Ads 468x60px

.

මගේ සැමියා මේ විදියට බෝම්බයක් පුපුරවාගෙන සියදිවි නසා ගනීද කියල මට සැකයි - මේජර්ගේ බිරිය

තාත්තා රුපියල් ලක්ෂ 13ක් ඔහුට වරින් වර දීලා තිබුණා...

එම සල්ලිවලින් රුපියල් ලක්ෂ 10ක් විතර පස්සේ අම්මගේ ‍පොතට දමලා තිබුණා... පෙම්වතිය කියයි

මගේ සැමියා මේ විදියට බෝම්බයක් පුපුරවාගෙන සියදිවි නසා ගනීවිද කියල මට සැකයක් තියෙනවා..බිරිය කියයි

හේතුව මෙයා අපිත් එක්ක හොඳින් ඉන්න ‍පොරොන්දු වෙලා ඊට ටික දවසකට කලින් ගෙදරින් ගියේ” යැයි තිහගොඩදී පසුගිය 18 දින බෝම්බ පිපිරීමකින් මියගිය යුද හමුදාවේ මේජර්වරයකුවූ කුරුණෑගල, හිරියාල ‍ලේනව බණ්ඩි‍පොළ පදිංචිව සිටි නලීන් සම්පත් කුමාරගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් ඔහුගේ බිරියවූ 34 හැවිරිදි කාන්තාව ප්‍රකාශ කළා. 

එම සවිස්තර ප්‍රකාශය පහතින්...


‍පොලීසිය - තමන්ගේ විස්තර කියන්න.
බිරිය - මගේ වයස අවුරුදු තිස්හතරයි. මගේ ස්වාමිපුරුෂයා කලිඟුරාලආරච්චිගේ නලීන් සම්පත් කුමාර. ඔහුගේ රැකියාව මියයන විට යුද හමුදාවේ මේජර්වරයෙක්. අපි විවාහ වුණේ 2002 වසරේදීයි. ඒ යෝජනාවකින්. දරුවන් දෙදෙනකු ඉන්නවා. වැඩිමහල් දියණියට අවුරුදු හතයි. බාල පුතාට අවුරුදු තුනයි. අපි මගේ මහ ගෙදරයි පදිංචිව සිටියේ.


‍පොලීසිය - ඔහු ඔබගෙන් වෙන්වීමට දික්කසාද නඩුවක් දැම්මාද?
බිරිය - 2011 ජූලි 22 දින ඔහු මාවනැල්ල ‍පොලීසියේ පැමිණිල්ලක් දැම්මා මා සමග තවදුරටත් එක්ව සිටීමට නොහැකි බව පවසා. අපි එතකම් හොඳින් සිටියේ.  ඔහු පසුව 2012 ජනවාරි මස කුරුණෑගල අධිකරණයෙහි මගෙන් වෙන්වීමට දික්කසාද නඩුවක් ගොනු කර තිබුණා. එම නඩුව විභාග කිරීමට තිබුණේ අදයි.


‍පොලීසිය - ඔහු අවසන් වරට නිවසට ආවේ කවදාද?
බිරිය - ඔහු අවසන් වරට සේවය කළේ සාලියපුර යුද හමුදා කඳවුරේ. අමනාප වෙලා ඉඳලා ඔහු පසුගිය සිංහල අවුරුද්දට ගෙදරට ආවා. එදා ඇවිල්ලා ඔහු ආපසු ගියා. ඒ ගිහිල්ලා ආයෙත් පසුගිය සැප්තැම්බර් 02 දින නැවත ගෙදරට ආවා. ඇවිල්ලා කිව්වා මට අවුරුද්දේ මාස ගණනක් ලොකු ප්‍රශ්න වගයක් සිදුව තිබුණා. ඒ ප්‍රශ්න දැන් අමතක කරලා දරුවෝ දෙන්නත් එක්ක අපි හොඳින් ඉමු කිව්වා. ඒ ඉඳලා නැවත කඳවුරට යන්න ඕන කියලා ගියා.


‍පොලීසිය - ඔහු කවදාද නිවසින් අන්තිමට ගියේ?
බිරිය - සැප්තැම්බර් 13 දිනයි. එදින සවස 3.30ට පමණ ඔහු ගියේ.


