Ads 468x60px

.

'යක්‌කු' හතර දෙනෙක්‌ කොටුවෙති

රාත්‍රි කාලයේදී ජනතාව භීතියට පත් කරවන ග්‍රීස්‌ යකුන් හතර දෙනකු අත්අඩංගුවට ගැනීමට රාගල පොලිසිය සමත්විය.

වලපනේ, රාගල මැදවත්ත ප්‍රදේශයේ නිවෙස්‌වල දොරවල්වලට මැදියම් රැයේ තට්‌ටු කරන බවට පසුගිය දිනවල ආන්දෝලනයක්‌ පැතිර ගියේය.

කළු පැහැයෙන් යුත් මෙම "ග්‍රීස්‌ යක්‌කු" අට වැනිදා මැදියම් රැයේද නිවෙස්‌වලට තට්‌ටු කරන බවට රාගල පොලිසියට දුරකථන ඇමතුම් ලැබී ඇත.

මේ අනුව රාගල පොලිසිය නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ගාමිණී මතුරට මහතාගේද උපදෙස්‌ මත මැදවත්ත ප්‍රදේශය වටලනු ලැබීය.

තද කළු පැහැති ඇඳුම් වලින් සැරසී සිටි ග්‍රීස්‌ යක්‌කු හතර දෙනකු අලුයම දෙකට පමණ රාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් ළඟ තිබී ඇත්තේ මැණික්‌ හෑරීමට උපයෝගී කර ගන්නා ඉල්ලම් කූරු, වට්‌ටි, උණුවතුර බෝතල්, විදුලි පන්දම්, තොප්පි, උදලු, පිහි වැනි දේවල්ය.

ගම්වාසීන් මෙලෙස බියවද්දා හොර රහසේම මෙවන් අනවසර මැණික්‌ හෑරීමේ යෙදෙන බවට පරීක්‍ෂණයේදී තොරතුරු අනාවරණය වී ඇත.

රාගල පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක තුසිත ජයසේකර මහතා විසින් මොවුන් හතර දෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 දා දක්‌වා රිමාන්ඩ් සිර භාරයට පත්කොට ඇත.
 
Related Posts with Thumbnails