Ads 468x60px

.

අනිවාර්යයෙන්ම මට ඕන දේ මම ගන්නවා - හේමාල්

මගේ ඉක්මන් ගමනක් නම් නැහැ. 

මගේ හිතේ තියන තැනට මම කවදාහරි දවසක යනවා. 

ඒකට කොච්චර කාලයක් යයිද කියන එක මම හරියටම දන්නේ නැහැ...

ඔහු නව පරපුරේ රංගන ශිල්පියෙකු, මෝස්තර නිරූපණ ශිල්පියෙකු, නර්ථන ශිල්පියෙකු මෙන්ම නිවේදකයෙකු ලෙසින් කටයුතු කරයි. ලාංකීය ඉතිහාසයේ වැඩිම වියදමක් දරා තැනූ බව “සුපර් සික්ස්” චිත්‍රපටය තුළින් රිදී තිරයට කළ එළි බැස ගත් ඔහු එතුළින් සිනමාවේ ආගමනය සටහන් කරලන්නට වුණා. 

2009 වසරේ ස්පාඤ්ඤයේ පැවති මෝස්තර නිරූපණ ශිල්පීන් තේරීමේ තරගයෙන් ජයග්‍රහණය කර 2009 වසරේ මිස්ටර් ශ්‍රී ලංකා බවට පත්වීමටද හෙතෙම සමත්විණි. පසුව එම වසරේම කොරියාවේ දී පැවැත්වුණු “මිස්ටර් වර්ල්ඩ් 2010” සඳහා ශ්‍රී ලංකාව නියෝජනය ක‍ළේද මොහු විසින්මය.

ඔහු නමින් හේමාල් රණසිංහ...


හේමාල්, ඉතිං කොහොමද?
හොඳින් ඉන්නවා.

ඔබ රංගනයට පිවිසුණේ කොහොමද?
මෝස්තර නිරූපණ ශිල්පියෙකු විදිහට තමයි මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඒත් එක්කම ලැබුණ ආරාධනා සමඟ එක් එක් විෂයයන් ඔස්සේ ක්ෂේත්‍ර කිහිපයක් හරහා අද මේ ඉන්න තත්ත්වයට ඇවිල්ලා තියනවා.

ඔබට මුලින්ම ලැබුණු ආරාධනාව මතක් ‍කළොත්...
මෝස්තර නිරූපණ ශිල්පියෙකු ලෙස කටයුතු කරන්න තමයි මට මුලින්ම ආරාධනා ලැ‍බුණේ

මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට එන්න කළින් කටයුතු කළේ මොන ක්ෂේත්‍රයේද?
කළින් නෙමෙයි. මම මෝස්තර නිරූපණ ශිල්පියෙකු ලෙස කටයුතු කළේ තවත් ආනයන අපනයන සම්බන්ධ ආයතනයක රැකියාව කරන ගමන්. නමුත් සිනමාවට සම්බන්ධවීමත් සමඟ කාලය කළමනාකරණය කිරීමේ ගැටලුවක් නිසා අවුරුදු 5 ක් කරපු රැකියාවට සමු දීලා පූර්ණ කාලීනව රංගනයට යොමුවුණා.

ඔබ රංගනයේ යෙදෙන්නේ ඉදිරියේ දී වෘත්තීමය වශයෙන් ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමේ  අරමුණින්ද?
අනිවාර්යයෙන්ම. මම තවත් වෘත්තියකින් මේ වෘත්තියට මාරුවුණේ වෘත්තීමය වශයෙන්ම රංගනයට යොමුවෙන්න. කාලයත් එක්ක රංගනය වගේම තවත් දේවල් මම ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා.

ක්‍ෂේත්‍රයන් කිහිපයකට සම්බන්ධ කෙනෙක් විදිහට ඔයා වැඩියෙන්ම කැමති මොන ක්ෂේත්‍රයට ද?
මම අතීතයේ කරපු කිසිම දෙයක් ගැන කණගාටුවට පත්වෙන්නේ නැහැ. මොකද ඒ හැම දෙයින්ම මම ජීවිතයට අත්දැකීමක් ලබාගත්තා. ඒ හැම දෙයක්ම මගේ අනාගතයට ලැබුණු අඩිතාලමක් විදිහටයි මම සලකන්නේ. ඒ නිසා මම මේ හැම ක්ෂේත්‍රයටම පෞද්ගලිකව ආසයි.