‍පොලීසිය - එම දින කිහිපයේ ඔහුගේ වෙනසක් දැනගන්නට ලැබුණාද?
බිරිය - ඔහු මට කිව්වා වාහනයේ ඇරියස් වගයක් ගෙවන්න තියෙනවා කියලා. මගෙන් රුපියල් අනූදහසක මුදලක් ඉල්ලුවා. මම මගේ ළඟ තිබුණ රත්තරන් බඩු ටික මාවනැල්‍ලේ රාජ්‍ය බැංකුවක උගස් කරල ඔහුට මුදල් දුන්නා. තව අමතරව රුපියල් 34,000ක මුදලක්ද දුන්නා.


‍පොලීසිය - ඊට අමතරව ඔහු මොනවද කළේ?
බිරිය - ඒ අතරතුර ඔහු රෑට ෆෝන් එක ඕෆ් කරනවා. එකපාරටම ගෙදර ආ නිසා මම ජංගම දුරකථනය ඔන් කරලා පරීක්ෂා කළා. අංක ගොඩක් තිබුණා. එහි ‘මැණික්’ කියල අංකයක් තිබුණා. මම ඒ අංකයට මගේ දුරකථනයෙන් ඇමතුමක් ගත්තා. මහත්තයා ගෙදරින් යනතුරුම ඒ අංකය වැඩ කළේ නැහැ. 


දිගින් දිගටම ගත්තත් වැඩ කළේ නැහැ. මම මහත්තයාගෙන් ඇහුවා මැණික් කියල දුරකථන අංකයක් තිබුණා එය කාගෙද කියලා. මොකුත්ම විස්තරයක් කිව්වේ නැහැ. කිසිම උත්තරයක් නොදී සිටියා. නැවත නැවත අහද්දී මගේ ෆෝන් එකෙන් මැණික් කියන අංකය තිබූ ෆෝන් එකට ඇමතුමක් ගත්තා. එවිට කාන්තාවක් කිව්වා මම කර්නල් රංජිත්ගේ වයිෆ්. මට විවාහ වෙන වයසේ ළමයි නැහැ කියල කිව්වා.

‍පොලීසිය - ඊට පස්සේ?
බිරිය - ආපසු මම නැවතත් එදාම ඒ අංකයට කතා කළා. එහිදී කතා කළේ ඔය කියන කඹුරුපිටියේ ගැහැනු ළමයයි. ඇය කිව්වා මට අවුරුදු විසිහතයි. නර්සින් කරනවා කිව්වා. ඊට පස්සේ එදාම මම එම ගැහැනු ළමයාට ආපසු කතා කළා. මෙහෙම සම්බන්ධයක් තියෙනවා තමයි නමුත් මටත් අසාධාරණයක් වෙලා තියෙන බව ඇය කිව්වා.


‍පොලීසිය - ඔබ මොනවාද ඇයට කිව්වේ?
බිරිය - මම කිව්වා මම එයාගේ විවාහක බිරිය අපිට ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා. ඔයත් ගැහැනු කෙනෙක් මමත් ගැහැනු කෙනෙක් මම ඒ නිසා ඔහු ඔයා ළඟට එවන්නම් කිව්වා. 16 දින මම මහත්තයාට කෝල් 3ක් ගත්තා. කතා කළේ නැහැ. 17 මහත්තයා කතා කරලා කිව්වා තාත්තට අසනීපයි කුරුණෑගල ගිහින් ගෙදර එන්නම් කිව්වා.


me3‍පොලීසිය - ඔහු ආපසු කතා කළාද?
බිරිය - ඊට පස්සේ (17) දින රාත්‍රී 11.30ට මහත්තයා ආපසු මට කෝල් කළා. පහුවෙනිදා හවස ගෙදර එන බව කිව්වා. මම (18) උදේ ඉස්කෝ‍ලේ වැඩට ගියා. 


මම ඒ ගිහින් උදේ 9.00ට විතර මහත්තයාට දුරකථනයෙන් කතා කළා. ප්‍රතිචාරයක් නැහැ කියල කියවුණා. මම එදින පාස‍ලේ සුපුරුදු ලෙස වැඩ කළා.

