Ads 468x60px

.

නූගතුන්ගේ දේශය....

ලංකාවේ දැනට ඉතිරිවී ඇත්තේ මොනවද

උගත් සහ නිරෝගී ජනතාවක් පාලනය කිරීම අපහසු බව ඇමරිකානු සිනමාවේදියෙකු වන මයිකල් මුවර් පවසා තිබේ. මේ ප්‍රකාශය වර්තමාන ලංකාවේ පාලකයන් තරයේ අදහන බවට කිසිදු සැකයක් නැත. 

ලංකාවේ අධ්‍යාපනය විනාශ කොට නූගත් ජන ප්‍රජාවක් බිහිවීම ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයේ ද  අපේක්ෂාවකි. මෙහිද අප විපක්ෂය ලෙස හඳුන්වනේ එකසත් ජාතික පක්ෂය පමණක් නොවේ. 

ජවිපෙ ඇතුළු අනෙකුත් පක්ෂ ද මිට ඇතුලත්ය. මේ සියලු පක්ෂ වල  අතීත ක්‍රියාකාරීත්වය විශ්ලේෂණය කර බලන විට මොවුන් සියලුදෙනාගේම යටි අරමුණු වුයේ ලංකාවේ අධ්‍යාපනය විනාශ කොට  නුගත් ගම් හරක් බිහි කර ගැනීමයි. 

 
එමගින් ඔවුන්ගේ දේශපාලන   න්‍යාය පත්‍රය රිසි ලෙස ක්‍රියාත්මක කිරීමට හැකි වට පිටාවක් බිහිවේ.

පසුගිය ශතවර්ෂයේ මුල සිට ලංකාව අධ්‍යාපනික වශයෙන් ඉහල මට්ටමක තිබු රටකි. ඉංග්‍රීසි අධ්‍යාපනය ලද ජාත්‍යන්තරය සමග සාර්ථකව ගනුදෙනු කල හැකි උගත්  පරම්පරාවක් මේ රටේ සිටියේය. බොරු දේශප්‍රේමයක් පෙන්වා සිංහල බස රාජ්‍ය භාෂාව කල බණ්ඩා තම ළමයින් තිදෙනාට ඉංග්‍රීසි අධ්‍යාපනය දී ග්‍රාමීය ප්‍රදේශ වල  ළමුන් ඉංග්‍රීසිය බැරි ගම් බයියන් බවට පත් කළේය. 


අද ඉංග්‍රීසි බැරිකම නිසා හීනමානයෙන් ඔද්දල් වෙමින් විශ්ව විද්‍යාල වල නගරබද සිසුන්ට  හිටු කියා නවක වදය දෙමින් සිසුන්ව  ගවයන් මෙන් පෙළපාලි දක්කාගෙන යන අන්තරයේ පන්ති වයිරය  ආරම්භ වන්නේ මෙවැනි ක්‍රියාවල පසුකාලින ප්‍රතිපල ලෙසටය. 

බණ්ඩාගේ භාෂා ප්‍රේමයේ රඟ අපට බැලිය ජීවමාන ආදර්ශය නම් ඔහුගේ මුණබුරා වන විමුක්තිය. විමුක්තිට සිංහල බැරිය. සිංහල ඉගෙන ගැනීමටවත් ඔහුට ආශාවක් තිබේද කියා සැකය.

මේ වියාජ දේශප්‍රේමය සමග ඇරඹි ජනතාව ගවයන් බවට පත් කිරීම ඉන්පසු පැමිණි සියලු ආණ්ඩු නොපිරිහෙලා ඉටු කළේය. රයිගමයාට  හා ගම්පලයාට අධ්‍යාපනය භාරදුන් වර්තමාන ආණ්ඩුවටද අවශ්‍ය ලංකාවේ අධ්‍යාපනය සමතලා කිරීමටය. අද පහේ ශිෂත්වය  , සාමාන්‍යපෙළ , උසස්පෙළ විභාග වියවුල් ගොඩකි. 


