Ads 468x60px

.

ඔබත් සිහින පියාපත් වංචාවට අහු වුනාද ?

සිහින පියාපත් අධ්‍යක්ෂ සඳුන් රාජකරුණාට තරුණියකගෙන් පැමිණිල්ලක්. 

මේ වංචාවට ඔබත් හසු වී ඇත්නම් සඳුන්ගේ 0726674660 දුරකතන අංකයට දැනුම් දෙන්න. 

පසුගිය රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලි සිතුවම වූ ‘සිහින පියාපත්’ අධ්‍යක්ෂ සඳුන් රාජකරුණාගේ ජංගම දුරකතනය ගිය බදාදා සැන්දෑවේ නාද වූයේ නාඳුනන අංකයකින්. තරමක කුතුහලයකින් යුතුව ඊට ආමන්ත්‍රණය කළ ඔහුට එහා කොනින් යෞවනියකගේ නුහුරු කට හඬක් ඇසුණා.


මහත්තයා සඳුන් රාජකරුණා නේද?
ඔව්.

සඳුන් මහත්තයො මම . . . කියලා කෙනෙක්.

ඔව් කතා කරන්න, මොකක්ද වෙන්න ඕනේ?

සඳුන් කාරුණිකව විමසුවා.

මහත්තයා සිහින පියාපත් නාට්‍යයේ දෙවැනි කොටස පටන් ගන්නවද? ඒකට අලුත් නිළියො රඟපාන්න හොයනවද?
අයියෝ නැහැ කවුද මේ බොරුව කිව්වේ?

සඳුන් තරමක් තුෂ්නනිම්භූත වුණා.

එහෙනම් මම හිතුව හරි. උන් බොරුකාරයෝ වගයක්.
කවුද ‘උන්’ කියන්නේ?

මේ කිසිවක් සිතා ගන්න බැරි තැන සඳුන් ඇහැව්වේ විමතියෙන්.

මහත්තයෝ ගිය ඉරිදා පත්තරයක දැන්වීම් අතර ඇඩ් එකක් තිබුණා. අලුත් නාට්‍යයකට කට්ටිය බඳවා ගන්නවා කියලා. මං රඟපාන්න ආස කෙනෙක්. ඉතින් ඒක දැකලා මං කතා කළා. මං එයාලා කරන්න හදන නාට්‍ය මොකක්ද ඇහැව්වාම කිව්වේ ‘සිහින පියාපත-02’ කියලා. මේ කතා කරන්නේ සඳුන් රාජකරුණා කියලත් කිව්වා. 

මගේ ළඟ එතකොටත් මහත්තයාගේ නොම්මරය තිබුණා. ඒත් මේ අංකයයි පත්තරේ අංකයයි වෙනස්. ඒ හින්දා මට ටිකක් සැක හිතුණා. ඒ සැකය හරියට හරි. බලන්නකෝ මහත්තයෝ මේ මිනිස්සු කරන වැඩ. තව පොඩ්ඩෙන් මාත් අහුවෙනවා. මහත්තයා මේ ගැන හොඳට හොයලා බැලුවොත් හොඳයි.

එහෙම කියලා ඇය දුරකතනය විසන්ධි කළා. මේ විස්තරය අහලා සඳුන්ට හීන් දාඩිය දැම්මා. කඩිනමින් පත්තර ලෑල්ලක් සොය ගිය ඔහු අර කාන්තාව කී ඉරිදා පත්තරය අතට ගෙන ලුහුඬු දැන්වීම් අතර කෙළවරක තිබූ එම දැන්වීම සොයා ගත්තා. 

වහාම ජංගම දුරකතනය ගෙන එම දැන්වීමේ දුරකතන අංකයට ඇමතුමක් ගත්තේ මේකේ ඇත්ත නැත්ත සොයා ගන්න. අපි තමයි සිහින පියාපත් නාට්‍ය කරන්නේ. ඒකේ දෙවැනි කොටසටයි නිළියො වුවමනා කරලා තියෙන්නේ. ඇඩ් එකේ තියෙන එඩ්ස් එකට එයාව එවන්නකෝ. සඳුන් තම නැගණිය රංගනයට කැමැති බව පවසා අවස්ථාවක් ඉල්ලා දුන් ඇමතුමට පිළිතුරු ලැබුණේ එලෙසින්. 

ඉන් පසු සඳුන් වෙනත් සහෝදර ශිල්පිණියන් දෙදෙනකු යොදා ගෙන ඔවුනට කතා කළ ද ලැබුණේ එම පිළිතුරමයි. නාඳුන්නිය කිව්වේ පූර්ණ සත්‍යයක් බව පසක් වූ සඳුන්ට දෙලෝ රත් වුණා. ඔහු වහාම මිරිහාන පොලීසියට පැමිණිල්ලක් කළා. එය මේ වන විටත් විභාග වෙමින් පවතිනවා.

සඳුන් රාජකරුණා කියන්නේ උත්තරා චිත්‍රපටයත්, ඉතිං අපි කතා කරමු, ආදරණීය චංචලා වැනි ටෙලි නිර්මාණ තනා ක්ෂේත්‍රයේ නමක් දිනාගත් යොවුන් අධ්‍යක්ෂවරයෙක්. ඔහු ගොඩ නගා ගත් කීර්ති නාමයට හානියක් කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් විසින් කරන මෙවන් අකටයුතුකම් නිසා සිදු වන අවසාන ප්‍රතිඵලය වන්නේ කලා ලෝකය පිළිබඳ ජනතාව තුළ අප්‍රසාදයයක්, අවිශ්වාසයක් ඇතිවීමයි. 

පූජනීය වූ කලාව අතකොලුවක් කර ගනිමින් මෙවැනි දේ කරනා පුද්ගලයින් නීතියේ රැහැනට හසු කොට සුදුසු දඬුවමක් ලබා දෙන මෙන් සඳුන් කාරුණිකව වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා.

 
Related Posts with Thumbnails