සෝමදාස සහ නන්දාවතී විවාහ වූයේ ප්‍රේම සම්බන්ධතාවකිනි. කලක් ගත වන විට මේ දෙදෙනා දරු දෙදෙනකුගේ මවුපියෝ වූහ. හතර දෙනෙකුට ජීවත් වෙන්න තරම් තමා කරන සුළු රැකියාවෙන් අමාරු නිසා සෝමදාස යහළුවකුගේ මාර්ගයෙන් විදේශ ගත විය. වසර 4 ක් පමණ සෝමදාස විදේශ ගතව සිටියේ ය.
නොකා නොබී වගේ සෝමදාස හරි හම්බ කළ රුපියල් ලක්‍ෂ 50ක විශාල මුදලක් නන්දාවතීට එව්වේ දරු දෙදෙනා සමඟ සැප සම්පන්න ජීවිතයක් ගත කිරීමේ පරම අභිලාසයෙනි.
මේ අතර සෝමදාසගේ යහළුවෙක් හිතවත් කමට වගේ නන්දාවතී ගේ ගෙදරට නිතර, නිතර, යාම් ඊම් කිරීම නිසා දෙදෙනා අතර කිට්ටු සම්බන්ධයක් ඇතිවුණි. මෙය ප්‍රේම සම්බන්ධයක් බවට පෙරළුණි. සෝමදාස දහ දුක් විඳ එවන මුදල් සෝමදාසගේ යහළුවා වන පියදාස සමග විනෝද සවාරි යන්න නන්දාවතී වියදම් කළේ කිසිම ලෝබකමක් නැතිව ය.
දිනක් හදිසියේම සෝමදාස ලංකාවට පැමිණියේ ය.
මෙච්චර කාලයක් තමා දුක් විඳ හම්බ කළ මුදල් පමණක් නොව බිරිය සතුව තිබූ කන කර රත්තරං අබරණ පවා සිය බිරිය අනියම් සැමියා සමග නොහොබිනා ගමන් බිමන් යාමට නැති නාස්ති කර ඇති බැව් සෝමදාස තේරුම් ගැනීමෙන් අනතුරුව දෙදෙනා ගේ ආරවුල බේරා ගැනීමට ඔවුනට පොලීසි යාමට සිදු විය.
දෙදෙනාම ජා-ඇළ පොලීසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ. එම්. එස්. අධිකාරි මහතා වෙත සෝමදාස කරුණු කාරනා කියා සිටියහ.
නන්දාවතී ඇඬූ කඳුලින් තමා ලොකු වරදක් කර ඇති බව පිළිගත්තාය. තමන්ට මවුපිය උරුමයෙන් ලැබුණු ඉඩමක් විකුණා සෝමදාසට තමන් අනියම් සැමියා සමඟ නැති නාස්ති කළ සියලුම මුදල් දීමට පොරොන්දු වූවා ය.
පොලිස් ස්ථානාධිපතිගේ අවවාද කෙරෙහි පැහැදුණු නන්දාවතීගේ නීත්‍යානුකූල සැමියා වන සෝමදාස ඇය වරද පිළිගත් නිසා සියල්ලම අමතක කර අලුත් ජීවිතයක් ගත කිරීමට කැමැති විය.