Ads 468x60px

.

ඊයේ (18 ) ගල්කිස්‌ස පාසල් වෑන් බස්‌ රථ ගැටුම වුනේ මෙහෙමයි

ත්‍රිරෝද රථයෙන් මා මගේ දරුවාව පාසලට රැගෙන යමින් සිටියා. මා ගියේ ගාලු පාරේ ගල්කිස්‌ස දෙස සිට දෙහිවල දෙසටයි. ඒ යන විට ගල්කිස්‌ස ඕඩියන් සිනමා ශාලාව අසලදී මගේ ත්‍රිරෝද රථය පසුකර අධික වේගයෙන් ඉදිරියට ධාවනය වූ පාසල් දරුවන් රැගත් වෑන් රථයක්‌ විරුද්ධ දිසාවෙන් ආ පෞද්ගලික බස්‌ රථයේ හැපුණා...


ගල්කිස්‌ස, ඕඩියන් සිනමා ශාලාව අසලදී ඊයේ (18 වැනිදා) පෙරවරු 6.20 ට සිදුවූ පාසල් වෑන් රථ - මාර්ග අංක 155 පෞද්ගලික බස්‌ රථ ගැටුමින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නවදෙනකු හා වෑන් රථ රියදුරු තුවාල ලැබීමේ සිද්ධිය ඇසින් දුටු ත්‍රිරෝද රථ රියෑදුරකු වන සුජීව ද සිල්වා මහතා (42) එසේ පැවසීය.

මෙම අනතුරින් තුවාල ලැබූ සචිනි (වැල්ලවත්ත ශාන්ත ලෝරන්ස්‌ විදුහල), ප්‍රභාෂ (කොළඹ ආනන්ද විදුහල), සෙනිත් (කොළඹ නාලන්ද විදුහල), චමෝද් දේවංජන (කොළඹ ආනන්ද විදුහල), කවිඳු (කොළඹ නාලන්ද විදුහල), නෙත්මි (කොළඹ විශාඛා විදුහල), මල්කි (කොළඹ ගෝතමී විදුහල), කනිෂ්ක (කොළඹ නාලන්ද විදුහල) සහ වෑන් රථ රියෑදුරු වන චාමර සඳරුවන් යන නවදෙනා කළුබෝවිල දකුණු කොළඹ ශික්‌ෂණ රෝහලට ඇතුළත් කර තිබුණු අතර කොළඹ තර්ස්‌ටන් විදුහලේ දිමන්ත ශිෂ්‍යයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

රෝහල් ගතකළ පාසල් සිසුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ප්‍රකාශකයෙක්‌ පැවසීය. සිද්ධිය ඇසින් දුටු ත්‍රිරෝද රථ රියෑදුරු වන සුජිව ද සිල්වා මහතා මෙසේද කීය.

"මේ සිද්ධිය වන විට (18 වැනිදා) උදේ 6.20 ට විතර ඇති. මම ගල්කිස්‌සේ ඉඳලා දෙහිවලට ත්‍රිරෝද රථයෙන් පැමිණෙමින් සිටියා. ඒ මගේ දරුවාව පාසලට ඇරලවීම සඳහායි. ඒ යන විට ගල්කිස්‌ස ඕඩියන් සිනමා ශාලාව අසලදී මගේ ත්‍රිරෝද රථය පසුකර පාසල් දරුවන් රැගත් වෑන් රථයක්‌ අධික වේගයෙන් යනවා දැක්‌කා. වෑන් රථය මාර්ගයේ තුන්වැනි තීරුවේ ගියේ. 


