Ads 468x60px

.

පුෂ්පිකාගේ ආශාව

2011 වසරේ ශ්‍රී ලංකා රූ රැජන වූයේ ඇයයි. එම වසරේ ම විශ්ව රූප රැජන තරගය සඳහා ඇය ශ්‍රී ලංකාව නියෝජනය කළා ය. පසුගියදා චීනයේ පැවති Miss tourism Queen international තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් ලබාදෙන්නට ඇයට හැකි වූවා ය. ඇය පුෂ්පිකා සඳමාලි ද සිල්වා ය.





ඔබට ලැබුණු ජාත්‍යන්තර ජයග්‍රහණය පිළිබඳ මුලින් ම කතා කරමු...
පසුගියදා පැවැති Miss tourism Queen international තරගාවලියේ Best national costume අංශයෙන් කිරුළ හිමි වුණේ මට. මේ කිරුළ ශ්‍රී ලංකාවට ලැබුණු පළමු අවස්ථාව මේක. මෙම තරගාවලියට රටවල් 92 ක් සහභාගි වුණා. එහිදී Miss tourism Queen international සමස්ත තරගාවලියෙන් 13 වැනි ස්ථානය හිමි වුණේ මට. මේ ජයග්‍රහණය හිමි වුණේ මගේ රටට. ඒ නිසා මම ගොඩක් සතුටු වෙනව. රටට මෙවැනි ජයක් ලබාදීමට හැකිවීම පිළිබඳ.

මෙවැනි ජයග්‍රහණයක් අපේ රටට කොතරම් වැදගත් ද?
කිසියම් රටක් ලෝක මට්ටමේ තරගාවලියකට ඉදිරිපත් වුණු පසුව, එවැනි තරගයකින් ජයගත් පසුව ඒ රට පිළිබඳ මුළු ලෝකයම කතාබහට ලක්වෙනවා. ඒ රට පිළිබඳ සොයා බලන්න; ඒ රටට යන්න ලෝකයේ අනෙක් රටවල ජනයා පෙලඹෙනවා.

මේ තරගාවලියේදී මා ලද ජයග්‍රහණයත් සමඟම අපේ රටටත් ඒ අවස්ථාව උදාවුණා කියලයි මට හිතෙන්නෙ. මේ තරගාවලියේදී රටවල් 112 කට අවස්ථාව උදාවුණා තම රටේ සංචාරක ව්‍යාපාරය, රටේ සුන්දර ස්ථාන, ඓතිහාසික ස්ථාන පිළිබඳ ලෝකයටම හඳුන්වා දෙන්න. මට ලැබුණු එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ලබාගන්න මට හැකිවුණා කියලයි මම හිතන්නෙ.

මෙවැනි ලෝක මට්ටමේ තරගාවලියකින් ප්‍රධාන ජයග්‍රහණයක් ලබාගන්න අපට හැකියාව තියෙනව කියල ඔබ හිතනවද?
Miss tourism Queen international කිරුළ හිමි කර ගන්න ඇත්තටම මට අවස්ථාව තිබුණා. ඒත් ඉතා සියුම් ලෙස ඒ ජයග්‍රහණය මගෙන් ගිලිහුණා.මේ තරගාවලියේ දී තිබුණා ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් අන්තර්ජාලය හරහා. ඒ ඩොලර්වලින් මුදල් භාවිතා කරමින්. ඒ තරගයට මා වෙනුවෙන් කවුරුත්ම ඡන්දය ප්‍රකාශ කරල තිබුණේ නෑ. එහිදී ජයග්‍රහණය කළේ වියට්නාමය. මට ඡන්දය ප්‍රකාශ කරල තිබුණා නම් Miss tourism කිරුළ අපේ රටට ගේන්න මට අවස්ථාව තිබුණා.

මේ තරගාවලියට සහභාගි වීමේදී බොහෝ දෙනෙක් ඔබට උදව් කරන්න ඇති?
ඇත්තෙන් ම ඔව්. මගේ පවුලේ උදවිය, මේනුක වික්‍රමාරච්චි, මයිකල් විජේසූරිය, වාසනා දන්තනාරායන ඇතුළු විශාල පිරිසකුත් සංචාරක මණ්ඩලයත් මට උපකාර කළා.