‍පොලීසිය - තමන්ගේ මහත්තයාට කරදරයක්වූ බව දැනගත්තේ කොහොමද?
බිරිය - එදා දවල් 11.00ට විතර මේජර් කෙනෙකුගේ වයිෆ් කෙනෙක් මට කතා කරලා කිව්වා සම්පත් අයියාට කරදරයක් වෙලා නේද දන්නවාද කියලා. මම කිව්වා මම දන්නේ නැහැ කියලා. එයත් හරි විස්තරයක් නොදන්න බව කිව්වා. 


පසුව සාලියපුර යුද හමුදා කඳවුරෙන් මට කිව්වා එයාට කරදයක් වෙලා තිහගොඩදී කියලා. මම කෙටි නිවාඩුවක් දමල ගෙදර ගියා. මාවනැල්ල ‍පොලීසිය ඇවිත් කියල මම එදා රාත්‍රී 10.30ට තිහගොඩ ‍පොලීසියේ ඕ.අයි.සී හමුවුණා.

‍පොලීසිය - තමන්ගේ ස්වාමි පුරුෂයාගේ මෘතදේහය පළමුවරට දැක්කේ?
බිරිය - මාතර රෝහ‍ලේ මෘත ශරීරාගාරයේදීය. එතැනදී අධිකරණ වෛද්‍යවරු ඉදිරිපිටදී මෘතදේහය හඳුනාගත්තා.


මාතර අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මෙනවිය
ස්වාමි පුරුෂයාගේ මරණය සම්බන්ධව තමන්ට සැකයක් තිබෙනවාද?
බිරිය - ඔහු මේ අයුරින් සියදිවි නසා ගනියිද කියල සැකයක් තිබෙනවා. හේතුව මෙයා ඊට දවස් කිහිපයකට කලින් ගෙදර ඇවිත් කිව්වේ අපි හොඳින් ඉඳිමු, පරණ දේවල් අමතක කරමු කියලයි ගියේ.
මියගිය මේජර්වරයාගේ සොහොයුරු යුද හමුදාවේ සේවයේ නියුතු දෙවන ලුතිනන් කලිඟුරාලආරච්චිගේ නලීන් සුරාජ් කුමාර මහතා සාක්කි දෙමින්


‍පොලීසිය - ඔබ සේවය කරන්නේ?
සොහොයුරු - මාත‍ලේ යුද හමුදා කඳවුරේ


‍පොලීසිය - අයියාගේ මරණය දැනගත්තේ කොහොමද?
සොහොයුරු - මම එතකොට හිටියේ මන්නාරමේ. මට එහි අණදෙන නිලධාරියා උදේ 10.30ට විතර කිව්වා බෝම්බයක් පිපිරී අයියා මැරුණ බව. මම ඊට පසු ඔහු බලන්න තිහගොඩට ආවා. මෘතදේහය රෝහලට ගොස් හඳුනාගත්තා. 


මම දැක්කා අයියගේ බඩ ප්‍රදේශය තුවාල වෙලා තිබුණා. දකුණු කකු‍ලේ කලවාවල මස් තිබුණේ නැහැ. ඇට විතරයි තිබුණේ. දකුණු අතේ වැලමිටෙන් පහළ තිබුණේ නැහැ. මෘතදේහය භාරගෙන ගෙනවිත් බණ්ඩි‍පොළ සුසාන භූමියේ භූමදාන කළා.

අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මෙනවිය.
අධිකරණ වෛද්‍යවරයා යම් තීන්දුවක් දුන්නොත් එය පිළිගන්නවාද?
සොහොයුරු - මමත් යුද හමුදා නිලධාරියෙක්. මට බෝම්බ පිළිබඳ හොඳ වැටහීමක් තිබෙනවා. ඔහු බෝම්බය පිපිරී ගිය අවස්ථාවේදී යාබද අසුන මත තිබූ අනෙක් බෝම්බය නොපිපිරීම නිසා අවි ආයුධ ගැන දැනුමක් තිබෙන මට යම් සැකයක් තිබෙනවා.


‍පොලීසිය - ඔබ දන්නා ආකාරයට ඔහුට මෙම බෝම්බ පිපිරීමෙන් තුවාල සිදුව තිබුණේ කෙසේද?
සොහොයුරු - දකුණු අත, දකුණු කකුල සහ උදර ප්‍රදේශයටයි.


