Ads 468x60px

.

ආදරයට විරුද්ධ වුණ පෙම්වතියට පෙම්වතා පිහියෙන් ඇන්නේ මෙහෙමයි...

අනේ චාමර අයියේ මට කරදර කරන්න එපා...

මට ඉගෙන ගන්න ඉඩ දෙන්න. විභාගය ලියනකම්
මට කල් දෙන්න...

බැහැ... බැහැ....මම කියන දේ අහන්න. ඔයා මම කියන දේ ඇහුවේ නැත්නම් මම ඔයාගේ ෆොටෝ එක කොම්පියුරටයට දාලා නිරුවත් කරනවා. ඊට පස්‌සේ පත්තරවලට දෙනවා...

චාමරගේ මෙවැනි තර්ජනය කිරීම් ශෂිකලා මාධවීගේ පුංචි සිත දෝංකාර දෙන්න විය.



ශෂිකලා මාධවී ජයසිංහ නම් ශිෂ්‍යාව උපත ලබන්නේ සේනපුර, කාගම ගොවි ජනපදයේ පදිංචි ඡේ. ඒ. නන්දන ජයසිංහ සහ මානෙල් එදිරිසිංහ නම් මව්පිය දෙපළට දාව පළමු දරුවා ලෙසය. ඒ 1995 දෙසැම්බර් 13 වැනිදා සේනපුර රෝහලේදීය. ශෂිකලාට මාස හයක එක්‌ නැගණියක සිටී.

එදා සිට නිසංසල සුන්දර ගොවි ජනපදයක හැදී වැඩෙන ශෂිකලා මාධවී මුල්ම අධ්‍යාපනය කාගම ධාතුසේන මහා විද්‍යාලයෙන් ලබන අතර ඇය ඉගෙනුමට දක්‍ෂ බැවින් සාමාන්‍ය පෙළ විභාගය සමත්ව උසස්‌ පෙළ කලා විෂය හැදැරීමට ඇතුළත් වන්නේ ගන්තිරියාගම මහා විද්‍යාලයටය. ශෂිකලා මාධවී විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවකි. කැපී පෙණුන ශිෂ්‍යාවකි.

මීට වසරකට පමණ පෙර දිනයකදී ශෂිකලාගේ මිත්තණිය මිය ගිය අතර එම මළගම දා කැකිරාව තිබ්බටුවැව පදිංචි චාමර දමිත් ප්‍රියදර්ශන (20) නම් තරුණයා ශෂිකලාට හමුවන්නේ පළමුවරටය. එහිදී හඳුනාගන්නා දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක්‌ ගොඩනැගෙන්නේ දුරකථනය හරහාය. මේ සම්බන්ධව ශෂිකලා දෙමාපියන්ට පැවසීමට කටයුතු කර ඇත.

අනතුරුව ශෂිකලාගේ දෙමාපියන් විසින් චාමරව කාගම නිවසට කැඳවා සිය දියණිය ඉගෙන ගන්නා බවත් චාමරට රැකියාවක්‌ නොමැති නිසා විවාහ වීමට පෙර රැකියාවක්‌ සොයා ගන්නා ලෙසත් දැනුම් දී ඇත.

පසුව චාමර යුද හමුදාවට එක්‌වෙයි. දුරකථනය හරහා චාමර ශෂිකලා ඇමතීම දින චර්යාවක්‌ කරගත්තේය. කල්යත්ම මෙය ශෂිකලාට හරිම කරදරයක්‌ වී තිබේ. ඇය කැකිරාවේ පෞද්ගලික උපකාරක පංති යන දිනවලදීද චාමර පැමිණ ශෂිකලා හමු වී විවිධ යෝජනා කර ඇත. එවැනි කටයුතුවලට ඇය අකැමැත්ත පළකර තිබේ. එහිදී චාමර ශෂිකලා සමග අමනාපයක්‌ ඇතිකර ගෙන කුළුඳුල් ආදරය වෛරයක්‌ බවට පත්කර ගෙන ඇත.

"මම ඔයාගේ පිංතූරය කොම්පියුටරයට දාලා නිරුවත් පිංතූර පත්තරවලට දෙනවා...·" චාමර ශෂිකලාට දුරකථනයෙන් තර්ජනය කරන්නේ ඒ අනුවය.

ශෂිකලා මින් ලැඡ්ජාවට සහ බියට පත්ව සිය මවට දැනුම් දී මේ පිළිබඳව කැකිරාව පොලිසියට පැමිණිලිකර සිය පිංතූරය ඉල්ලා දෙන ලෙස පවසා ඇත. අනතුරුව කැකිරාව පොලිසිය මේ පිළිබඳව විභාග කිරීම සඳහා පසුගිය 03 වැනිදා පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇත. එදින කැකිරාවට එන ශෂිකලාට සහ ඇගේ මවට චාමරගේ මව හමු වී තිබේ. ඇයත් සමග පොලිසියට ගිය චාමරගේ මව පවසා ඇත්තේ චාමර හමුදා සේවයට ගොස්‌ ඇති බවය. එහිදී පොලිසිය පවසා ඇත්තේ ඉදිරි දිනයකදී චාමර පොලිසියට කැඳවන බවය. අනතුරුව චාමරගේ මව පවසා ඇත්තේ ශෂිකලාගේ පිංතූරය ලබා දීමට සිය නිවසට පැමිණෙන ලෙසය.