මෙවැනි ජයග්‍රහණයක් ලැබීම ඔබේ සිහිනයක් සැබෑ වීමක් ද?
ශ්‍රී ලංකාව තුළ රූප රැජනියක් වීම සහ ලෝක මට්ටමේ එවැනි තරගාවලියකින් ජයග්‍රහණයක් ලැබීමට මම පුංචි කාලෙ පටන් සිහින මැව්වා. ඒ හීනය දැන් සැබෑ වෙලා තියෙනව. මගෙ ආශාව මුළු ලෝකෙම දිදුලන රූප රැජනක් වීමයි.

මෙවැනි තරගාවලියක් ජයගැනීමට රූපය පමණක් ප්‍රමාණවත් ද?
නැහැ. මෙවැනි තරග ජයගන්න රූපය වගේම දැනුම, බුද්ධිය, පෞරුෂය, ආත්ම විශ්වාසය වැනි සාධක රාශියක් සම්පූර්ණ වෙන්න ඕන.

ඔබේ පෞද්ගලික තොරතුරු පිළිබඳ කතා කළොත්...
මගෙ ගම පොළොන්නරුව. මම පවුලේ බාලයා. මට අක්කල දෙන්නෙකුයි අයිය කෙනෙකුයි ඉන්නව.අම්ම ගෘහණියක්. මගෙ තාත්තා ව්‍යාපාරිකයෙක්. ඔහු ඩැනියෙල් ද සිල්වා. බොහෝ දෙනෙක් හඳුනන්නෙ ජයරත්න නමින්. මගෙ තාත්තා තමයි සහල්වලින් ගල් වැලි ඉවත් කරන යන්ත්‍රය නිර්මාණය කළේ. ඔහු නව නිර්මාණයක් රටට දායද කළ කෙනෙක්. මගෙ තාත්ත මට වීරයෙක්. මගෙ තාත්තාගෙ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකාවක් ලෙස මම වැඩ කරනවා.


ඔබේ වැඩ කටයුතුවලට පවුලේ අයගෙන් සහයෝගයක් ලැබෙනවද?
මගෙ පවුලේ සියලු දෙනාගේ ම සහයෝගය උදව්ව නැතිනම් මට මේ තැනට එන්න ලැබෙන්නෙ නෑ. මගේ පවුලේ උදවිය ගැන මට විශාල ගෞරවයක් තියෙනවා.

ඔබ සතු වෙනත් හැකියාවන්...?
ගීත ගයන්න, නර්තනයට මම දක්ෂයි. ඒ වගේ ම හොඳින් රිය පදවන්නත් මට පුළුවනි.

රංගනයට එන්න බලාපොරොත්තුවක් නැතිද?
මේ වනවිට ඇරයුම් කීපයක් ලැබිල තියෙනවා. හොඳ චිත්‍රපටයකට දායක වෙන්න මම කැමැතියි.

ඔබේ ආගම?
මම අදහන්නෙ බෞද්ධාගම. මගෙ අම්මා තාත්තා දෙන්නම විවාහයට පෙර බෞද්ධයින් නෙමෙයි. විවාහයෙන් පසුව ඔවුන් බෞද්ධාගම අදහන්න පටන් අරගෙන තියෙනවා.

මොනවගේ අනාගත බලාපොරොත්තු ද ඔබට තියෙන්නෙ?
බලාපොරොත්තු රැසක් ම තියෙනවා. මගෙ තාත්තාගෙ ව්‍යාපාරය ජාත්‍යන්තර තලයට ගෙනියන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.ඒ වගේ ම මා ලද ජයග්‍රහණ වගේ ම ජයග්‍රහණ ලබාගත හැකි සුරූපී, දක්ෂ, බුද්ධිමත්, තරුණියන් ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉන්නවා.ඔවුන්ගේ හැකියාව වර්ධනය කරගැනීමට උදව් වෙන්නත් මෝස්තර නිරූපණය පිළිබඳ පාසලක් ආරම්භ කරන්නත් මගෙ බලාපොරොත්තුවක් තියෙනව. ඒ වගේ ම මගේ නමින් රූපලාවණ්‍ය නිෂ්පාදනයක් වෙළෙඳ පොළට ඉදිරිපත් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.
 
Related Posts with Thumbnails