ඔබේ පවුලේ විස්තරත් මේ වෙලාවේ කතාකරමු...
මගේ තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක්. තාත්තා මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. මගේ අම්මා ආනයන අපනයන සම්බන්ධ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. අක්කලා දෙන්න විවාහ වෙලා ඉන්නේ. නංගියි මමයි තමයි.

අධ්‍යාපනය හැදෑරූ පාසල පිළිබඳ මතක් කළොත්?
මම පාසල් ගියේ මාත‍ලේ ශාන්ත තෝමස් විද්‍යාලයට. ඒ කාලේ මම ටිකක් දඩබ්බර චරිතයක්. සුන්දර පාසල් කාලයක් තිබුණා. ඒ කාලේ කරන්න තිබ්බ හැම දේම වගේ කරා. ඒ නිසා ඒ අතීතය ගැන ගොඩක් සන්තෝශයි. 


ඒ කාලේ හිටපු ගැන් එක තාමත් එහෙම්මම ඉන්නවා. අදටත් අපි හම්බවුණාම කතා කරන‍්නේ පාසල් කාලය ගැන තමයි. අපේ ගෙදරට අල්ලපු ‍වත්තේ තමයි ඉස්කෝලේ තිබුණේ. මම ඉස්කෝලේට යන්නේ අටට සීනුව ගැහුවට පස්සෙයි. ඒ ගිහිල්ලත් පැය දෙකයි ඉන්නේ. ඉතින් ඒ කාලේ හරිම සුන්දරයි.

රංගන ශිල්පියෙක් වෙන එක ඔබගේ තිබුණු හීනයක් හැබෑවීමක් ද?
මට නම් ඒ හීනේ පුංචි කාලේ ඉඳන්ම තිබුණා. මේක මට අහම්බෙන් හමුබවුණේ වගේ දේවල් මම කියන්නේ නැහැ. පුංචි කාලේ ඉඳන්ම මේ ගැන උණක් තිබුණා. නමුත් පාසල් වියෙන් පසුසේ මම සම්බන්ධ වුණේ රංගනයට කොහෙත්ම අදාළ නැති ක්ෂේත්‍රයකට. ඒත් හිතේ ආසාව කියන දේ තිබුණා. එතකොටත් මට විවිධ වූ අවස්ථාවන් ලැබුණා මගේ හීනය හැබෑකරගන්න. ඒ අතරින් සුදුසුම වෙලාවේ සුදුසුම අවස්ථාව කියලා හිතුන වෙලාවේ මම කලාවට සම්බන්ධවුණා.

රංගන ක්ෂේත්‍රයට නවකයෙක් වුණ ඔබ වඩා ආඩම්බරකාර චරිතයක් ලෙස ක්ෂේත්‍රයේ හඳුනාගෙන තිබෙනවා. ඒකට හේතුව මොකක්ද?
මම ආඩම්බර චරිතයක් නෙමෙයි. මේ මගේ හැටි. රංගන ශිල්පියෙක් විදිහට ආඩම්බර වෙනවානම් මම හිතන්නේ නැහැ ප්‍රේක්ෂකයින් අපිට කැමති වෙයිවත් කියලා. අපේ පැවැත්ම රඳා පවතින්නෙත් ප්‍රේක්ෂකයින් අපිට ආදරය කළොත්. ඉතින් ප්‍රේක්ෂකයින් අපිට ආදරය කරන්නනම් අපි ඒ හා සමානව ඔවුන් සමඟ බැඳිලා ඉන්න ඕන. 


එතනදි මම ආඩම්බරකාර චරිතයක් නෙමෙයි. හැබැයි අවස්ථාවාදියෙක් වෙලා මම මගේ චරිතය පාවා දෙන්නේත් නෑ. මේක පුංචි කාලේ ඉඳලම මට තිබිච්ච ප්‍රශ්නයක්. මම හිනාවෙනවා කතා කරනවා අඩුයි. ඒ කාලේ වලි යන්නෙත් මගේ ඩයල් අප්සට් කියලා තමයි. 