‍පොලීසිය - තමන්ගේ අයියගේ වම් පැත්තේ සීට් එක උඩ සෙලෝටේප් ඔතා තිබූ බෝම්බය පුපුරා යාමට හැකිද?
සොහොයුරු - බෝම්බය දකුණු පැත්තේ සිටි පුද්ගලයාගේ දකුණු පැත්තේ හෝ ඔහු වාඩිවී සිටින සීට් එක තුළ පිපිරීමක් වුණා නම් එම කම්පනයට වම්පස සීට් එක උඩ තිබූ බෝම්බය පිපිරීමට හැකියාවක් තියෙනවා. බෝම්බය පිපිරීමෙන් වාහනයේ ඉදිරිපස වීදුරුවත් විනාශව ගොස් තිබෙනවා. මේ කියන සීට් එක තුළ තිබූ අනෙක් බෝම්බය පුපුරා නොයාම ගැන සැකයක් තියෙනවා.


‍පොලීසිය - ඔබ බෝම්බ ගැන විශේෂඥයෙක්ද?
සොහොයුරු - නැත. මම පුහුණු පාඨමාලා හදාරා තියෙනවා. මම බෝම්බ පාවිච්චිය ගැන දන්නවා.


සිද්ධියට සම්බන්ධ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාව සාක්කි දෙමින්.
‍පොලීසිය - තමා පාසල් යනවාද?
ශිෂ්‍යාව - මම සාමාන්‍ය පෙළ විභාගය දවෛනි වර පෙනී සිටීමට උපකාරක පන්ති යනවා. මම කඹුරුපිටිය ප්‍රදේශයේ පාසලකට ගියේ. මට නංගි සහ මල්ලි කෙනෙක් ඉන්නවා. මව රැකියාවක් කරන්නේ නැහැ. පියා විශ්‍රාමික යුද හමුදා සාජන්ට් මේජර්වරයෙක්. අවුරුදු එකහමාරකට පෙර ඔහු විශ්‍රාම ලැබුවා.


‍පොලීසිය - මෙම මියගිය මේජර්වරයා හඳුනාගත්තේ කොහොමද?
ශිෂ්‍යාව - මම ළඟ තිබූ ජංගම දුරකථනයට මිස් කෝල් එකක් ආවා. ඒ මිස් කෝල් එක මම ගත්තේ නැහැ. ඒ 2011 ජූලි මස 02 දිනයි. එදාම ඒ අංකයෙන් ආයෙත් කෝල් එකක් ආවා. මම ඇහුවා කවුද කතා කරන්නේ කියලා. “මම ආමි එකේ වැඩ කරන සම්පත් කියල ඔෆිසර් කෙනෙක්” කියල කිව්වා. 


එයා මම කවුද කියල ඇහුවම මම කිව්වා කඹුරුපිටියේ කියලා. මම ජොබ් එකක් කරනවාද කියල එයා ඇහුවා. මම කිව්වා සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙනවා කියලා. ඔහු ඇහුවා මගෙත් එක්ක කතා කරන්නද කියලා. ඊට පස්සේ දිගින් දිගටම ඔහුගෙන් කෝල් ආවා.

‍පොලීසිය - මේ බව දෙමව්පියන්ට කිව්වේ නැද්ද?
ශිෂ්‍යාව - සති දෙකක් විතර ගියාම සම්පත් අයියා කිව්වා අම්මා තාත්තා එක්ක කතා කරන්න ඕන කියලා. ඊට පස්සේ අම්මා තාත්තා එක්ක එයා කතා කළා. කතා කරලා කියල තියෙනවා මෙහෙම සම්බන්ධතාවක් තියෙනවා කියල.


‍පොලීසිය - ඉතින් ඔහු ගැන හෙව්වාද?
ශිෂ්‍යාව - තාත්තට ඔහු වැඩ කරන කෑම්ප් එකත් කියල තිබුණා. සාලියපුර කඳවුරේ වැඩ කරනවා කියල තිබුණා. නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවා. කුරුණෑගල පදිංචි බවත් කියල තිබුණා. තාත්තා පනාගොඩ කඳවුරට කතා කරලා සාලියපුර කඳවුරට කතා කරලා තිබුණා. 


සම්පත් කියල කෙනෙක් ඉන්නවාද කියල තාත්තා අහලා තිබුණා සම්පත් කියල එහෙම කෙනෙක් ඉන්නවා ඔහුට අවුරුදු 24යි. තවම බැඳලත් නැහැ කියල කෑම්ප් එකෙන් කියල තිබුණා.

