Ads 468x60px

.

අදත් එළවළු නැහැ. - විරෝධතාවලදී 66ක් අත්අඩංගුවට.

එළවළු සහ පළතුරු ප‍්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කිරීමට විරෝධය පළ කරමින් ගොවීන් ආරම්භ කළ උද්ඝෝෂණ හේතුවෙන් අද (14)  දිනයේත් කොළඹ මැනිං වෙළෙදපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන වලට එළවළු ලොරි පැමිණ නැහැ. මැනිං වෙළෙදපොළේ වෙළෙද සංග මයේ සභාපති ලාල් හෙට්ටිගේ සඳහන් කළේ අද (14)  අලූයම කිසිදු එළවළු ලොරියක් වෙළෙදපොළට පැමිණ නොමැති බවයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (13) රාත‍්‍රියේ අල ලොරි 2ක් පමණක් පැමිණ ඇති අතර එහි ආරක්ෂාවට පොලිසිය සහ යුද හමුදාව ද යොදවා තිබෙනවා. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ ඇත්තේ එක් එළවළු ලොරියක් පමණයි.

මේ අතර ඊයේ (13) දිනයේදී ප‍්‍රදේශ රැසක එළවළු සහ පළතුරු ඇසුරුම් නිතීයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ පැවැත්වුණා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ දඹුල්ල සහ බණ්ඩාරවෙල ප‍්‍රදේශවල පැවැති විරෝධතා විසුරුවා හැරීම සඳහා කදුළු ගෑස් ප‍්‍රහාර එල්ල කිරීමට පොලීසියට සිදුවූ බවයි. මෙම සිද්ධීන් දෙකේදී විරෝධතාකරුවන් 66 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ද තුවාල ලබා තිබෙනවා. දඹුල්ල සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකරවයා කියා සිටියේ විරෝධතාකරුවන් එල්ල කළ ප‍්‍රහාරවලදී පොලිස් වාහන 2කට ද අලාභ හානි සිදුවුණු බවයි.

මේ අතර, බණ්ඩාරවෙල නගරයේ ඊයේ (13) ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැහැදිලි කළා. කෙසේ වෙතත් කොළඹ ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකදී සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සඳහන් කළේ අතරමැදියන්ගේ වුවමනාව මත මෙවැනි විරෝධතා පැවැත්වෙන බවයි. රජය කිසි අවස්ථාවක ගොවීන් අපහසුතාවට පත්වීමට කටයුතු නොකරන බව ද ඔහු සඳහන් කළා.
 
Related Posts with Thumbnails