Ads 468x60px

.

ග්‍රීස් යකෙකු නාවික හමුදා කඳවුර තුළ, කින්නියා ජනතාව යළි නොසන්සුන්

ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ අද(15) යළිත් නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබේ.

ඒ කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමත් සමග මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිවී ඇත.

කින්නියා නාවික හමුදා කඳවුර ඉවත් කර ගන්නා ලෙස හා ඊයේ(14) රාත්‍රී කින්නියා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 25 දෙනා නිදහස් කරන ලෙසට බල කරමින් මෙම උද්ඝෝෂණය පැවැත්වෙන බව සඳහන්.

ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ ඊයේ රාත්‍රීයේ ද ගැටුම්කාරී තත්ත්වයක් හට ගෙන තිබිණි.

ත්‍රිකුණාමලය, කින්නියා නාවික හමුදා කඳවුරේ ග්‍රීස් යකෙකු සිටින බවට සැකකරමින් ප්‍රදේශයේ ජනතාව මෙසේ කලහකාරී ලෙස හැසිර ඇති බව වාර්තා වේ.

මෙහි දී කලහකාරී පිරිස් පාලනය කිරීම සඳහා පැමිණි පොලිස් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් ත්‍රිකුණාමල රෝහලට ඇතුළත්‍ කෙරුණි.

අනතුරුව එම කලහකාරී සිද්ධීය සම්බන්ධයෙන් පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණි.

අද උදෑසන හට ගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතාගෙන් විමසීමක් කළේය.

විවිධ නීතී විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වන පුද්ගලයන් මෙසේ කලහකාරී ලෙස හැසිරෙන බව එහි දී ඔහු සඳහන් කළේය.

ඔවුන් පවසන ආකාරයේ ග්‍රීස් යකෙකු නාවික හමුදා කඳවුර තුළ නොමැති බවත් ඔවුන්ගේ අවශ්‍යතාවය පරිදි නාවික හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට කිසිසේත් පියවර නොගන්නා බවත් ඔහු අවධාරණය කර සිටියේය.
 
Related Posts with Thumbnails