Ads 468x60px

.

පාර හදන්නට ගෙනා පස්‌ ගොඩෙන් මැණික්‌ ඉල්ලම් සොයමින්...

කතරගම තණමල්විල ප්‍රධාන මාර්ගයෙහි ඉදිකිරීමේ කටයුතු සඳහා රැගෙන ආපස්‌ තොගයක්‌ මත නිල් මැණික්‌ සහිත ඉල්ලම් තිබීම හේතුවෙන් පෙරේදා (13 දා) සිට තිස්‌සමහාරාම බෙරලිහෙල තම්මැන්නාවැව ප්‍රදේශයේ දැඩි නොසන්සුන් තත්වයක්‌ ඇතිවී තිබේ. ප්‍රදේශයේ දැඩි පොලිස්‌ ආරක්‌ෂාව යොදවා තිබේ.


කතරගම - තණමල්විල මාර්ගයේ සංවර්ධනය කරනු ලබන ප්‍රදේශය ආසන්නයේම තම්මැන්නා වැව මහකන්ද අසලින් මීට දින කිහිපයකට පෙර රැගෙන ආ පස්‌ තොගයක්‌ මත තිබී නිල් මැණික්‌ කිහිපයක්‌ ප්‍රදේශවාසීන් කිහිපදෙනකුට පෙරේදා (13 දින) සවස හමුවීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වය ඇතිවී තිබේ.

තම්මැන්නාවැව ගිරිහෙල්කඩ බෞද්ධ ආශ්‍රමය අසල ප්‍රධාන මාර්ගය ගොඩකිරීම සඳහා ලොරි රථවලින් විශාල වශයෙන් රැගෙන විත් දැමූ පස්‌ මත තිබී මේ නිල් මැණික්‌ හමුවී ඇත. මෙසේ නිල් මැණික්‌ හමුවීමේ ආරංචිය සැලවීමත් සමඟ ප්‍රදේශවාසීන් බොහෝ දෙනකු පැමිණ මාර්ගය ගොඩ කිරීමට ගෙනා පස්‌ ගෙන යැමත් සමඟ ඈත ප්‍රදේශවලින් පැමිණි ව්‍යාපාරිකයන් පිරිසක්‌ද වාහන යොදා ගෙන පස්‌ තොග පිටින් ගෙන යැමට පටන් ගෙන තිබේ.

ප්‍රදේශයේ ජනතාව හා පිටස්‌තර ප්‍රදේශවලින් පැමිණි ව්‍යාපාරිකයන් අතර ගැටුමක්‌ද හටගෙන ඇත. ඉල්ලම් සහිත පස්‌ රැගෙන යැමට ආ වාහන කිහිපයකටද ගල් මුල් ප්‍රහාර එල්ල කර දැඩි අලාභහානි සිදුකර ඇත.

ඇතිවී ඇති ගැටුම්කාරී තත්ත්වය හා මැණික්‌ ඉල්ලම් සහිත පස්‌ තොගය ආරක්‌ෂා කර ගැනීම සඳහා මේ වනවිට ලුණුගම්වෙහෙර පොලිසිය මගින් ආරක්‌ෂාව යොදා තිබේ.

මෙම පස්‌ ගොඩවල් මත තිබී හමුවූ නිල් මැණික්‌ කැට රුපියල් විසිපන්දහසේ සිට ඉහළ මිල ගණන්වලට අලෙවිකර ඇති බව ද අනාවරණය වේ.

 
Related Posts with Thumbnails