Ads 468x60px

.

ඒ ගැන දැන් මතක් වෙනකොටත් ඇඟේ හිරිගඩු පිපෙනවා - ගයත්‍රි

ඇගේ හදවත සොරා ගත් ඔහු කව්ද ?...

මේ දවස්වල ජාතික රූපවාහිනිය ඔස්සේ රාත්‍රී 9.00 ට විකාශය වන ‘සඳට අහස ආදරෙයි’ ටෙලි නාට්‍යයේ දර්ශන තලයක එදා එහි සිටිය ඔබ ආදරය කරන සඳවන් යුවතිය දැන් මා අසලම. තුෂාරිගේ චරිතයට පණ දෙන ගයත්‍රි රාජපක්ෂ. ඈ දුටු ඇසිල්ලේ මගේ සිත නතර වුණේ ඇගේ සුන්දර උවනේ.


ගයාන් වගේම ප්‍රවීන් ආදරේ කරන්න ඇත්තේ ඔබගේ මේ සුන්දරත්වයටද?
‘ඇත්තටම තුෂාරි කියන්නේ බොහොම සුන්දර යුවතියක්. ඒ වගේම ඈ අහිංසකයි. සරලයි. දුප්පත් තැනැත්තියක්.අප්පච්චි දුම්රිය ස්ථානයක වැඩ කරන කම්කරුවෙක්. මෙවන් පවුල් පසුබිමක ජීවත්වන තුෂාරිගේ සුන්දරත්වය වගේම ඇගේ තියෙන ගති ගුණවලට තමයි මම හිතන විදියට ඔවුන් ආදරය කරන්නේ.’

‘සඳට අහස ආදරෙයි’ ටෙලි සිත්තමේ තුෂාරි ගැන ගයත්‍රි කිව්වේ එහෙම කතාවක්. ඒ කතාවට මුල පුරන්නට ගයත්‍රිට ආරාධනා කළේ අනුර මාධව ජයසේකර. ඒ කාලයකට ඉස්සර.

‘අනුර මාධව ජයසේකර කියන අධ්‍යක්ෂවරයා මට කතා කරලා තුෂාරිගේ චරිතයට මාව තෝරා ගත්ත බව කිව්ව දවස අද වගේ මට මතකයි. එදා නම් මගේ හිසේ මලක් පිපුණා වගේ. මෙතෙක් මා රඟපාලා තිබුණේ උප ප්‍රධාන චරිත. නමුත් ඒ උප ප්‍රධාන චරිත ඔස්සේ මට ගයත්‍රි කියන නම ප්‍රේක්ෂකයන්ගේ හදවතේ රඳවන්න හැකි වුණා. එහෙම හිතෙන්නේ මට ලැබෙන ප්‍රතිචාර සමඟයි.’

තුෂාරිටත් මේ වගේ ප්‍රතිචාර ලැබෙනවද?
‘ප්‍රේක්ෂකයන් බොහොම දෙනෙක් තුෂාරිට ආදරය කරනවා. ඒක අරුමයක් නෙමෙයි. ඒ අතර අර යන්නේ තුෂාරි නේද කියලා අහන අයත් ඉන්නවා. ආදරය තේමාව කරගත් කතාවක් වුණත් වෙනස්ම ආරකින් තමයි කතාව නිර්මාණය කරලා තිබෙන්නේ. ආදර කතාවත් සමඟ යන මිනීමැරුමක් පිළිබඳත් මෙහි කතාබහට ලක් වෙනවා.’

තුෂාරිගේ ආදරය කවුරු දිනා ගනීවිද?
සඳට අහස නරඹන ප්‍රේක්ෂකයන්ගේ සිත්වල මේ දවස්වල තිබෙන ප්‍රශ්නය පිළිබඳ මා ඇගෙන් විමසුවා.‘ඒක නම් දැන්ම කියන්න බැහැ . ටෙලි නාට්‍යය දිගටම නරඹලා ඒ කාරණය දැනගන්න කියලා මම ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා.’තුෂාරි කියන අවිහිංසක, සුන්දර යුවතියගේ චරිතයට පිවිසුණේ ඈ යම් අධ්‍යයනයක් කරලද කියලත් අපට සිතුණා.

