Ads 468x60px

.

රත්තරං කෙල්ලගේ අවසන් කටයුතු 18දා

අභාවයට පත් සුපිරි පොප් ගායිකා, විට්නි හියුස්ටන් ගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා දින (පෙබරවාරි 18) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.විට්නි හියුස්ටන් ගේ මළසිරුර හමුවූයේ ඇය නැවතී සිටි බෙවර්ලි හිල්ස් හි හිල්ටන් හෝටලයෙනි. මිය යන විට ඇය සිට ඇත්තේ නාකාමරයේය.



ලොස් ඇන්ජලීස් ප‍්‍රාන්තයේ මරණ පරීක්‍ෂක කාර්යාලයේ නියෝජ්‍ය ප‍්‍රධානී එඞ් වින්ටර්ස් පවසා ඇත්තේ මේ සම්බන්ධ පරීක්‍ෂණ වාර්තා නිකුත් වීමට තව සති 6 - 8ක් පමණ ගතවනු ඇති හෙයින් පරීක්‍ෂණ වාර්තා සියල්ල ලැබෙන තෙක් මරණයට හේතුව පිළිබඳව අවසන් නිගමනයකට එළැඹෙන්නේ නැති බවයි.


විට්නිගේ සිරුරේ කිසිඳු තුවාලයක් නොතිබූ බවත්, ඇගේ මරණය වටා සැකසහිත කිසිවක් සිදුවී නැති බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.


විට්නිගේ සිරුර ඇය කුඩා කළ සිටි නෙවාක් හි අවමගුල් ශාලාවකට ගෙන එනු ලැබුවේ රන් හර්ස් රථයකිනි.ඇගේ අවමගුල් කටයුතු ඇය කුඩාකළ ගීතිකා ගැයූ නිව් හෝප් බැප්ටිස්ට් පල්ලියේදී ග‍්‍රිනීච් වේලාවෙන් ප.ව. 5.00ට පැවැත්වීමට නියමිතයි.

විට්නිගේ අකල් මරණයේ පුවතින් කම්පනයට පත් රසිකරසිකාවියන් විසින් නිව් හෝප් බැප්ටිස්ට් පල්ලිය ඉදිරිපිට මල්, බැලූන් හා ඉටිපන්දම් තබමින් ශෝකය පළ කර ඇත.1980 මැද භාගයේ සිට 1990 අවසාන භාගය දක්වා හියුස්ටන් අතිශය ප‍්‍රසිද්ධියට පත්වූ අතර එම වකවානුවේදී ඇය, ඇමරිකානු සංගීත කර්මාන්තයේ ”රත්තරං කෙල්ල” යනුවෙන්ද විරුදාවලිය ලැබවාය.


එම වකවානුවේ සම්මාන රැසකට පාත‍්‍ර වුණු විට්නි හියුස්ටන් ලොව වඩාත් ජනප‍්‍රියතම ගීත දර්ශක වල අංක එකේ ස්ථානය හිමිකර ගැනීමටසමත්වී ඇත.


ලොව සංගීත ඉතිහාසයේ සාර්ථකම ගායිකාවක් වූ ඇය අලෙවිකර ඇති සංගීත පිටපත් සංඛ්‍යාව මිලියන 170කි.බොඩිගාඞ් සහ වේටින් ටු එක්ස්හේල් යන චිත‍්‍රපටවල රංගනයට එක්වෙමින් ජනප‍්‍රිය නිළියක් බවට පත්වීමට ද ඇයට හැකිවූ අතර, පසුගිය වසර කිහිපය තුළ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම හේතුවෙන් ඇගේ කටහඬට දැඩි ලෙස හානි සිදුවී තිබූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
 
Related Posts with Thumbnails