පසුව ශෂිකලාත් ඇයගේ මවත් නැගණියත් චාමරගේ කැකිරාව තිබ්බටුවැව කිවසට ගොස්‌ ඇත. එම නිවසේ තිබුණ ශෂිකලා චාමරට ලබාදුන් ලිපි කිහිපයක්‌ සහ පිංතූරය චාමරගේ මව විසින් ලබා දී ඇත. ඒවා එහිදී පුළුස්‌සා දමා තිබේ. පසුව ශෂිකලා චාමරගේ දෙමාපියන්ට වැඳ නමස්‌කාර කර නිවසින් පිටතට පැමිණ ඇත.

එම අවස්‌ථාවේ නිවසේ සැඟවී සිටපැමිණි චාමර තියුණු ආයුධයකින් ශෂිකලා අල්ලා බෙල්ල කපා ඇත. චාමරගේ මව සහ ශෂිකලාගේ මව මෙම සිදුවීම වැළැක්‌වීමට ගත් උත්සාහයේදී චාමර අත රැඳි ආයුධය වැදී දෙදෙනාම තුවාල ලබා ඇත. ශෂිකලාගේ මාස හයක නැගණිය මේ අවස්‌ථාවේ බිම වැටී කෑගසා ඇත. මේ අතරතුර බිම වැටුණු ශෂිකලාගේ නිසල සිරුරට චාමර සිය අතරැඳි ආයුධයෙන් නව පොලකට ඇන ඇත. මෙම සිදුවීමක්‌ සමඟ මව්වරුන් දෙදෙනා විලාප දුන්නත් උදව්වට අසල්වාසීන් පැමිණ නැත. කැකිරාව පොලිස්‌ නිලධාරින් පැමිණ තුවාල ලබා සිටි මව්වරුන් දෙදෙනා කැකිරාව දිසා රෝහලට ඇතුළත්කර තිබේ. වස වර්ගයක්‌ පානය කර සිටි සැකකාර චාමරව අනුරාධපුර මහ රෝහලට ඇතුළත්කර තිබේ.

ආදරය.... අද බොහෝ තරුණ තරුණියන් එහි යථාර්ථයවත් දන්නේ නැත. රාගයෙන් මුසපත්වන අප සමාජයේ ගැවසෙන මෙවැනි අධමයන් බලාපොරොත්තු වන්නේ ආදරය නොව මුසපත්වන රාගය සංසිඳවා ගැනීමය. එයට අවනත නොවන තැන මෙවැනි සිද්ධි ඇතිවෙයි.

මේ සම්බන්ධව කැකිරාව පොලිස්‌ ස්‌ථානාධිපති ජගත් පුෂ්පකුමාර මහතාගේ උපදෙස්‌ අනුව අපරාධ අංශයේ ස්‌ථානාධිපති එම්. අන්වර්දීන් මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

සැකකරු 17 දා තෙක්‌ රිමාන්ඩ්......

පාසල් සිසුවියක වන සිය පෙම්වතියගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කොට ඇගේ මවට හා සිය මවට තුවාල සිදු කිරීමෙන් අනතුරුව වස පානය කොට සියදිවි නසා ගැනීමට තැත් කළ තරුණයා ලබන 17 දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුවන්තිකා මාරපන මෙනෙවිය ඊයේ (04 දා) නියෝග කළේය.

කැකිරාව, තිබ්බටුවාගම පදිංචි ගල්කිරියාගම පුබ්බෝගම යුද හමුදා කඳවුරේ පුහුණුව ලබන ආධුනික සෙබළ එච්. ඩබ්ලිව්. පී. සී. දමිත් ප්‍රියදර්ශන (20) නමැති අය මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි.

කැකිරාව මහෙස්‌ත්‍රාත් ලක්‌දු දර්ශන ද සිල්වා මහතාගේ නියෝගයකට අනුව කැකිරාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මෙම සිද්ධිය පිළිබඳව ඊයේ දහවල් අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අතර, ඒ අනුව මහෙස්‌ත්‍රාත්වරිය වස පානය කිරීමෙන් පසු රෝහල්ගත කර සිටින සැකකරු පිළිබඳව අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ගොස්‌ නිරීක්‍ෂණය කළාය.

අනතුරුව සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කාලය තුළ සැකකරුට ආරක්‍ෂාව සලසන ලෙසද අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.

මේ අතර සැකකරු ලබන 17 දා කැකිරාව මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කළාය.

ආදරයට විරුද්ධ වුණයි පෙම්වතා පෙම්වතියට පිහියෙන් ඇනලා

 
Related Posts with Thumbnails