Ads 468x60px

.

අද කප්පම නොදුන්නොත් ලාංකික ධීවරයන් හය දෙනා අද වෙඩිතබා මරා දමනවාලු

රුපියල් කෝටි හැටකට අධික කප්පම් මුදල ලබා නොදුනහොත් තමන්ගේ අත්අඩංගුවේ පසුවන ලාංකික ධීවරයන් හය දෙනා අද (03 වැනිදා) වෙඩි තබා මරා දමන බවට සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ඊයේ (02 වැනිදා) ධීවර යාත්‍රාවේ හිමිකරුට දැනුම් දී තිබේ.

මැලේසියාවේ සිට තමන් ඇමැතූ කොල්ලකරුවන්ගේ කණ්‌ඩායමක්‌ පැයකට අධික කාලයක්‌ තමන් හා දුරකථනයෙන් සම්බන්ධ වෙමින් මෙම දැනුම් දීම සිදු කළ බව ධීවර යාත්‍රා හිමිකරු වන මීගමුවේ පදිංචි නිහාල් ඇන්තනි ප්‍රනාන්දු මහතා පැවැසීය.

තමන්ට කතා කළ පිරිස මෙහිදී අනිවාර්යෙන්ම කප්පම් මුදල ලබා දිය යුතු බවත් ඒ සඳහා අද (3දා) පෙරවරු 10.00 ට නැවත ඇමැතුමක්‌ ලබා දෙන බවත් සඳහන් කළේයෑයිද හෙතෙම කීය.


"සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් අපෙන් ඉල්ලූ ඩොලර් මිලියන 6 (කෝටි 64 ක) කප්පම් මුදල ලබානොදුනහොත් අත්අඩංගුවේ පසුවන අපේ ධීවර කාර්මිකයන් හය දෙනාට වෙඩිතබා මරණ බවත් ඔවුන්ට වෙඩි තබන හඬ අපට අපේ දුරකථන ඔස්‌සේ අසාගත හැකිබවත් කියා එම කොල්ලකරුවන් තර්ජනය කළා" යෑයි සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් අත්අඩංගුවේ පසුවන "නිමේෂා දුව" නමැති බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරුවන මීගමුව දූව ධීවර ගම්මානයේ පදිංචි එස්‌. ඇන්ටනි නිහාල් ප්‍රනාන්දු (47) මහතා පැවැසීය.

රුපියල් කෝටි 64 ක කප්පමක්‌ ඉල්ලා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ පසුවන්නේ කළුතර මෝදරවත්තේ පදිංචි බහුදින ධීවර යාත්‍රාවේ නියමු (ස්‌කීපර්) එස්‌. කේ. වීරසේන සිල්වා (49), එහි සෙසු ධීවර කාර්මිකයන් වන (ගැමියන් වන) මදුරන්කුලිය මුත්තුතොඩුවාවේ පදිංචි එස්‌. දිනේෂ් ප්‍රසන්න ප්‍රනාන්දු (24), මීගමුව දකුණු පිටිපන පදිංචි පෙරුමාල් සෙල්වරාජු (48), මීගමුව මැදපිටිපන පදිංචි ඩබ්ලිව්. ඡේ. ලියොන් පීටර් (44), මීගමුව අළුත්කුරුව පදිංචි ඩී. ජූඩ් නිශාන්ත (29) සහ මීගමුව නැලැල්ලවත්තේ පදිංචි ඩබ්ලිව්. එස්‌. ශාන්ත සෙබස්‌තියන් (32) නමැත්තන්ය.

මෙම ධීවර කාර්මිකයන් හය දෙනාගෙන් හතර දෙනකු විවාහකයන් වන අතර සෙසු දෙදෙනා අවිවාහකයන්ය.

"නිමේෂා දුව" නමැති අඩි 40 ක්‌ දිගැති ලක්‍ෂ 70 ක්‌ වටිනා බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරුවා එස්‌. ඇන්ටනි නිහාල් ප්‍රනාන්දු (47) මහතා මෙසේ පැවැසීය. "මෙම ධීවර කාර්මිකයන් හයදෙනා 2011 සැප්තැම්බර් මස 27 වැනි දින බහුදින ධීවර යාත්‍රාවෙන් සෝමාලියාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ ධීවර රැකියාව කරන්න මීගමුව ධීවර යාත්‍රා තටාකාංගනයෙන් මුහුදු ගියා. ඒ අය මාසයක පමණ කාලයක්‌ (ඔක්‌තෝබර් 27 වැනි දින දක්‌වා) අප සමඟ ගුවන් විදුලියෙන් පණිවුඩ හුවමාරු මධ්‍යස්‌ථානය හරහා සම්බන්ධ වුණා.

ඉන් පසුව අපේ බහු දින ධීවර යාත්‍රාව හෝ ධීවරයන් ගැන කිසිම තොරතුරක්‌ ලැබුණේ නැහැ. හදිසියේ 2012 ජනවාරි මස 4 වැනිදා අපට දුරකථන පණිවුඩයක්‌ සෝමාලියා කොල්ලකරුවන්ගෙන් ලැබුණා. ඔවුන් අපේ ධීවර කාර්මිකයන් නිදහස්‌ කරන්න ඩොලර් මිලියන 6 ක (රුපියල් කෝටි 640 ක) කප්පමක්‌ ඉල්ලුවා.

ඉන් පසුව සතියෙන් සතිය අපිට දුරකථන පණිවුඩ දුන් කොල්ලකරුවෝ අපෙන් කප්පම් මුදල් ඉල්ලුවා. අපි කිව්ව අපි දුප්පත් ධීවර කාර්මිකයො. අපිට එවැනි විශාල මුදල් තියෙනව නං ධීවර කර්මාන්තයේ යෙදෙන්නේ නැති බවට අපි කිව්ව ඒවා කොල්ලකරුවන් අවඥවෙන් බැහැර කළා. අවසානයේ අපිට දැනුම් දුන්නා. අපේ ධීවරයන් හය දෙනා වෙඩි තබා මරා දමන බවත් ඔවුන්ට වෙඩි තබන හඬ දුරකථනය මගින් ඇසීමට සලස්‌වන බවත්.

අපේ ධීවර කාර්මිකයෙක්‌ මරා දැමුවහොත් ඒ අයගෙන් යෑපෙන දෙමව්පියන් අඹුදරුවන් ඇතුළු පවුල් 6 ක්‌ අනාථ වෙනවා. අපි මේ ගැන ධීවර ඇමැතිතුමා හමුවෙලා අපේ දුක්‌ගැනවිල්ල කිව්වා. රටට බරක්‌ නොවී ජීවත්වන ධීවර කාර්මිකයන් හයදෙනා ආරක්‍ෂාකර ඔවුන්ගේ ජීවිතය බේරාදෙන ලෙස ජනාධිපතිතුමා ඇතුළු රජයෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිනවා" යෑයි ඔහු පැවැසීය.

මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක්‌ කළ ගම්පහ දිස්‌ත්‍රික්‌ ධීවර සම්මේලනයේ සභාපති මීගමුව අළුත්කුරුව මැදපිටිපන පදිංචි ඩී. ජූඩ් පෙරේරා (48) මහතා "රටට බරක්‌ නොවී ධීවර රැකියාවේ යෙදෙන ධීවර කාර්මිකයා පිළිබඳ රජය දක්‌වන සැලකිලි මදි. දිස්‌ත්‍රික්‌ අනුව ධීවර ජනජීවිතය නගා සිටුවීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළ යුතු" යෑයි හෙතෙම පැවැසීය.


















 
Related Posts with Thumbnails