මට පෞද්ගලික ජීවිතයක් තියනවා. එතනදි මම යන යන තැන ඉන්න හැමෝම එක්ක හිනා වෙවී යන්නේ නැහැ. ඒත් මම ආඩම්බරකාර චරිතයක් කියන එක මම එකහෙළාම ප්‍රතික්ෂේප කරනවා. මම හිනා වනවා මඳි ඇති. ඒ වගේම මගේ කතාව ටිකක් සැර නිසා වෙන්න ඇති මට ඒ වගේ දේවල් කියන්නේ.


මෙතෙක් ඔබ ක්ෂේත්‍රයේ ඉදිරියට ආවේ ඔබට හිමිවී ඇති කඩවසම් බව නිසාවෙන් බවට ඇතැමුන් චෝදනා කරනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
මම හිතන්නේ නැහැ කෙනෙකුගේ බාහිර පෙනුම දක්ෂතාවයට වඩා පැවැත්මට බලපායි කියලා. මට ඕන දක්ෂයෙක් වෙන්න මිසක් කඩවසම් තරුණයෙක් වෙන්න නෙමෙයි. මට දැනෙන විදිහට මගේ දක්ෂතාවය මදි. ඒ නිසා මම ඒ ගැන ගොඩක් දේවල් අධ්‍යනය කරනවා දක්ෂතාවය වර්ධනය කරගන්න. මට ඕන දක්ෂයෙක් වෙන්න මිසක් බාහිර රූපයෙන් ගැන හිතන කෙනෙක් වෙන්න නෙමෙයි.

ඔබට අභියෝගයක් එල්ල කරන්න පුළුවන් යැයි හිතෙන රංගන ශිල්පීන් කවුද?
මම රංගන ශිල්පියෙක් වුණේ පුංචි කාලේ ඉඳන් තිබුණ ආසාවකට. එහෙම නැතුව කාටවත් අභියෝග කරන්න නෙමෙයි. එහෙම අවශ්‍යතාවයකුත් නෑ. මම යන්නේ මගේ පාරක. ඉතින් මම හෙමීට එතනට යනවා.

ගායනයට හැකියාවක් තියනවද?
ගායනයට හැකියාවක් තියනවද කියලා තීරණය කරන්න වෙන්නේ මම සින්දුවක් කියනකොට කවුරු හරි අහගෙන හිටියොත් තමයි. ඒ ගැන මටනම් තක්සේරුවක් දෙන්න අමාරුයි.

මේ දක්වා ක්ෂේත්‍රයේ පැමිණි දුර ගැන සෑහීමකට පත්වෙනවද?
අද ඉන්න තැන ගැන යම්තාක් දුරකට සෑහීමකට පත්වෙනවා.

නිවේදනයට ආධුනිකයෙක් වන ඔබ එම ක්ෂේත්‍රයට සුදුසුයි කියලා හිතනවද?
මම මගේ ජීවිතයේ මට කරන්න ආසයි කියලා හිතෙන ගොඩක් දේවල් කරන්න උත්සහ කරනවා. ඒක මම කාගෙවත් පස්සෙන් ගිහිල්ල ගන්න දේවල් නෙමෙයි. මම කරන්න ආස දෙයකට මට ආරාධනා ලැබුණොත් මට ඒක කරන්න පුළුවන් පරාසයක තියනවානම් මම ඒක කරන්න උත්සහ කරනවා. එතනදි මම ඒ වැඩසටහන ඉදිරිපත් කරන්නෙක් විදිහට කටයුතු කරනවා. 


ඒකට මම යම්තාක් දුරට හෝ සාධාරණයක් ඉටු කරනවා ඇති කියලා හිතෙනවා මට ලැබෙන ප්‍රතිචාරත් එක්ක. ඉතින් මම ඒ දේට සුදුසුද කියලා මගෙන් අහනකොට මට සිද්ධ වෙනවා ඔව් කියලා කියන්න. මොකද සුදුසු නැත්තන් මම ඒක කරන එක හරි නැහැ. හැබැයි ඒක තීරණය කරන්න ඕන ප්‍රේක්ෂකයා.

