Ads 468x60px

.

මේ දවස් වල අපි කරන වැඩ

ප්‍රවීණ ගායන ශිල්පී හරූන් ලන්ත්‍රා යුවළ ඉල්ලා සිටියේ ඔවුන් සතු නිවහනට නීත්‍යානුකූල ඔප්පුවක් ලබා දෙන ලෙසටයි.මේ දෙදෙනාගේ ඉල්ලීම් පිළිබඳව මුල සිටම සිය අවධානය යොමු කරමින් සිටි ප්‍රවීණ නළු සනත් ගුණතිලක ඔවුන්ට කතා කර ඒ සඳහා මැදිහත් වීමට ඔවුන්ගේ අත්සනින් යුතු ලිපියක් ගෙන්වා ගත්තා.
ඔහු මේ ලිපියත් සමඟ අදාළ ලියකියවිලි නිවාස අමාත්‍යතුමා වෙත යොමු කර තිබුණා. එහෙත් සනත් ගුණතිලකයන් පෙරළා අපට පැවසුවේ ඒ වනවිටත් නිවාස ඇමැති විමල් වීරවංශ මහතා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වී තිබුණ බවයි.


ඇත්තටම හරූන් ලන්ත්‍රා මහතා යොමුකර තිබූ ලිපිය මම නිවාස ඇමැතිතුමාගේ ස්ථිර ලේකම්තුමා වන ආචාර්ය අචල ජයතිලක මහතාට යොමු කළා. එහෙත් ඒ වනවිටත් ඔවුන්ගේ අවධානය ඒ සඳහා යොමු වී තිබුණා.කොහොම වුණත් මේ ප්‍රවීණ කලා ශිල්පියා වෙනුවෙන් කළ මෙහෙයටත්, නිවාස අමාත්‍යාංශයෙන් ඉදිරි කටයුතු සැලසුම් කරලා දෙන එකටත් මේ ක්‍රියාවට මැදිහත්කරුවකු වශයෙන් කටයුතු කරපු මට ලොකු සතුටක්. ඒ පිළිබඳව මේ හැම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා යැයි සනත් පැවසුවා.



සනත් – මල්කාන්තිගෙන් සංගීත දැනුම

සංගීත ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසා නිරතුරුවම කැපවී කටයුතු කරන මහාචාර්ය, සංගීත් නිපුන් සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි කාගේත් ප්‍රසාදයට ලක්වූ කලාකරු යුවළක්.සංගීත ක්‍ෂේත්‍රයේ නවකයින් වෙනුවෙන් මහාචාර්ය සනත් නන්දසිරි රචිත වටිනා ශාස්ත්‍රීය ග්‍රන්ථ ද්විත්වයක් පසුගිය වසරේ එළි දැක්වූවා

සංගීත ක්‍ෂේත්‍රයට නිරතුරුවම අත දෙන මහාචාර්ය සනත් නන්දසිරි ගේ ගාන්ධාරී සංගීත අසපුවට නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඇතුළත් වීමට අවස්ථාව ලබා දෙන්නට මල්කාන්ති සනත් යුවළ සූදානමින් පසුවන බව අපට ආරංචි වුණා.”මේ සංගීත ආශ්‍රමය පිහිටා තිබෙන්නේ පරණ කොට්ටාවේ පළමු පටුමඟේ, ඇඹුල්දෙණිය, නුගේගොඩයි. මේ ඔස්සේ ඉන්දියාවේ භාත්කණ්ඩේ සංගීත විද්‍යාලය සහ විශාරද II යන පරීක්ෂණයන්ට අදාළ ගායනය සහ තබ්ලා වාදනය විෂය නිර්දේශ ඇතුළත් වෙනවා.




”හියුමන් ටච්” හරහා දුලිකා වැඩ ගොඩක

මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයක් නිසාම දුලීකා මාරපන ගැන බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙනවා. ‘මලී’ ටෙලිනාට්‍යයේ ඩිංගිරි අම්මා ලෙස දක්ෂ රංගනයක නියැළෙන දුලීකා සුවිශේෂී කාර්යය කට දායකත්වය ලබාදෙන්නට පෙරමුණ ගෙන ඇති බව අපිට දැනගන්නට ලැබුණා. ඒ නිසාම අපි දුලීකා ඇමතුවා.

”මේ දවස්වල මම රඟපාපු ටෙලිනාට්‍ය පෝලිමක් විකාශය වෙනවා. ඒ වගේම ටෙලිනාට්‍ය විකාශය වෙන්නත් තිබෙනවා. චිත්‍රපට තුනක් පමණ තිරගත වෙන්නට තිබෙනවා. ඒ වගේම ‘ගුරු ගීතය’ නමින් නවතම චිත්‍රපටයක් නිර්මාණය වෙනවා. එයටත් මම දායක වෙනවා. එහි රූගත කිරීම් සඳහා මේ මාසෙ මැදදී නේපාලයට යන්න සූදානම්.