‍පොලීසිය - පළමුවරට මුණ ගැසුණේ කොහොමද?
ශිෂ්‍යාව - 2012 මාර්තු මාසයේ දිනයක මාතරට එන්න කියල සම්පත් අයියා කිව්වා. මම අම්මා, තාත්තා, නංගි, මල්ලි එක්ක මාතරට ගියා. මාතර වෙරළේ ළමා උද්‍යානය හරියේදී අපි හමුවුණා.


‍පොලීසිය - ඊට පසුව ඔහු හමුවුණේ?
ශිෂ්‍යාව - එයා කතා කරල පස්සේ කිව්වා අලුතින් වාහනයක් ගත්තා කතරගම ගිහින් පඬුරු බඳින්න ඕන කියලා. අම්මටයි, තාත්තටයි, නංගිටයි, මල්ලිටයි කතරගම ගමනට එන්න කිව්වා. ඒ ගමනට එයාගේ අම්මයි, නංගියි එන බවත් කලින් කිව්වා.


‍පොලීසිය - ඔහු අම්මයි, නංගියි ගමනට සහභාගි වෙනවා කිව්වා නේද?
ශිෂ්‍යාව - අම්මට සනීප නැති වෙලා නංගිත් එක්ක ගිහින් බෙහෙත් ගත්තා. සම්පත් අයියා කිව්වා ආපු ගමන නවත්වන්න ඕන නැහැ අපි යමු කියලා. මම ඉස්සරහ සීට් එකේ වාඩිවුණා. අම්මා, තාත්තා, නංගියි, මල්ලියි පිටුපස සීට් එකේ වාඩිවුණා.


‍පොලීසිය - කොහේද ඉස්සර වෙලා ගියේ?
ශිෂ්‍යාව - අපි ඉස්සර වෙලා කතරගමට ගියා. හවස 7.00 පූජාවටයි ගියේ. එදා රෑ කතරගම දුටුගැමුණු විශ්‍රාම ශාලාවේ අපි නතර වුණා. අම්මයි, මමයි, නංගියි, තාත්තයි එක කාමරයක හිටියා. මල්ලියි සම්පත් අයියයි එක කාමරයක හිටියා.


‍පොලීසිය - එහෙන් ගියේ කවදාද?
ශිෂ්‍යාව - ඊට පසුදා උදේ පාන්දර වාහනයෙන් නුවරඑළියට ගියා. මල්වතු දෙකටත් ගියා. එදා රාත්‍රී වැලිමඩ එයාගේ යාළුවෙකුගේ ගෙදර නැවතුණා.


‍පොලීසිය - ඊට පසුදා කොහේද ගියේ?
ශිෂ්‍යාව - රත්නපුරේ පුංචි දඹදිව ගියා. ඒ ගිහින් එනකොට රෑ වුණා. ඊට පස්සෙ හංවැල්‍ලේ හෝටලයක රාත්‍රියේ නතර වුණා. මල්ලියි, සම්පත් අයියයි එක කාමරයක හිටියා. මම, අම්මා, තාත්තා, නංගි එක්ක එක කාමරයක හිටියා. ඊට පස්සෙ උදේ ගෙදර එන්න පිටත්වුණා. එන ගමන් දෙහිවල සත්තු වත්තටත් ගියා. 


‍පොලීසිය - ඒ ගිය ගමනෙදි පින්තූර හැම තැනකදීම ගත්තාද?

ශිෂ්‍යාව - ඔව්. හැම තැනකදීම පින්තූර ගත්තා. මමත් සම්පත් අයියයි එකට පින්තූර ගත්තා. වැඩිපුරම පින්තූර ගත්තේ අපේ මල්ලියි. කැමරාව ඒ අයියා ගෙනාවේ.

‍පොලීසිය - ආපසු ඔහු හමුවුණේ කවදාද?
ශිෂ්‍යාව - මගේ උපන් දිනයට ඔහු මාතර ආවා. ජූලි 29 උපන් දිනය තිබුණේ. එදා එයා අපිට මාතරට එන්න කියල තිබුණා. අපි බස් එකෙන් ගෙදර ඔක්කොම මාතරට ගියා. එතකොට මාතරට සම්පත් ඇවිත් හිටියා. එයා වාහනයෙන්ම ඇවිල්ලා තිබුණේ. මාතර මුහුදු වෙරළෙදී අපි උපන්දින කේක් එක කැපුවා.