ඔබ ප්‍රේක්ෂකයාට ලං වුණේ මොන ක්ෂේත්‍රය තුළින් කියලද ඔයා හිතන්නේ?
සමාජය ස්ථර තුනක් විතර තියනවා. මට හිතෙන විදිහට මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය තියෙන්නේ ඒකෙන් තුන්වෙනි ස්ථරයට ටිකක් විතර උඩින්. මම කරන අනිත් ක්ෂේත්‍ර තියෙන්නේ ඉහළ ස්ථරවල. ඉතින් එක එක් අයගේ වින්දන පරාසය තුළ තමයි ඒක තීරණය වෙන්නේ. ඒ නිසා ඒකට මට උත්තරයක් දෙන්න අමාරුයි.

වර්තමානයේ රංගන ශිල්පීන්ට කටකතා හැදෙන්න මූලික හේතුව ජනප්‍රියත්වය කියලා ඇතැම් රංගන ශිල්පීන් කියනවා. කටකතා හදාගන්නෙ නැතුව ජනප්‍රියත්වය විතරක් තියාගෙන මේ ක්ෂේත්‍රයේ ඉන්න බෑ කියලද ඔයත් හිතන්නේ?
කටකතා හැදෙනවා කියන එක මේ ක්ෂේත්‍රයේ ඉන්න අයට ගොඩක් වෙලාවට වෙනවා. මොකද මේ ක්ෂේත්‍රයේ ඉන්න අය තමයි හැමෝටම රූපවාහිනියේ, සිනමාවේ හැමතිස්සේම පෙන්නේ. ලංකාවේ ජනගහණයෙන් වැඩි පිරිසක් දකින්නේ අපිව. එතනදි අපේ හරි හෝ වැරදි තොරතුරු සැපයීමේන් මුදල් උපයන අයට ඒක සූදුවක් වගේ. මේ දේවල අයින් වෙන්න ඕන කියලා මම හිතන්නේ නෑ. 


මොකද 50% ක විතර පිරිසකට මෙකෙන් ලැබෙන ආකර්ශනය ඒ අයගේ පැවැත්මට වැදගත් වෙනවා. ඒ වගේමයි තවත් 50% ක විතර පිරිසකගේ පෞද්ගලික ජීවිතවලට දැඩි ලෙස මේ දේවල් බලපානවා ඇති. ඒක දෙවිදිහකට ගන්න පුළුවන්. මම හිතන්නේ ඔය ඕප දූප දෙන කට්ටිය ඒ දේවල් කල්පනා කරලා බලලා හරි විදිහට දෙනවනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 

හැබැයි නරක විදිහට කරනවනම් ඒක තවත් කෙනෙකුගේ පෞද්ගලික ජීවිතයට ගොඩක් හානි දායක වෙන්න පුළුවන්. අපිට බැහැ ඒ අයගේ පෞද්ගලික ජීවිතවල තියන දේවල් එළියට දාන්න. ඒත් ඒ අයට පුළුවන් හරිම ඉක්මණින් ඒ දේවල් කරන්න.

ක්ෂේත්‍රයේ දී ලබපු අමතක නොවන අත්දැකීම මොකක්ද?
මම පුංචි කාලේ ආස කරපු රංගන ශිල්පි ශිල්පිණියන් එක්ක වැඩ කරන්න ලැබීම. ඒ වගේමයි ජාත්‍යන්තර මට්ටමේ සටන් අධ්‍යක්ෂකවරු සහ නර්ථන අධ්‍යක්ෂකවරු එක්ක කටයුතු කරන්න ලැබීම. ඒ වගේමයි මම රංගනයේ යෙදෙද්දී මොන තරම් අනතුරුදායක දෙයක් වුණත් ඒක කරන්න වෙනත් කෙනෙක්ව ගන්නේ නැතුව උපරිම කැපවීමෙන් කරපු අවස්ථා වගේම එහෙම කරන්න ගිහින් තුවාල වුණු අවස්ථා මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

ඇත්තටම හේමාල් රණසිංහ කියන්නේ මොන වගේ කෙනෙක්ද?

මම ටිකක් සංවේදී කෙනෙක්. ගොඩක් වෙලාවට මම හැමදෙයක් ගැනම හිතනවා. ටිකක් නිශ්ශබ්ධව ඉන්න කැමති කෙනෙක්. මගේ පාඩුවේ ඉන්න තමයි මම කැමති. මම කාටවත් කරදර කරන්නේ නෑ වගේමයි මට කවුරුත් කරදර කරනවාට කැමතිත් නෑ. ටිකක් විතර කේන්ති යනවා.

රංගනයේ යෙදෙද්දී ඔබ විසින් පනවාගත්ත සීමා මායිම් තියනවද?
අනිවාර්යයෙන්ම තියනවා. රංගන ශිල්පියෙක් විදිහට මට කරන්න පුළුවන් සීමාවට වඩා ප්‍රේක්ෂකයින්ට බලන්න පුළුවන් සීමාව තෙක් රංගනයේ යෙදෙන්න මම කැමතියි.

ඔබට දැනෙන විදිහට ආදරය කියන්නේ මොකක්ද?
මොන කාල පරාසයක ජීවත් වුණත් ආදරය කියන දේ ආගන්තුක වෙන්නේ නැහැ කවමදාකවත්. පොඩි කාලේ දෙමව්පියන්ගේ ආදරය හම්බවෙනවා. ඊට පස්සේ අපි විවිධත්වයක් හොයාගෙන තවත් කෙනෙක් ජීවිතයට ලං කරගන්න යනවා. ආදරය පිළිබඳ අත්දැකීම් තියනවා අනිවාර්යයෙන්ම. ජීවිතයක ප්‍රේමය කියන දේ අත්දැකීම් නෑ කියන්නේ ඒක බොරුවක්. අපේ කල්පනා ලෝකෙට ගියත් ඒක හරි හෝ වැරදි විඳින්න පුළුවන් දෙයක් තමයි ආදරය කියන්නේ.

අනාගත බලාපොරොත්තු?
මගේ ඉක්මන් ගමනක් නම් නැහැ. මගේ හිතේ තියන තැනට මම කවදාහරි දවසක යනවා. ඒකට කොච්චර කාලයක් යයිද කියන එක මම හරියටම දන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මට ඕන දේ මම ගන්නවා. හැබැයි කාලය පිළිබඳ තක්සේරුවක් දෙන්න අමාරුයි. ඒ වගේමයි ම‍ගේ කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තියනවා. මේ දිනවල ඒකට අඩිතාලම දාගෙන යන්නේ.

ඔයා හිතන්නේ ඔයා ජනප්‍රියයිද? ප්‍රසිද්ධයිද?
ජනප්‍රියයි

ජනප්‍රියවෙන්න වැදගත් වෙන්නේ වාසනාවද? දක්ෂතාවයද?
දක්ෂතාවය

පුංචි තිරයේ රංගනයේ යෙදෙද්දී ඔයාට වැඩියෙන්ම ගැලපෙන රංගන ශිල්පිණිය කියලා ඔයා හිතන්නේ උදාරි වර්ණකුලසූරිය, ශලිනි තාරකා, නදීකා සිරිසේන, අරුණි රාජපක්ෂ
හොඳ වෙලාවට මම පුංචි තිරයේ නැහැ. ඒ නිසා ඕකට මම උත්තර දෙන්න ඕන නෑ. රිදී තිරයේ ගත්තොත් ඔය හතර දෙනාම මට ගැළපෙනවා.

ජීවිතයේ වැදගත් සන්දිස්ථානවල දී ජ්‍යෝතිශ්‍ය විශ්වාස කරනවාද?
නෑ

වඩා වැදගත් මුදල්ද? රංගනයේ යෙදෙන චරිතයේ ගුණාත්මකභාවයද?
චරිතයේ ගුණාත්මකභාවය

ප්‍රේක්ෂකයින් ඔයා ගැන කියනවා අහන්න කැමති මොකක්ද... හේමාල් හරි කඩවසම්? අවංකයි? නිහතමානියි? දක්ෂයි?
දක්ෂයි

රැල්ලක් විදිහට නව පරපුරේ කලා ශිල්පීන් රංගනය, ගායනය සහ දේශපාලනය යන අංශවලට යොමුවීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. ඔයාටත් ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් මේ තුනෙන් තෝරගන්නේ මොකක්ද?
රංගනය


සම්පූර්ණ නම
හේමාල් සචින්ත රණසිංහ


උපන් දිනය

08.25

ලග්නය
මිථුන


පදිංචිය
වැල්ලවත්ත

උස
6.1




 
Related Posts with Thumbnails