහා ගම්මාන තුන්දහසක්‌ ආවරණය වන පරිදි සිවිල් කමිටු ස්‌ථාපිත කිරීමට නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් බොනිපස්‌ පෙරේරා විධිවිධාන යොදා තිබේ.
මෙම සිවිල් කමිටු මගින් ජනතාව දැනුවත් කිරීමේ කටයුතු අද ( 15 දා) සිට ආරම්භ කරන බව ද නැගෙනහිර ආඥපතිවරයා පැවැසීය.

මේ සමඟම ජනතාව අතර පවතින දුර්මත දුරලීම සඳහා ප්‍රදේශයේ සියලු ආගමික ප්‍රධානීන් හා දිසාපතිවරුන් ඇතුළු සමාජයේ ප්‍රභූන් ලෙස සිටින පිරිස්‌ මුqණගැසී කරුණු සාකච්ඡා කිරීමට ද මේජර් ජෙනරාල් බොනිපස්‌ පෙරේරා ඊයේ (14 දා) දවස පුරා පියවර ගෙන තිබිණි.

පසුගිය දිනවල අම්පාර පොතුවිල් ප්‍රදේශයේදී පුද්ගලයකු මියයැමත් සමඟ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පෙරේදා (13 දා) වන විට දහසක පමණ යුද හමුදා බළඇණියක්‌ යෙදවීමට යුද හමුදාව පියවර ගෙන තිබූ අතර ඊයේ (14 දා) වන විට පැවැති තත්ත්වය මුළුමනින්ම පාලනය කිරීමට යුද හමුදාව සමත් විය.

කාන්තාවන්ට හිරිහැර කරන ග්‍රීස්‌ යකෙකු ගැන සඳහන් වූ මිථ්‍යා මතයත් සමඟ නැගෙනහිර පළාතේ තිබෙන මුස්‌ලිම් සංස්‌කෘතික පසුබිම තුළ එය ජනතාව අතර මෙසේ භීෂණයක්‌ ලෙස පැතිර යැමට ප්‍රබල හේතුවක්‌ වූ බව ද මේජර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.

එහෙත් එම "ග්‍රීස්‌ යකා" විශ්වාසය සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක්‌ වන අතර මෙහිදී ඇතැම් පුද්ගලයන් පොලිසිය හා යුද හමුදාව කෙරෙහි ප්‍රදේශයේ ජනතාව අතර ප්‍රකෝපකාරී තත්ත්වයක්‌ ඇති කිරීමේ අරමුණින් ඇතැම් අවස්‌ථාවල සූක්‍ෂමව ක්‍රියා කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද හෙතෙම කීය.

ඒ අතරේ යුද හමුදාවේ සහ පොලිසියේ ක්‍රියාත්මක වීම් හමුවේ කිසිවක්‌ කර කියා ගත නොහැකිව සිටින කැලෑ කපන්නන්, හොර ජාවාරමුන් සහ අවි දරමින් විවිධ නීති විරෝධී කටයුතු සිදුකරන්නන් සිටින බවට ද කරුණු අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් "ග්‍රීස්‌ යකා" යනු සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක්‌ වන අතර කිසියම් නාඳුනන පුද්ගලයකු දුටුවහොත් "ග්‍රීස්‌ යකුන්"යෑයි සිතා පහරදීම් සිදු නොකර සැකකටයුතු අය පොලිසියට භාරදෙන ලෙස තමන් ජනතාවට උපදෙස්‌ දුන් බව ද නැගෙනහිර ආඥපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර නැගෙනහිර තත්ත්වය හමුවේ ඊයේ (14 දා) සිට ඌව නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාද මඩකලපුව ප්‍රදේශයේ රාජකාරි සඳහා තාවකාලිකව අනුයුක්‌ත කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
 
Related Posts with Thumbnails