‍පොලීසිය - කේක් එකේ උපන් දිනයට යොදා තිබූ ඉලක්කම මොකක්ද?
ශිෂ්‍යාව - 18 කියලයි


‍පොලීසිය - තමන්ට අවුරුදු 18ක් වුණේ නැහැ නේද?
ශිෂ්‍යාව - 18 ලබපු නිසා 18 ඉලක්කම කේක් එකට දැම්මා. අපි එතන පැයක් විතර හිටියා. එයා මට උපන් දිනයට තෑග්ගට ලැප්ටොප් එකක් ගෙනැල්ලා තිබුණා.


‍පොලීසිය - ඊට පස්සෙදිත් හමුවුණාද?
ශිෂ්‍යාව - ඊට පස්සේ මට හමුවුණේ නැහැ. දුරකථනයෙන් කොම්පියුටරයෙන් ඔහු සමග නිතර කතා කළා.


‍පොලීසිය - තමන්ට දුරකථනයට වෙනත් අයගෙන් ඇමතුම් ආවාද?
ශිෂ්‍යාව - 2012 අගෝස්තු මාසයේදී තාත්තාගේ දුරකථනයට ඇමතුමක් ආවා. ඒ කතා කරල තිබුණේ එයා බැඳපු නෝනගේ මල්ලිය කියල තිබුණා. එයා කතා කරලා තාත්තට කියල තිබුණා ඔහුට ළමයි දෙන්නෙක් ඉන්න බැඳපු කෙනෙක් කියලා. 


දුව පැටලැවිලා ඉන්නේ බේරාගන්න කියලා. ඊට පස්සේ තාත්තා මට ඒ බව කිව්වා. ඒ කිව්වට පස්සේ මම ඒ අයියට කතා කරලා ඒ ගැන කිව්වා. එතකොට ඔහු පස්සේ කතා කරමු කියලා ෆෝන් එක කට් කළා.

‍පොලීසිය - ඔහු ඊට පසු කතා කළේ නැත්ද?
ශිෂ්‍යාව - සැප්තැම්බර් 14-15 වගේ මට ෆෝන් එකෙන් එයාගේ වයිෆ් කියල කෙනෙක් කතා කළා. ඒ ඇමතුම අපේ අම්මා අරගෙන තිබුණේ. අම්මට කියල තිබුණා කතා කරන්නේ සම්පත්ගේ වයිෆ් කියලා. බබාලා දෙන්නෙකුත් ඉඳිද්දි දුවත් අල්ලගෙන කියල තිබුණා. පස්සේ දෙන්නා අතර කුණුහරුපයෙන්ද කතා වුණා. 


ඊට පස්සේ මම ඒ අක්කට කතා කළා. මම කිව්වා එයාට ඔව් සම්බන්ධයක් තියෙනවා තමයි කියලා. එතකොට අක්කගේ ජීවිත කතාව මට කිව්වා. මම එයාට කිව්වා ආයෙත් එවැනි සම්බන්ධයක් තියාගන්නේ නැහැ කියලා. පස්සේ මගෙත් සම්පත් අයියගෙත් අක්කගෙත් ෆෝන් තුනම කොන්ෆරන්ස් දමලා එකවර කතා කරලා ඊට පසු සම්බන්ධය නතර කළා.

‍පොලීසිය - ඊට පසු ඔහු කතා කළේ නැත්ද?
ශිෂ්‍යාව - ඊට පස්සේ ඔහු මට කතා කළත් මම ෆෝන් එක ගත්තේ නැහැ. ඔහු දිගින් දිගටම කතා කළා. මම ඔහුට කිව්වා සම්බන්ධය නතර කළ නිසා ආයෙත් කතා කරන්නේ නැහැ කියලා. පස්සේ (18) උදේ 5.30ට විතර තාත්තගේ ෆෝන් එකට ඔහු කෝල් කරල තිබුණා. ප්‍රශ්නයක් තියෙනවා විසඳාගන්නට අවශ්‍යයි මාතරට එන්න පුළුවන්ද කියලා අහලා තිබුණා. 


