Ads 468x60px

.

මම ඔය විවිධ කටකතා දකින්නේ මාව තවත් ජනප්‍රිය කරවනවා කියලයි - මේනක

මෙවර අපි කැඳවාගෙන එන්නේ පුංචි තිරයේ ජනපි‍්‍රය නළුවා ලෙසින් වසර කිහිපයක් ම සම්මානයට පාත්‍රවුණ රංගන ශිල්පියෙක්. කලා ක්ෂේත්‍රයට අවතීර්ණව ඉතාම කෙටිකලකින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඔහු මීට පෙර නම් දරා සිටියේ පිහිනුම් ශූරයකු ලෙසයි. විටින් විට විවිධ පුවත් මවන චරිතයක් ලෙස ද බොහෝ දෙනාගේ කට කතා වලට ලක්වන මේනක රාජපක්ෂ හා පසුගිය දවසක කළ පිළිසඳරයි මේ.මේනක මේ දවස්වල ගත කරන ජීවිතේ ගැන කතා කරලම මේ කතා බහ පටන් ගමු.


වෙනදට වඩා මේ දවස්වල ටිකක් කාර්ය බහුල ජීවිතයක් මට තියෙන්නේ. විශේෂයෙන් ම ‘සිහින පියාපත්’, ‘ආදරේ අහස තරම්’, ‘සල්මල් සුගන්ධය’, ‘තරු පිරි අහසක්’ හා ‘වක්‍ර’ කියන ටෙලිනාට්‍යයවලට මම රංගනයෙන් දායක වෙනවා. ඒ වගේ ම මේ මාසේ අවසානයේ තවත් නිර්මාණයක් වෙනුවෙන් විදේශ ගත වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නේ.

මේනක රාජපක්ෂ කියන රංගන ශිල්පියා ගැන අපි කතා කළොත් ඔබ ඔහුව දකින්නේ කොහොමද?
මම මේනක රාජපක්ෂ දකින්නේ වංක පුද්ගලයෙක් විදිහට නෙමෙයි. ඔහු සාමාන්‍ය සරල මනුෂ්‍යයෙක්. අනෙක් දේ කෙළින් කතා කරන්න පුළුවන් මනුෂ්‍යයෙක්. මම දකින විදිහට ඔහු කැමරාව ඉදිරියේ නළුවකු වුණා. සාමාන්‍ය ජීවිතයේ දී නළුවකු නෙමෙයි සාමාන්‍ය මනුෂ්‍යයකු පමණයි.

ජනප්‍රියත්වය කියන දේ ඔබ දකින්නේ කොහොමද?
ඔව් ජනප්‍රියත්වය හොඳයි ඒ වගේ ම නරක වෙන වෙලාවනුත් තියෙනවා. මම හිතන්නේ එය සාපේක්ෂයි. නමුත් මම ජනප්‍රියත්වය කියන දෙයින් අයුතු ප්‍රයෝජන ගන්න සූදානම් නැහැ. අද කලාවේ පිහිටෙන් ජනප්‍රියත්වය අරගෙන යම් යම් අය විවිධ දේ කරනවා. නමුත් ඒක අපරාධයක් විදිහට මම දකිනවා මිසක් ඒ දේවල් මට අදාළ නැහැ. ජනප්‍රියත්වය කියන දේ ඉතාම කෙටි දෙයක්. ඒ නිසා අපි හරියට ඒ කාලය තුළ හැසිරුනොත් දිගු ගමනක් යන්න පුළුවන්.

ඔය ජනප්‍රියත්වය ඔබට හරහට හිටපු අවස්ථා තියෙනවද?
ඔව්. එහෙම අවස්ථා නැහැ කියන්න බැහැ. නමුත් ඉතින් සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදිහට ජීවිතය ගත කරන්න පුළුවන් වෙලා තියෙනවා.

රංගන ශිල්පියකු වීම පිළිබඳ ඔබ සෑහීමකට පත්වෙනවාද?
සත්තකින් ම ඔව්. ඇයි ඔබ එහෙම අහන්නේ.

රංගනය හරහා ජීවිතයට ස්ථාවරයක් ගොඩනඟා ගන්න පුළුවන් වාතාවරණයක් අපේ කලාව තුළ තියෙනවද කියලයි මම අහන්නේ.
කෙළින් උත්තරයක් දෙන්නම්.
ඔව් කියලා. මොකද බොහෝ දෙනෙක් හිතා ඉන්නේ මේ තුළින් ස්ථාවරයක් ගොඩ නඟා ගන්න අමාරුයි කියන එක. මම හිතන්නේ ඔය දේ ඕනෑම ක්ෂේත්‍රයකට අදාළයි. පෞද්ගලික අංශයට වුණත් එහෙමයි. අද බොහෝ රංගන ශිල්පීන් කියන්නේ තමන් ගේ හොබි (විනෝදාංශයට) එකට රඟපානවා කියලයි. මම එහෙම කියන්න ලෑස්ති නැහැ. මම චරිත වලට හරිම පෙරේතයි. ඒනිසා හරිම ආසාවෙන් මම රඟපාන්නේ. එහෙම නැතුව කලාව කියන්නේ හොබි එකක්වත් එක එක්කෙනාගේ ඕනෑ එපාකම් පිරිමහන දෙයක්වත් නෙවෙයි.