මේ වසරේ විශේෂ සත්කාර්යයකට දායක වෙන්නට මට අවස්ථාව හිමිවුණා. ඒ, මේ රටේ සිටින විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් කැපවී ඔවුන් අළලා වැඩසටහන් කිරීමට මමත් දායක වුණා. ඉදිරියට ඒ ඔස්සේ වැඩ කටයුතු රැසක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

මේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සමාජයට අත්‍යාවශ්‍ය වැඩදායී පුරවැසියන් බවට පත් කරන්න මේ ඔස්සේ අපි බලාපොරොත්තු වෙනවා. නලින්ද පේ‍්‍රමරත්න සමඟ හියුමන් ටච්’ පදනම හරහා මේ වෙනුවෙන් මේ වසරේ වැඩ කටයුතු රැසක් කරන්නට මම බලාපොරොත්තු වෙනවා.




ඇතුගලට පැසසුම්!

මෙවර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත්කර ඇති දින දර්ශනයට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගලට කලාකරුවන්ගෙන් හා විවිධ විද්වතුන්ගෙන් ප්‍රශංසා හිමිව තිබෙනවා. මෙම දින දර්ශනයට ඇතුළත්ව ඇත්තේ රජයේ චිත්‍රපට අංශය නිපදවූ විශිෂ්ට වාර්තා චිත්‍රපට 12 ක ඡායාරූපයි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘වියළි කලාපය ජයගනී’, මහාචාර්ය සිරි ගුණසිංහගේ ‘රන්වන් කරල්’, රැල්ෆ් කීන්ගේ ‘ලංකා උරුමය’ සහ ‘නෙළුම්ගම’, ජූලියෝ පෙට්රෝනිගේ ‘නවදිවිය සහ ‘කන්ද උඩරට’, ඩී.බී. නිහාල්සිංහගේ ‘නිම්නයක හදවත’, තිස්ස අබේසේකරගේ ‘රූප ඡායා’, ජෝර්ජ් වික්‍රමසිංහගේ ‘මීගමුවේ මසුන් මරන්නෝ’, ප්‍රඥාසෝම හෙට්ටිආරච්චිගේ ‘ලංකාවේ තේ ශත සංවත්සරය’, තිස්ස ලියනසූරියගේ ‘දීප්ති’, අර්වින් දසනායක ගේ ‘වනදිවිය’ යන වාර්තා චිත්‍රපටවල ඡායාරූප මේ අතර වෙනවා.

 

ඉමාන් ප්‍රසංගයට ලහි ලහියේ වැඩ

සංගීත කලා ක්‍ෂේත්‍රයට හරවත් ගීත නිර්මාණ රැසක් දායාද කළ නව පරපුරේ ගායන ශිල්පියෙක් සංගීතඥයෙක් විදිහට ඉමාන් පෙරේරාව හඳුන්වන්න පුළුවන්. ඉමාන් ගැන පසුගිය දවස්වල එතරම් කතාබහට ලක් නොවුණු තරම්.
ඒත් ඉමාන් පිළිබඳ අලුත්ම තොරතුරක් අපිට දැනගන්නට ලැබුණා. ඒ ඉමාන් ඔහුගේ ‘ඉමාන් මෙලෝඩියල් වෝකල් ප්‍රෆෝමන්ස්’ සංගීත ප්‍රසංගය සමඟ රටවටා යන්නට සූදානම් වෙනවා කියලයි.

“මම මීට ප්‍රථම ‘ඉමාන් ප්‍රසංගය’ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් විදිහට ආනන්ද විද්‍යාලයේ දී පැවැත්වූවා. එය ඉතා සාර්ථක වුණා. මේ නව වසරේදීත් නව ප්‍රසංග කීපයක් සංවිධානය කරන්නට මම සැලසුම් කර තිබෙනවා. එහි මූලික වැඩ කටයුතුවල තමයි මේ දිනවල මම යෙදිලා ඉන්නේ.ළඟදීම මගේ රසිකයන් හමුවට මේ හරහා මම සමීප වෙන්නට සූදානම්.” ඉමාන් පැවසුවේ රසික ජනතාවට ඉදිරියේදී තිළිණ කරන්නට සූදානම් වෙන ඉමාන් ගී ප්‍රසංගයේ වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසෙන ගමන්.
 
Related Posts with Thumbnails