Ads 468x60px

.

මේ පාරත් මුන්නේෂ්වරම් කෝවිලේ සත්ත්ව බිලි පූජාව කරන්න දෙන්නේ නෑ - ඇමති මර්වින්

සැප්තැම්බර් 01දා මුන්නේශ්වරම් කෝවිල් භූමියේ  සත්‍යක්‍රියාවක් කරනවා...

කොඩිවින, පොල්ගැසීම්, වස්කවි වැනි අදෘෂ්‍ය බලවේගයන්ට මම බය නෑ...

හලාවත - මුන්නේෂ්වරම් ශ‍්‍රී භද්‍රකාලි කෝවිලේ වාර්ෂික සත්ත්ව බිලි පූජාව මෙවර ද සිදුකිරීමට ඉඩ නොදෙන බවත්, සැප්තැම්බර් 01වනදා තමන් මුන්නේශ්වරම් කාලි කෝවිල් භූමියේ දී සත්‍යක්‍රියාවක් සිදු කරනු ලබන බවත්  මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා.

ඊයේ
(24) කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අමාත්‍ය මර්වින් සිල්වා මහතා එම කාරණය අවධාරණය කර තිබුනා.

පසුගිය වසරේ දී පැවැති මෙම බිලිපූජාව

නතර කිරීම සඳහා තමන් වෙත පුද්ගලයින් රැසක් සහ සංවිධාන ගණනාවකින් ඉල්ලීම් ලැබීම සැලකිල්ලට ගනිමින් මෙම මිසදුටු වැඩපිළිවෙල නතර කිරීම සඳහා මැදිහත් වූ බව කී අමාත්‍යවරයා, මෙවරද එය පවත්වන්නේ නම් එයට මැදිහත්වන බව පැවසිය.

තමන් අදහන කාලි මෑණීයන් සතුන්ගේ රුධිරය උරා බොන දේවතාවියක් නොවන බවත්, එම දේවතාවිය එවැනි දෑ සඳහා විරුද්ධ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.එබැවින් මෙවරද කිසියම් අයෙකු මෙම බිලිපූජාව සඳහා සතුන් රැගෙන එන්නේ නම් ගියවසරේ සිදු කළ අයුරින් ම එදිනට ද එම සතුන් තමන්ගේ ග්‍රහණයට ගන්නා බවද මර්වින් සිල්වා අමාත්‍යවරයා කීය.

එසේම කොඩිවින, පොල්ගැසීම්, වස්කවි වැනි අදෘෂ්‍ය බලවේගයන්ට තමන් බිය නොමැති බවත් ඒවායින් තමන්ගේ එකඳු කෙස් ගසකට හෝ මොනයම් අයුරකින්වත් බලපෑමක් සිදු කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.වසර 40ක පමණ කාලයක සිට තමන්  මුන්නේශ්වරම් කාලි කෝවිලේ පූජාවන් සඳහා සහභාගීවන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

තමන් මෙම පූජාව සිදු කිරීමට යන පාර්ශව සමඟින් සාකච්ඡාවක් පැවැත්වූ නමුත් ඔවුන් විවිධ හේතූන් හුවා දක්වමින් එය පැවැත්වීමේ උත්සහයක නිරතවීමත් සමඟ තමන් මෙලෙස සත්‍යක්‍රියාවකට යොමු වීමට තීරණය කළ බවද අවධාරණය ක‍රනු ලැබීය.

බුදුරජාණන් වහන්සේ ඇතුළු කිසිදු ආගමක ශාස්තෲන් වහන්සේවරයෙක් සතුන් මැරීම අනුමත කර නොමැති බවද මෙම මාධ්‍ය හමුවේදී කියා සිටි අමාත්‍යවරයා, එළඹෙන 01වනදා සිදු කිරීමට සූදානම්වන මෙම බිලිපූජාවට එරෙහිව සත්ව හිංසනයට එරෙහිවන සියලු ජනකොටස් එකතුවන්නැයි ද විශේෂ ඉල්ලීමක් සිදු කළේය.
 
Related Posts with Thumbnails