Ads 468x60px

.

ලංකාවේ පළමු බස්‌ බෝම්බය පිපිරී හෙටට අවුරුදු විසිපහයි

"බස්‌ එකකට කොටි බෝම්බයක්‌ තියලා බර ගාණක්‌ මැරිලලු ....! ඒ පසුගිය වකවානුවේ ඇතැම් දිනවලදී අපේ රටේ තැන තැන කතා වූ දෙයකි. දෙයියනේ කියලා ඒ කරදරය නම් ඉවරයි. දැන්නම් අපේ රටේ මිනිසුන්ට සිදු වූ බස්‌ බෝම්බ ගැන අමතක වෙලා සැටියි.

මේ ආවර්ජනය කරන්න යන්නේ ලංකාවේ පළමු බස්‌ බෝම්බය ගැනය. දිනය 1986.07.22. ස්‌ථානය වව්නියාව - හොරොව්පතාන මාර්ගයේ මාමඩුව සොහොන්පිටිය අසල. වේලාව උදෑසන හතයි තිහට පමණ. ඉලක්‌කය වව්නියාව ඩිපෝවට අයත් තිරප්පන්මඩුව ලංගම බස්‌රථයයි....ෘ"

"තිරප්පන්මඩුව ලංගම බස්‌ එකට බෝම්බයක්‌ තියලා කියලා ගමේ අය කෑගහගෙන පංසලට එනවා. මමත් එතැනට දුවගෙන ගියා. මගේ ජීවිතේට එහෙම දෙයක්‌ දැකලා තිබුණේ නැහැ. සී.ටී.බී. බස්‌ එක දෙකට කැඩිලා. මිනිස්‌සු හැම තැනම මැරිලා වැටිලා. සමහරු ලේ පෙරාගෙන මරලතෝනි දෙනවා. ඒ විගස හමුදා වාහන එතැනට ආවා. දෙයියනේ මේ මොකද වුණේ කියලා මට අදහගන්න බැරිව ගියා. මට ඉබේම උඩ බැලුනා. අනේ අපොයි .... ගමේ පාසලේ ගුරුතුමියගේ ශරීරය ලයිට්‌ වයර්වල එල්ලිලා තිබුණා. තුවාලකාරයෝ හමුදා වාහනවලින් අරන් ගියා. පැයකට විතර පස්‌සේ ඔන්න එතැනට වර්තමාන විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහත්තයත් ආවා. ඒ එක්‌ක කොබ්බෑකඩුව මහත්තයත් ආවා.

දැනට ගිලන්ව වව්නියාව, විවේකාරාමයේ වැඩ වසන මාමඩුව රජ මහ විහාරාධිපති කල්ලංචියේ රතනසාර හිමියෝ එසේ "දිවයින"ට අතීතය ආවර්ජනය කළහ.

වව්නියාව, දකුණ හිටපු විශ්‍රාමික සහකාර ප්‍රාදේශීය මහ ලේකම් එන්. ජී. කුලරත්න (69) මහතා එවකට ජ්‍යෙෂ්ඨ ලිපිකරුවෙකි. මේ ඔහුගේ මතකයයි. "මම හැමදාම අග්බෝපුර ගමේ ඉඳලා වැඩට යන්නෙ බස්‌ එකට නගින්නේ. එදා බස්‌ එකේ සෙනග හිට ගෙනත් සිටියා. බස්‌ එක මාමඩුව සොහොන්පිටිය ළඟට යද්දී එකවරම පිපුරුම් ශබ්දයක්‌ වගේ ඇසුණා. මට එච්චරයි මතක. සිහිය එද්දී මම සිටියේ අනුරාධපුර මහ රෝහලේ. මට සිහිය නැතිව දවස්‌ පහක්‌ රෝහලේ ඉඳලා තියෙනවා. පසුව මම දැනගත්තා කොඳු ඇට පේළිය පුපුරලා කියලා. බස්‌ එකේ ආව තිස්‌ දෙකක්‌ එතැනම මිය ගියා කියලා ආරංචි වුණා. මාත් එක්‌ක දාහතර දෙනෙක්‌ තුවාල වෙලා සිටියා. මාමඩුවේ දික්‌වැව කැළේ සති ගාණක්‌ කොටි රැකලා ඉඳලා මේ බස්‌ බෝම්බය අටවලා තිබුණා. බස්‌ එකේ වැඩ කළේ දෙමළ ඩ්‍රයිවර් කෙනෙක්‌ සහ කොන්දොස්‌තර කෙනෙක්‌. මේ දෙන්නාම බේරුණා. හැබැයි ඩ්‍රයිවර්ගේ සිහිය විකල්වෙලා පිස්‌සු හැදිලා සිටියා කියලා ආරංචි වුණා. මම සනීප වෙලා ගෙදර ආවා. ගම අතහැරලා ගියෙත් නැහැ. දරුවෝ අතරමං කළෙත් නැහැ. දරුවන්ට කලබල අස්‌සේ හොඳට ඉගැන්නුවා. අද දරුවෝ හතර දෙනා රටේ ඉහළ තැන්වල ඉන්නවා. උතුරේ යුද්ධය ඇතිවුණේ සංවර්ධන කටයුතු උතුරට නොගිය නිසයි. හැබැයි දැන්නම් තත්ත්වය වෙනස්‌ වෙලා. උතුරු පළාතෙත් දැන් සංවර්ධන කටයුතු සිදුවෙනවා. ඒක යහපත් දෙයක්‌. හැබැයි කියන්න කනගාටුයි අපිට මෙච්චර අනතුරක්‌ වෙලත් වන්දියක්‌ නම් තවම ලැබුණේ නැහැ."