‘බොහොමයක් වෙලාවට මට ලැබෙන චරිතය පිළිබඳ මා අධ්‍යක්ෂවරයාත් සමඟ සාකච්ඡා කරනවා. ඊට අමතරව ඊට අදාළ චරිත පිළිබඳ කියැවෙන චිත්‍රපට සොයාගෙන නරඹනවා. පොතපත කියවනවා. සමාජයේ තිබෙන චරිත අධ්‍යයනය කරනවා. අපේ ප්‍රවීණ රංගන ශිල්පනියන් ශිල්පීන් කියන්නේ දැනුම් ආකරයක්. ඔවුන් සමඟ කතාබහ කිරීමෙන් අපට ගොඩාක් දේ උගත හැකියි. 

ඔවුන් සමඟ කතාබහ කරන නිසාම මා ඒ කාරණය දන්නවා. මේ කරුණු කාරණා ඔස්සේ මම මට ලැබෙන චරිතය ප්‍රතිනිර්මාණය කර ගන්නවා.

රූගත කිරීමේදී අපූරු දේ සිද්ධ වුණාලු. ඒක ඇත්තක්ද?
ඇගේ අවිහිංසක බව රැඳුණු සිනහවේ අපූරු කතා ගොඩක් තිබෙනවා වගෙයි.‘එක දර්ශනයකදී මට දුම්රිය ආසන්නයෙන්ම යන්න තියෙනවා. දුම්රියත් මමත් අතර දුර අඩි පහකට හයකට වඩා නැහැ. ඒ දුර අතරදි සිග්නල් එකක් දෙන කොටම මම දුම්රිය පාරෙන් ඈත් වෙන්න ඕනෑ.

එහෙම නොවුණොත් දුම්රිය මගේ ඇඟේ වදිනවා. මේ වගේ දර්ශනයක් රූගත කරද්දී මගේ ඇඟේ ලේ වතුර වුණා. ඒ තරමටම ඒ දර්ශනය බොහොම භයානකයි. තවත් දර්ශනයක් තිබුණා මටත්, ධනංජයටත් දුම්රිය යන මාර්ගයේ අසල තිබෙන පුංචි පාලමෙන් ගමන් කරන. දුම්රිය වේගයෙන් යනවා. 

ඒ යන වේගයට පාලම දඩ දඩ ගාලා හෙල්ලෙනවා. පොඩ්ඩක් එහෙ මෙහෙ වුණොත් එක පැත්තක දිය ඇල්ලක්. පහළ ඉමක් නොපෙණෙන හෙළ. දුම්රියේ සද්දයට ඇක්ෂන් කියනවා අහෙන්නේ නෑ. මේ වගේ විශාල භයානක දර්ශනවලට මුහුණ දෙන්නට මට සිදු වුණා. ඒ ගැන දැන් මතක් වෙනකොටත් ඇඟේ හිරිගඩු පිපෙනවා.’

ආදර වසන්තයක්, නිසල විල්තෙර, සුදු අරලිය, ආදරණීය පූර්ණිමා කියන ටෙලි සිත්තම් ඔස්සේ පුංචි තිරයේදී ගයත්‍රි අපි දැක්කා.

අපි ඔබගේ පවුලේ විස්තරත් කතා කරමුද?
‘මම ඉගෙන ගත්තේ වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන්. ගණිත අංශයෙන් උසස් පෙළ කළත් රංගනයට පිවිසෙන්න කිසිම අදහසක් තිබුණේ නැහැ. නමුත් හදිසියේම දැන්වීමකට පෙනී සිටින්න මට ලැබුණු ආරාධනය මා රංගනයට යොමු කළා. මට ඉන්නේ නංගි කෙනෙක් විතරයි. ඈ නිලූපා. තාත්තා ආරියපාල රාජපක්ෂ. පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. අම්මා සරෝජා සමරවික්‍රම.

මේ සුන්දර යුවතියගේ හිත ගත් ප්‍රේමවන්තයා කවුද?
‘ඔහු ඉන්නේ විදේශ ගත වෙලා. ලබන වසරේදී වගේ විවාහ වීමේ පුංචි බලාපොරොත්තුවක් අපේ සිත්වල පෙළ ගැසිලා.’සමුගන්නට මත්තෙන් ගයත්‍රි ඒ කිව්වේ ඇගේ හදවත සොරා ගත් ඔහු ගැනයි.


 
Related Posts with Thumbnails