අධ්‍යාපනය සහ විභාග ගැන   ඇති විශ්වාසය තුරන් වෙමින් පවතී. විශ්ව විද්‍යාල අධ්‍යාපනය එකම මඩ ගොහොරුවකි. මෙවැනි පසුබිමක නුගතුන් රිසි පරිදි බිහි කරවා ගත හැකිය. මෙය සෑම දෙනාගේම අපේක්ෂාව වේ. ආණ්ඩුවේ පැත්තෙන් බලන කල නුගතුන් බිහිවීම මගින් පබාලා , අනර්කලීලා , ගීතලා , මුතුහෙට්ටියාලා , කුඩු මර්වින්ලා , දුමින්දලා යොදවා මේ රටේ ගවයන් පාලනය කිරීමට පහසු වේ. 

මෙවැනි වටපිටාවක එක්ස්ටසි මාලකයා මේ අනාගත රටේ අධ්‍යාපන ඇමති විය හැකි බව අර ඉර හඳ උලා කෑ නීතිඥයෙකු වන හේමන්ත වර්ණකුලසුරිය කිවේ කට කහනවාට නොවේ.  අනාගතයේ පොල්  පිත්තක් පෙන්වා එයටද මි හරක් ජනතාව ලවා කතිරය ගැස්සවීමට පාලකයන්ට හැකි වනු නියතය.  ගවයන් පාලනය කිරීම පහසුය.

මේ රටේ කාලයක් උගත් ප්‍රජාවක් ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරු ක්‍රියා කළේය. කෙනහිලි නිසා බොහෝ උගතුන් විශ්ව විද්‍යාල හැර යාමෙන් පසු සංවර්ධිත  රටක  කිසිම විශ්ව විද්‍යාලයකට යාමට නොහැකි වූ කබ්බන්  ලුලන් නැති වලේ වැඩ පෙන්වීමට පටන් ගත්තේය.  මුලින්ම වැඩ පෙන්නුවේ පරළ වූ යකදුරෙකු මෙන් බටහිර යුදෙව් අධ්‍යාපනයට බැන වැදුණු නලින් ද සිල්වා විසිනි. 


කොතෙක් බටහිර  අධ්‍යාපනයට බැන වැදුනත් ඔහු තමුන්ගේ ළමුන් පිරිවෙන් අධ්‍යාපනයට යැව්වේ නැත. නලින් ද සිල්වා ගේ ළමයි   පශ්චාත් උපාධි කිරීම සඳහා   ගියේ බටහිර විශ්ව විද්‍යාල වලටය.  ගුණදාස අමරසේකරද තමුන්ගේ ළමුන්ට බටහිර ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා සිමා පැනවුයේ නැත. අනෙකුත් විශ්ව විද්‍යාල ඇදුරන් මිට දෙවැනි වුයේ නැත.

මොවුන් බොහෝ දෙනෙකු සතියකට පැයදෙක තුනක් උගන්වා බොරුව කරමින් ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කඩා වැටීමට ඉඩ සැලසුවේ තමුන්ගේ ළමුන් බටහිර රටවල විශ්ව විද්‍යාල වලට යවමිනි. බොහෝ දෙනෙකු වැඩ කලේ අපෙන් පසු මේ තැන් ඉවරයි  යන මානසිකත්වයෙනි. මෙහි අද ප්‍රතිපල අද ඇස් පනා පිට තිබේ. 

ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍ය වල විශ්ව විද්‍යාල වලට වඩා  ශ්‍රේණි ගතකිරීමෙන් පහළය. බටහිර විශ්ව විද්‍යාල ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වර්ගීකරණය කිරීමේදී දැන් (3W LGU) සංකේතය  යොදා ගන්නා බව  හෙළි වී තිබේ.