වෑන් රථය ගිය වේගයට මට බයත් හිතුණා. ඒ සමගම දෙහිවල පැත්තේ ඉඳලා ගල්කිස්‌ස දෙසට ආපු පෞද්ගලික බස්‌රථයේ හැපුණා. ඒ එක්‌කම වෑන් රථයේ දකුණු පැත්තේ රෝදය ද ගැලවී ගියා. ඒ සමගම වෑන් රථය දකුණට බරවෙලා ගිහින් අසල තිබූ කොන්ක්‍රීට්‌ කණුවක්‌ ළඟ නතර වුණා. පසුව මා ත්‍රිරෝද රථය අයින් කර නවතා ගොස්‌ බලන විට පාසල් දරුවන් ගමන්ගත් වෑන් රථය පොඩි පට්‌ටම් වී තිබුණා. 

වෑන් රථයේ දරුවන් විලාප තබමින් සිටියා. පසුව වෑන් රථයේ සිටි දරුවන් ඉවතට ගත්තා. ඔවුන් බොහෝ දෙනකු ලේ ගලන තුවාල සහිතවයි හිටියේ. අනතුරුව අවට සිටි අයද එකතුව දරුවන්ව වාහනවල දමා රෝහලට පිටත් කර හැරියා.

අනතුරින් තුවාල ලබා කළුබෝවිල දකුණු කොළඹ ශික්‌ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ ආනන්ද විදුහලේ චමෝද් දේවංජන ශිෂ්‍යයා මෙසේ පැවසීය.

"මම ආනන්ද විදුහලේ අටවැනි වසරේ ඉගෙන ගන්නවා. මං පාසලට එන්නේ මොරටුව ඉඳලා. මං ආපු පාසල් වෑන් රථයේ ඩ්‍රයිවර් අංකල් ඉදිරියෙන් ගිය පාසල් වෑන් රථය සමග රේස්‌ එකේ ආවා. වෑන් දෙකම ඉතා අධික වේගයෙන් ගියා. ඒ යන විට මට වෑන් රථයේ දී නින්ද ගියා. ඒ සමගම යමක්‌ ගැටෙන ශබ්දයක්‌ ඇහුණා. මට එච්චරයි මතක. මට සිහිය එන විට රෝහල් ඇඳක්‌ උඩයි හිටියේ.

නම පැවසීමට අකමැති වූ තුවාල ලැබූ ශිෂ්‍යයකුගේ පියෙක්‌ මෙසේ කීය.

"මේක තනිකරම මේ රියෑදුරාගේ නොසැලකිල්ල නිසයි වෙලා තියෙන්නේ. පොඩ්ඩක්‌ හිතන්න ඕන නේද මේ අරන් යන්නේ පාසල් යන දරුවන් කියලා. මේ රේස්‌ එක තමයි හෙනේට හිටියේ. දැන් බලන්න දෙමාපියන් වන අප කොච්චර අසරණ වෙලාද කියලා..."

පාසල් වෑන් රථ පදවන රියෑදුරන් ලියාපදිංචි කළාට වැඩක්‌ නැහැ. ඒ අයට හොඳ පුහුණුවක්‌ දැනුවත් කිරීමක්‌ පොලිසිය මගින් කිරීම ඉතා වැදගත්. කළුබෝවිල දකුණු කොළඹ ශික්‌ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලැබූ වෑන් රථ රියෑදුරු ගල්කිස්‌ස පොලිසිය මගින් රැගෙන යනු දක්‌නට ලැබිණි. මෙම රිය අනතුර වෑන් රථ රියෑදුරාගේ නොසැලකිල්ල නිසා සිදුවී ඇතැයි පොලිස්‌ පරීක්‌ෂණවලින් අනාවරණය විය.

ගල්කිස්‌ස කොට්‌ඨාශ භාර පොලිස්‌ අධිකාරි රවීන්ද්‍ර කරවිට මහතාගේ අධීක්‌ෂණය යටතේ ගල්කිස්‌ස මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක කමල් පුෂ්පකුමාර මහතාගේ උපදෙස්‌ මත රථවාහන විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක දිලීප පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‌ෂණ පැවැත්වේ.
 
Related Posts with Thumbnails