Ads 468x60px

.
කහවත්ත ප්‍රදේශයේ ආරක්‍ෂාව තර කරයි

වසර දෙකක කාලයක සිට කහවත්ත පොලිස්‌ බල ප්‍රදේශයේ සිදු වු වියපත් කාන්තාවන් අට දෙනෙකු ඝාතනය කිරීම හා වියපත් කාන්තාවන් බිය ගැන්වීම් සම්බන්ධයෙන් එම පොලිස්‌ බල ප්‍රදේශයේ ආරක්‍ෂාව මේ වන විට දැඩි ලෙස තරකර ඇත. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නියෝග මත පෙරේදා (05 වැනිදා) රාත්‍රි සිට යුද හමුදාව හා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් ඒකාබද්ධව මෙම ඝාතනයන් සිදු වු කහවත්ත, නිලඳුර, කොටකෙතන, ඕපාත, කට්‌ටන්ගේ ඇතුළු තවත් ප්‍රදේශ කීපයක මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය. එහෙත් ඊයේ (06 වැනිදා) දහවල් වනතුරුත් ඝාතකයන් පිළිබඳ කිසිදු තොරතුරක්‌ දැන ගැනීමට නොහැකි විය.


මේ අතර මෙම ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් සමහර පෞද්ගලික විද්යුත් මාධ්‍ය ඔස්‌සේ නොයෙකුත් බොරු කටකතා පතුරුවා හරින බැවින් මේ නිසා ප්‍රදේශවාසීන් දැඩි ලෙස බියට පත් වී ඇති බව වාර්තා වේ.

මේ නිසා අසත්‍ය ප්‍රචාර කටකතා ආදියට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් සබරගමුව පළාත් භාර නියෝජ්‍ය පොලිස්‌පති ඩබ්. එ. යු. ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියේය.

එමෙන්ම එම අසත්‍ය තොරතුරු වලට නොරැවටී පොලිසිය හා යුද හමුදාව මෙම ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණ කටයුතු වලට සහාය වන ලෙස ද නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ඉල්ලා සිටියේය.

මේ අතර කහවත්ත පොලිස්‌ බල ප්‍රදේශයේ සිදුවන පෞද්ගලික ආරවුල් පවා මෙම වියපත් කාන්තා ඝාතන රැල්ලට එකතු කර විවිධ කටකතා පතුරුවා හැරීම නිසා ද ප්‍රදේශයේ කාන්තාවන් දැඩි ලෙස බියට පත් වී ඇතැයි ද වාර්තාවේ.

එමෙන්ම මෙම ඝාතන රැල්ල මුවාවෙන් විවිධ සොර කල්ලි කහවත්ත, රත්නපුර ප්‍රදේශවල නිවෙස්‌ බිඳුම් රැසක්‌ සිදු කර ඇතැයි ද තවදුරටත් වාර්තා වේ.
 
Related Posts with Thumbnails