Ads 468x60px

.

ලොකුම බලාපොරොත්තුව ආදරණීය බිරියක් වීම - උරේෂා

උරේෂා රවිහාරි චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසියේ පුංචිම පුංචි අවධියේදීය. ඒ “මල්සර දෝනි” චිත්‍රපටයට “උන්නා එක ගංගාවක – රන්වන් පුංචි මාළුවෝ’ ගීතය ගායනය කරමිනි. එතැනින් ආරම්භ වුණු උරේෂාගේ චිත්‍රපට පසුබිම් ගායන දිවිය ඉතා මනරම් ගීත ගණනාවකින්ම වර්ණවත් වී ඇත. ඇය මේ වන විට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය විශාල සංඛ්‍යාවකට පසුබිම් ගායනයෙන් දායක වී ඇත. 


ඇයගේ එම ගායනා ‘සරසවිය’, ‘ජනාධිපති’ සම්මානයන්ට ද පාත්‍ර වී ඇත. උරේෂා මීට දින කීපයකට පෙර විවාහ දිවියට පිවිසියාය. ඇයගේ අතගත් රුචිර වෛද්‍යවරයෙකි. අද උරේෂාගේ නව දිවිය පිළිබඳවත්, අනාගත බලාපොරොත්තු පිළිබඳවත් විමසමින් අය සමඟ කළ කතා බහ.


උරේෂා කොහොමද අලුත් ජීවිතේ?
”ඉතාම සතුටින් කාලය ගෙවෙනවා. අපි විවාහ වෙලා තවම දවස් කිහිපයයිනෙ. මමත් රුචිරත් දැන් පදිංචි වෙලා ඉන්නෙ නුගේගොඩ.”

කොහොමද ඔබට ඔබේ සැමියා රුචිරව මුණගැසුණේ?
”රුචිර පළමුවෙන්ම මගේ ගීත ප්‍රිය කරන කෙනෙක්; මගේ රසිකයෙක්. මීට ටික කලකට පෙර රුචිර මගේ දුරකථන අංකය සොයාගෙන මට කතා කළා. මගේ ගීතවලට ඉතාම ප්‍රිය කරන බවත් ඔහු ඒ වෙලාවෙ මට කිව්වා. 

ඊට ටික කාලෙකට පස්සෙ ඔහු ඔහුගේ පශ්චාත් උපාධියේ කටයුතුවලට කොළඹට ආවා ඒ වෙලාවෙ ඔහු මට කතා කරල කිව්ව “මම ළඟදි කොළඹ එනව ඔයාව දැකල කතාකරන්න කැමැතියි කියල”. මම ඒ වෙලාවෙ කිව්ව එහෙමනම් අපේ ගෙදරට එන්න කියල. ඒ ආරාධනාව පිළිගෙන ඔහු අපේ ගෙදර ආව. ඒ ගමනෙදි මගෙ අම්මයි, තාත්තයි එක්ක රුචිර ගොඩක් සමීප වුණා. 

ඉන් ටික කලකට පස්සෙ රුචිර මා ගැන මගෙ අම්මටයි තාත්තටයි විවාහ යෝජනාවක් ගෙනාවා. මගෙ දෙමව්පියො ඒකට කැමැතිවුණා. ඉන් කලකට පස්සෙ ඒ කියන්නෙ පසුගිය ජනවාරි මාසයේ අපි දෙපැත්තෙම මව්පියන්ගෙ ආශිර්වාදය මැද විවාහ වුණා.”

රුචිරගෙ කුමන ගති ලක්ෂණවලට ද ඔබ ඔහුට කැමැති වුණේ?
”මූලිකම දේ තමයි රුචිර මට ගොඩක් ආදරෙයි. ඔහුගේ ඒ ආදරයට මම ගොඩක් ආදරෙයි. ඒ වගේම රුචිර රෝගීන් වෙනුවෙන් කැපවුණු හොඳ ෙෙ වද්‍යවරයෙක්. වගකීම් සහිත රැකියාවක් කළත් ඔහු ජීවිතය ගැන බොහොම සරලව හිතන කෙනෙක්. ඒ වගේම ඔහු හරිම නිහතමානී පුද්ගලයෙක් මේ නිසා තමයි මම රුචිරට කැමැති වුණේ.”

රුචිර ඔබේ රසිකයෙක්ද?
”ඔව්. ඔහු මගේ හොඳ රසිකයෙක්. ඔහුට සංගීතය පිළිබඳව මහා දැනුමක් නැතිවුණත් හොඳ රසවින්දනයක් ඇති පුද්ගලයෙක්. මගේ ගායනාවල අඩුපාඩුකම් පෙන්වා දෙන ගමන් ඔහු මාව අගය කරනවා. ඒකට මම හරිම කැමතියි.