තාත්තා කියල තිබුණා ගෙදර වැඩ වගයක් තියෙනවා කියලා. විනාඩි 5කට ඇවිත් යනවාද කියලා ඔහු ආයෙත් අහල තිබුණා. මටත්, අම්මටත්, තාත්තටත් විතරයි එන්න කියල තිබුණේ. නංගි, මල්ලි එක්ක එන්න එපා කියලා තිබුණා. තාත්තා කිව්වා මාතරට එන්න බැහැ මගදී කතා කරමු කියලා. අපි තුන්දෙනා ත්‍රීවීල් එකකින් මාතර පැත්තට යනකොට එයාගේ කැබ් එක මාපලාන පාරෙදි හමුවුණා. 

එයා කැබ් එක නතර කළා. අපිට ත්‍රීවීල් එක දමලා වාහනයට නගින්න කිව්වා. මට කිව්වා අදට විතරක් ඉස්සරහ සීට් එකේ වාඩිවෙන්න කියලා. මම ඉස්සරහ සීට් එකේ වාඩිවුණා. අම්මා, තාත්තා පිටුපස වාඩිවුණා. එහෙම ඇවිත් අපි තිහගොඩට ආවා. එයා තිහගොඩදී හක්මන පාරට හරවලා ‍පොලීසිය පහුකරල ටිකක් දුරින් වාහනය නතර කළා. 

එයා වාහනය නතර කරලා ළඟ කඩේකට ගිහින් මොනවා හරි ගේන්නම් කිව්වා. තාත්තා කිව්වා තාත්තා යන්නම් කියලා. පස්සෙදි එයා ගිහින් බිම බෝතලයකුයි, වතුර බෝතලයකුයි අරගෙන වාහනය ළඟට ආවා.

‍පොලීසිය - ඊට පස්සේ මොනවද කළේ?
ශිෂ්‍යාව - අපි ඔක්කොම එළියට ඇවිත් කතා කළා. මගේ ඔළුව අතගාලා කිව්වා හොඳට ඉගෙනගන්න, ජීවිතය හදාගන්න කිව්වා. ඔහු බැඳලා දරුවන් දෙදෙනෙක් ඉන්න කෙනෙක් බව කිව්වා. මම කිව්වා අයියගේ ජීවිතයත් හදාගන්න කියලා.


‍පොලීසිය - ඔහු මොනවද කිව්වේ?
ශිෂ්‍යාව - හරි නංගි මම මගේ ජීවිතය හදාගන්නම් කිව්වා. විනාඩි 10ක් විතර කතා කරමින් ඉඳලා අපි යන්න හැදුවා. ඔහු අපේ අම්මා, තාත්තගේ කකුල් දෙක අල්ලලා වැන්දා. සමාව දෙන්න කිව්වා එයා අතින් යම් වරදක් වුණා නම්. අපි වාහනය ළඟින් ඉවත් වෙලා ආපසු යන්න ගියා.


මීටර් 10ක් විතර යනකොට එකපාරටම වගේ ට්‍රාන්ස්‍පෝමරයක් පිපිරුණා වගේ ශබ්දයක් වාහනයෙන් නිකුත් වුණා. දුමකුත් ගියා. අම්මටයි මටයි ඒ වෙලාවේ කෑගැහුණා. තාත්තා කිව්වා මොනවා හරි වෙලා අපි ‍පොලීසියට ගිහින් කියමු කියලා. අපි ‍පොලීසිය පැත්තට යනකොට ‍පොලිස් ජීප් එක එතනට එමින් තිබුණා.

‍පොලීසිය - තමන්ගේ පියා කලින් සම්පත් සමග කිසියම් ගනුදෙනුවක් කර තිබුණාද?
ශිෂ්‍යාව - සම්පත් අයියා මම ආශ්‍රය කළ කාලයේදී අපේ තාත්තා එක්ක එකතු වෙලා බිස්නස් එකක් කළා. වරායෙන් බඩු ගෙනැල්ලා වැඩි මිලට විකුණමු කියල තාත්තා රුපියල් ලක්ෂ 13ක් ඔහුට වරින් වර දීලා තිබුණා. එම සල්ලිවලින් රුපියල් ලක්ෂ 10ක් විතර පස්සේ අම්මගේ ‍පොතට දමලා තිබුණා.


 
Related Posts with Thumbnails