Ads 468x60px

.

"දුවන්න පුතේ කියලා අම්ම මට කීවා අම්මයි තාත්තයි ගහට යටවෙලා ඇදිලා ගියා"

දර කැඩීමට හපුතලේ පංකැටිය ප්‍රදේශයේ රක්‍ෂිතයට ඉකුත් 25 දින උදේ ගිය අඹුසැමි යුවළක්‌ ගසක්‌ කඩා වැටී ඊට යටවී එම ස්‌ථානයේදීම මියයැමේ ශෝකජනක පුවත.



මෙසේ මියගොස්‌ ඇත්තේ හපුතලේ පංකැටිය අංක 150 පදිංචිව සිටි හේවා වෙල්ලාලගේ තිලකසේන (49), විඡේසේකර මුදියන්සේලාගේ විමලාවතී (47) යන අඹුසැමි යුවළයි. මේ යුවළට දරුවන් සයදෙනකු වෙති.

එක්‌ දරුවකු සමග ඊයේ උදෑසන කැලේ දර කඩන්නට ගිය අතරතුර මෙම අනතුරට මුහුණ පා ඇත.

සිද්ධිය ඇසින් දුටු හපුතලේ ධම්මානන්ද විදුහලේ හත්වන ශේ්‍රණියේ ඉගෙනුම ලබන හේවා වෙල්ලාලගේ ලක්‌මාල් (12) වන එක්‌ පුතකු මෙසේ කීවේය.

"උදේ 7 ට විතර අම්මයි, තාත්තයි, මමයි කඩල තම්බලා කාලා, තේ බීලා ඊයේ හුළං තදට තිබුණු නිසා දර වැටිලා ඇති කියා සිතා කැලේට දර ගේන්න ගියා. අපි තිදෙනා දර එකතු කරමින් උඩට ගියා. යන විට එකවිටම උඩ සිට ලොකු කරපන්ටයින් ගසක්‌ කඩාගෙන වැටෙනවා දුටුවා. මම හරහට දිව්වා. අම්මා මට දුවන්න පුතේ කියලා කෑගැසුවා. අම්මයි තාත්තයි පහළට දිව්වා. ගහ දිගේ අම්මයි තාත්තයි පහළට ඇදිලා ගියා."

"මම දුවගෙන ගිහින් පහළ ආච්චිට කීවා. ඊට පසුව මම අයියත් එක්‌ක ආපහු කැලේට ගියා. තව අයත් පසුව ආවා. පසුව බලන විට අම්මයි තාත්තයි ගසට යටවෙලා හිටියා. මම අම්මේ තාත්තේ කියා හයියෙන් කෑගැසුවා. එයාලා කතා කළේ නැහැ."

සිද්ධිය වූ ස්‌ථානය අසල පදිංචි මාගිරිපුර ග්‍රාම නිලධාරී ආර්. එම්. රමණී මහත්මිය මෙසේ කීවාය.

"ඊයේ රාත්‍රියේ තද සුළඟක්‌ තිබුණා. නමුත් මේ වෙලාවේ සුළඟ තිබුණේ නැහැ. මට ගසක්‌ කඩාවැටෙනවා ශබ්දයක්‌ ඇසුණා. ඒ සමගම කවුදෝ කෑගහන ශබ්දයක්‌ ඇසුණා."

"මම යන විට ලක්‌මාල් දුවගෙන ඇවිත් අම්මා සෙව්වා. අපේ ළිඳට උඩින් ගස කඩා වැටෙනවා ඇසුණා. අපි ඒ පැත්තට ගිහින් බලන විට මේ දෙදෙනා ගසට යටවී සිටියා. මම ඉක්‌මනින් පොලිසියට දැනුම් දුන්නා. ගස වට අඩි 12 ක්‌ පමණ ඇති."

මේ මියගොස්‌ ඇති අය සමෘද්ධිලාභියෝ. අන්ත අසරණ අය. දැන් ළමයි සයදෙනා තනිවෙලා.

හපුතලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‌ෂණ පවත්වයි.

මෙසේ මියගොස්‌ සිටින අඹුසැමි යුවළ ඉතාමත් අසරණ යුවළක්‌ වන අතර සිය දරුවන් හයදෙනා ජීවත් කරවීමට දැඩි වෙහෙසක්‌ ගත් යුවළක්‌ වන අතර ඔවුන්ගේ අභාවයත් සමග පාසල් යන වියේ පසුවන දරුවන් තිදෙනකු ඉතාමත් අසරණ තත්ත්වයට පත්වී තිබේ.

කෙසේ වෙතත් මෙම දරුවන් වෙනුවෙන් රජයේ මැදිහත්වීමක්‌ හෝ පරිත්‍යාගශීලීන්ගේ මැදිහත් වීමක්‌ අත්‍යවශ්‍ය වී ඇති බැව්ද කිව යුතුමය.
 
Related Posts with Thumbnails