ඔබේ විවාහයට කලාකරුවන් විශාල පිරිසක් එන්න ඇති.?
”විශාල පිරිසක් නෙමෙයි තෝරාගත් මට ඉතාම සමීප කලාකරුවන් පිරිසකට මම මගෙ විවාහ උත්සවයට ආරාධනා කළා. මගෙ හීනයක් තිබුණා මම විවාහ වෙන දවසේ මගේ විවාහයේ සාක්ෂියට අස්සන් කළ යුත්තේ රෝහණ වීරසිංහ මහතා කියල. ඒ හීනය හැබෑවුණා. 

ඒ වගේම නන්දා මාලිනී, වික්ටර් රත්නායක, රොනී ලීච් වැනි ගායන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයින් වගේම මට හිතවත් ගායන ශිල්පීන් ශිල්පිනියන් විශාල පිරිසක් මගෙ මංගල උත්සවයට සහභාගි වුණා.”
”මගේ ජීවිතයට ඉතාම සමීප යෙහෙළියක් තමයි පූජා උමාශංකර්. පූජාට මගේ විවාහය ගැන කිව්ව වෙලාවෙ එයා මට කිව්ව උරේෂා මම කොහේ හිටියත් ඔයාගෙ මංගල උත්සවයට මම එනව කියලා. ඒ වගේම පූජා ආවා. මේ හැමෝම ආව එක මට හරිම සතුටක්.”

කුස පබා චිත්‍රපටයේ ඔබේ ගීත ඇතුළත් නේද?
”ඔව්. රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ මම ගායන කරන ගීත කීපයක්ම ‘කුස-පබා’ චිත්‍රපටයට ඇතුළත්. කුස පබා චිත්‍රපටය තිරගතවීම ඇරඹුණේ මම විවාහ වූ දිනට පසු දිනයේ.

ඔබේ නව නිර්මාණ ඇතුළත් ගීත එකතුවක් ළඟදී එළිදක්වනවාද?
ළඟදි ගීත ඇල්බමයක් නම් එළිදක්වන්න බලාපොරොත්තුවක් නෑ. නමුත් අලුත් ගීත කීපයක්ම පටිගත කරන්න සූදානම් වෙලා ඉන්නවා.”

දෙමව්පියන්ගෙන් ඔබේ සංගීත දිවියට ලැබුණේ මොන වගේ සහයෝගයක් ද?
”මගේ අම්මගෙයි තාත්තගෙයි මඟපෙන්වීම නිසාම තමයි මම අද මෙතැන ඉන්නෙ. ඒක විස්තර කරන්න මට වචන නෑ.”

ඔබේ සැමියා ඔබේ වැඩ කටයුතුවලට උදව් වෙන්න සූදානම්ද?
”ඇත්තෙන්ම ඔව්. මගේ දෙමව්පියන්ගෙන් මට ලැබුණු සහයෝගය වගේම සහායක් මගේ සැමියාගෙන් මට ලැබෙනව. ඒක මට විශාල තෘප්තියක්.”

ඔබ ප්‍රවීණයින්ට ගරු කරන කෙනෙක්ද?
”ඔව්. අපේ ප්‍රවීණ ගායක ගායිකාවන් කියන්නෙ අපේ මව්පියන් හා සමාන අය. ප්‍රවීණයින්ට ගරු කිරීම තමන්ගේ මවට පියාට ගරු කිරීම හා සමානයි. ඔවුන් ප්‍රවිණත්වයට පත්වෙලා ඉන්නෙ විශාල කැපකිරීම් කරල. ඔවුන්ට ගරු කරන්නේ නැතිනම් අපට ඉදිරියක් නෑ.”

ඔබේ අනාගත බලාපොරොත්තු පිළිබඳව සඳහන් කළොත්?
”කාලෙක ඉඳල මගෙ ලොකු බලාපොරොත්තුවක් තියනව මගෙම සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කරන්න. වෙනස් ආරක ප්‍රසංගයක් ඉදිරිපත් කරන්නයි මගේ බලාපොරොත්තුව. ඒකට තව ටික කලක් ගතවේවි. නමුත් ඒ ප්‍රසංගයට මම දැන් සූදානම් වෙනවා. ඒ වගේම පවුල් ජීවිතයට උපරිම කැපවීමක් කරමින් මගේ සැමියට ආදරණීය බිරිඳක් වීමයි මගේ ලොකුම බලාපොරොත්තුව.
 
Related Posts with Thumbnails