නමුත් අද වත්මන් පරපුරේ හැකියාවන් ඉස්මතු වෙන්නේ නැහැ කියලා චෝදනාවක් තියෙනවනේ.
සමාජයේ යම් මතයක් තියෙනවා අපේ අතීතයේ හිටපු රංගන ශිල්පීන් විතරයි හරි දෙයක් කළේ කියලා. නමුත් මම කියන්නේ අද තරුණ පරම්පරාවත් බොහෝ දුරක් ඇවිත් ඉන්නේ. මුල් කාලයේ සිනමාව පමණයි තිබුණේ. නමුත් එය රූපවාහිනිය ආක්‍රමණය කළා. ඒ නිසා එදා අතලොස්සක් වූ රංගන ශිල්පීන් අතරට රූපවාහිනිය නිසා බොහෝ දෙනෙක් පැමිණියා. අද අවස්ථා වැඩියි. තරගකාරිත්වය වැඩියි. හරි දේ කරන පිරිසක් අතර තමයි මේ ක්ෂේත්‍රයේ චරිත බෙදිලා යන්නේ. මට තියෙන ප්‍රශ්නේ ඇයි අතීතයේ හිටපු පිරිස් දිහාම හැරිලා ඉන්නේ කියන එකයි. ගාමිණී, විජය, ජෝ, ජෝතිපාලලා අද පරම්පරාවේ නැද්ද?

ඔය එකතුවෙන අලුත් පරම්පරාව නිසාම පසුගිය කාලේ විවිධ පුවත් අපිට අහන්නත් ලැබුණනේ.
මුලින් ම කියන්න ඕන ඔහොම හමුවුණ කිසිම කෙනෙක් රංගන ශිල්පීන් හෝ ශිල්පිනියන් නෙමෙයි. ඉතිං මේ දේට ඍජුව ම වග කියන්න ඕන මාධ්‍ය. කුමක් හෝ කෙනෙක් ගැන තරාතිරමක් නොබලා කලාකරුවෙක් කියලා කියනවා. මම නම් හිතන්නේ අද රංගන ශිල්පියාව හඳුනාගන්න අනන්‍යතාවක් නැහැ. ඒකයි ඔය හැම දේටම ප්‍රශ්නේ.

ඔබ පිළිබඳවත් විවිධ කටකතා ප්‍රවෘත්ති නිතර පුවත්පත්වල අන්තර්ජාලයෙන් අපි දකිනවා.
ඔව්. ඔය දේවල් මම දකිනවා. මට නම් හිතෙන්නේ මාව තවත් ජනප්‍රිය කරවන්න මේ දේවල් උනන්දු වෙනවා කියලයි. අන්තර්ජාලයේ විවිධ වෙබ් සයිට් තිබෙනවා. ඒ වගේ විවිධ දේවල් පළවෙන්නේ මගේ නමට කරන සේවයක් විදිහටයි මම ඔය විවිධ කතා දකින්නේ. මම ගැන ඔය විදිහට නිතර හොයලා බලන එකත් මොන තරම් දෙයක් ද?

හැබැයි ඉතිං ගින්නක් නැතුව දුමක් නඟින්නේ නැහැනේ.
කෙනකුට එහෙම කියන්න පුළුවන්. හැබැයි අපි ඔය දකින හැමදේම ඇත්තද? අද කාලේ හැම තැනම දුම් නඟින්නේ ගින්නක් නැතුව තමයි.

ඉතිං ඔබට පුළුවන්නේ ඔය අසත්‍ය ප්‍රචාර ගැන යම් නීතිමය පියවරක් ගන්න.
මෙහෙමයි ඔය දේවල් වෙනුවෙන් රස්තියාදු වෙනවට වඩා මට කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වෙනුවෙන් යොදවන්න කාලයකුත් මට නැහැ. ඔය යන දේවල් ඇත්ත නැත්ත මගේ රසිකයන් දන්නවා.

අවසන් වශයෙන් මේනක රාජපක්ෂගේ ඉටු නොවුණ සිහිනය මොකක්ද කියලා මම අහන්නම්.
රංගන ශිල්පියෙක් විදිහට මම නිහතමානීව යම් දුරක් ඇවිත් තියෙනවා. නමුත් මම තවමත් මගේ රංගන හැකියාව අගයමින් සම්මානයක් ලබලා නැහැ. කවදා හෝ දවසක මගේ රංගනය උදෙසා නළුවකු ලෙස ඇගයීමක් ලැබුණොත් ඒක තමා මා ලබන ලොකුම ජයග්‍රහණය. අදටත් මම දකිමින් ඉන්න සිහිනය එයයි.
 
Related Posts with Thumbnails