මෙම වර්ගීකරණ සංකේතයේ අරුත නම්   3 ed World Low Grade Universities  වේ ( (Deplorable Conditions of the Sri Lankan Universities -Darshani Wimalasuriya). පසුගිය දශකය පුරා අන්තර්ජාතික විශ්ව විද්‍යාල ප්‍රජාවට පිළිගත හැකි  පරියේෂන පත්‍රිකාවක් , පොතක් පල කිරීමට නොහැකි වූ ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල ද අද නුගත්කමේ සංකේතයකි.  

අර මරුවා (මෙය වෙබ් අඩවියකි) කිව්වාක් මෙන් කැත නැතිව උගතෙකි කියා ජාත්‍යන්තරයට පෙන්වීමට හැකි  පුද්ගලයෙකු  ලංකාවේ විශ්ව විද්‍යාල වල නැත.

යටත් විජිත යුගයේ පටන් යාපනයේ අධ්‍යාපනයට විශේෂ උනන්දුවක් සහ පහසුකම් තිබුණි. ද්‍රවිඩයන්ගේ විමුක්තිය ගැන කතා කල  10 වසරට පමණක් උගත් ප්‍රභාකරන් උතුරේ ඉහල මට්ටමක තිබු අධ්‍යාපනය විනාශ කළේය. 


ළමුන් පාසල් වලට යවනවා වෙනුවට බංකර වලට යැව්වේය. නමුත් මේ මිනීමරුවා තමුන්ගේ ළමයි ඉගෙනීම සඳහා යැව්වේ එංගලන්තයටය. අධ්‍යාපනය ගැන ප්‍රචලිතව තිබු  උතුර අද  නුගතුන්ගේ භූමියකි.

ජවිපෙ සහ අන්තරයද මුල සිටම වැඩ කලේ ලංකාවේ අධ්‍යාපනයට වින කැටීමට බව විචාරශීලි බව ඇත්තෝ දනිති. 1971 සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කරවමින් 88-89  දී  පළමුව මව්බිම දෙවනුව පාසැල කියා පාසල් පවා වසා දමමින් ජවිපෙ කල සංදර්ශන තවමත් අමතකවී නැත. 


අධ්‍යාපනය කඩාකප්පල් වීම මගින් අසහනයට පත් වූ වාතාවරණය මත  තුන් වන කැරැල්ලට බිලිබොයිස්ලා බිහි කර ගැනීමට දැන් ක්‍රමක් ක්‍රමයෙන් පරිසරය සකස් වෙමින් පවතී.  

කොල්ලන් ටයර් මත දැවී යන  , ප්‍රාදේශීය නායකයන් ගෝනිබිල්ලන් වන  , නායකයන් දේශපාලකයන් හා හමුදා නිලධාරීන් සමග ගිවිසුම් ගසා රටින් පනින විප්ලවය මග එමින් පවතී.  මේ සමගම ලංකාවේ දැනට ඉතිරි වී තිබෙන අධ්‍යාපනයද වැළලී යනු ඇත.

මේ අනුව බලන විට ලංකාව නුගතුන්ගේ දේශයක් බවට පත් කිරීම සඳහා සියලුම දෙනා තම තමන්ගේ න්‍යාය පත්‍ර ඔස්සේ විවිධ  ක්‍රමවේදයන් යොදා ගනිමින් එකම අරමුණක් සඳහා වෙනස් වෙනස් මං ඔස්සේ ගමන් කරමින් සිටිති. 


අවසානයේදී මොවුන් සියලුදෙනා එකම ස්ථානයකදී හමු වනු ඇත. ඒ වන විට ලංකාව ඇෆ්ගනිස්ථානය , සෝමාලියාව වැනි උගතුන් හිඟ වූ නුගතුන්ගේ දේශයකි. එවිට මේ රටේ ගවයන් පාලනය කිරීමට රිසි සේ හැසිරවීමට ආණ්ඩුවට මෙන්ම  විපක්ෂයටද  පහසු වනු ඇත.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails