Ads 468x60px

.
ව්‍යාපාරික තැපැල් අංශයට වසරකට කෝටි 6 ක්‌ අහිමිවේ

තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ව්‍යාපාරික ලිපි තැපැල් මගින් බෙදා හැරීමට පෙර බැංකු සහ දුරකථන සමාගම් මගින් ලබාදෙන තොරතුරු ඇතුළත් කර ලිපියක්‌ ලෙස සකස්‌ කිරීමේ මූලික කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව මගින් ඉටු නොකිරීම නිසා තැපැල් දෙපාර්තමේන්තුවේ ව්‍යාපාරික තැපැල් අංශයට ඉතා පහසුවෙන් උපයා ගතහැකි මසකට රුපියල් මිලියන 50 බැගින් වසරකට රුපියල් කෝටි හයක මුදලක්‌ අහිමි වෙන බව තැපැල් සේවා අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. තැපැල් දෙපාර්තමේන්තුවේ ව්‍යාපාරික තැපෑල හරහා තැපැල් මගින් ලිපි යවන මහා පරිමාණ බැංකු දුරකථන සමාගම් ඇතුළු ව්‍යාපාරික ආයතන තමන්ගේ ලිපි සියල්ල සකස්‌කර ගනු ලබන්නේ අතරමැදි පෞද්ගලික සමාගම්වලට විශාල වශයෙන් මුදල් ලබාදීම මගිනි. අවම වශයෙන් එක ලිපියක්‌ සඳහා රුපියල් 11-12 අතර මුදලක්‌ බැංකු සහ දුරකථන සමාගම් විසින් මෙම අතරමැදි සමාගම්වලට ගෙවීම් කරයි.

නමුත් මෙම කාර්ය තැපැල් දෙපාර්තමේන්තුවට ඉතා පහසුවෙන් ඉටු කිරීමට හැකියාව තිබේ. ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ ශ්‍රම සම්පත ඇතුළු පහසුකම් සියල්ල තැපෑල සතුවේ.

ව්‍යාපාරික තැපෑල හරහා රුපියල් 15 ක මුදලක්‌ අයකර පෞද්ගලික ආයතනවල ලිපි තැපැල් මගින් බෙදා හැරීම මගින් මධ්‍යම තැපැල් හුවමාරුවේ ව්‍යාපාරික තැපැල් අංශය මැයි මාසය තුළදී පමණක්‌ රුපියල් මිලියන 71 ක ආදායමක්‌ උපයාගෙන තිබේ.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ එක්‌සත් ජාතික තැපැල් සේවක සංගමයේ ලේකම් එච්. ඒ. ආර්. නිහාල් මහතා සඳහන් කළේ රාජ්‍ය ආයතනයක්‌ ලෙස තැපැල් දෙපාර්තමේන්තුව ගොඩ ගැනීමට නම් තැපැල් දෙපාර්තමේන්තුවට වසරකට අහිමිවෙන රුපියල් මිලියන 600 කට අධික මුදල තැපැල් දෙපාර්තමේන්තුවට ලබා ගැනීමට හැකි පරිදි ව්‍යාපාරික තැපැල් අංශය ශක්‌තිමත් කළ යුතු බවයි.
 
Related Posts with Thumbnails