ගාමිණී පියරත්න (50) මහතා - "ඔය සිද්ධිය වෙද්දී මට වයස අවුරුදු විසිපහයි. අපි ගමේ තරුණයෝ ටික දෙනා බෝම්බේ ශබ්දයට සිද්ධිය වුණ තැනට ගියා. ජීවිතේ පළමු වතාවටයි එහෙම සිද්ධියක්‌ දැක්‌කේ. අපේ ගම්වල අහිංසක මිනිස්‌සු තිස්‌ දෙදෙනෙක්‌ ඉන් මියගියා. තිරප්පන්මඩුවේ, මාමඩුවේ, අග්බෝපුර හැම ගමකම මළ ගෙවල්. දැන් වගේ ඒ දවස්‌වල බැකෝ තිබුණේ නැහැ. මියගිය තිස්‌ දෙදෙනා එකම තැන භූමිදානය කරන්න ලොකු වළක්‌ කැපුවේ බොහොම අමාරුවෙන්. ඒ සිද්ධියෙන් පස්‌සේ මළගමට ආව නෑදෑයන් ගිය බස්‌ එකට පූනෑවේදී බස්‌ බෝම්බයක්‌ (1986.07.24) තියලා දාහත් දෙනෙක්‌ මියගියා. ඊට පස්‌සේ අපේ ගම්වල වැසියෝ ගම්මාන අතහැරලා යන්න පටන් ගත්තා. ගම්වල ඉතුරු වුණේ ටික දෙනයි. අපි නම් ගම අතහැරලා ගියේ නැහැ. ඒ දවස්‌වල අපේ ගම්වල දැනුනේ මහ පාලු මූසලකමක්‌. රෑට වෙඩි ශබ්දය ඇහෙනවා. ඒ වෙලාවට බල්ලෝ කෑ ගසනවා. ඊට අමතරව ඇහෙන්නේ රැයියන්ගේ හඬ. ඒ අතරේ ඇවිදින සීනු හඬක්‌ ඇහෙනවා. එතකොට අපි දන්නවා ඒ එන්නේ පංසලේ ලොකු හාමුදුරුවෝ කියලා. මාමඩුව පංසලේ සිටියා ලොකු බැල්ලියක්‌. ඒ බැල්ලියගේ බෙල්ලේ සීනුවක්‌ බැඳලා තිබුණා. ඉතින් ලොකු හාමුදුරුවන්ගේ ආරක්‍ෂාවට ඒ බැල්ලි හාමුදුරුවන් ඉස්‌සරහින් ගමන් කරනවා. ඒ විදිහට ලොකු හාමුදුරුවෝ ගම වටේට රාත්‍රියට ඇවිදිනවා. ඒ ගමට කොටි ගහයි කියලා. ලොකු හාමුදුරුවන් හැම වේලාවෙම ගම ආරක්‍ෂා කරන්න කටයුතු කළා. දැන් ලොකු හාමුදුරුවෝ ගිලන් වෙලයි ඉන්නේ.

අඹගහවැව පද්මසිරි (47) මහතා - "එදා අපේ අම්මා බස්‌ එකට නංවලා මම පුංචි අම්මලාගේ ගෙදර ගියා. විනාඩි පහක්‌ විතර යද්දී ලොකු ශබ්දයක්‌ ඇසුනා. ඒ දවස්‌වල අපි එහෙම ශබ්ද අහලා තිබුණේ නැහැ. මට වයස ඒ දවස්‌වල අවුරුදු විසි දෙකයි. අපි ශබ්දය ඇසුන දෙසට ගියා. බලපුවාම සීටීබී බස්‌ එක දෙකට කැඩිලා. හැම තැනම මළ සිරුරු. මම අපේ අම්මාව සෙව්වා. මීටර් දහයක්‌ විතර ඈතට අම්මාව විසිවෙලා සිටියත් තුවාල මොනවත් තිබුණේ නැහැ. අම්මාට සිහිය තිබුණේ නැහැ. ඒ වෙලාවේ හෙළිකොප්ටරයක්‌ ආවා. ඒකේ අවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. අනෙක්‌ ලෙඩ්ඩුත් එක්‌ක අපේ අම්මාවත් අනුරාධපුරයට අරන් යන්න හෙළිකොප්ටරයට ගොඩ කළා. අම්මාට සිහිය ඇවිල්ලා තිබුණේ අනුරාධපුර මහ රෝහලේදීයි. එවැනි සිද්ධි නැවත ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා."

කුරිරු ත්‍රස්‌තවාදීන් නිසා යුද්ධයක්‌ ඇති වී අපේ රටේ පළමු බස්‌ බෝම්බය ලෙස සැලකෙන මාමඩුව බස්‌ බෝම්බ සිද්ධියයි. එසේ මාමඩුව බස්‌ බෝම්බයෙන් මියගිය තිස්‌දෙදෙනාට පිං පතා දානමය පිංකමක්‌ පසුගිය 14 වැනිදා මාමඩුව රජමහා විහාරස්‌ථානයේදී සිදුකෙරිණි.
 
Related Posts with Thumbnails