Ads 468x60px

.

භූමිතෙල්, පෙට්‍රල්, ඩීසල් මිල සංශෝධනය

වහාම ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල පෙරේදා (11 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය පියවර ගනු ලැබීය. නව මිල සංශෝධනයට අනුව මෙතෙක්‌ රුපියල් 84 ක්‌ වූ ඩිසල් ලීටරයක මිල රුපියල් 115 දක්‌වා රුපියල් 31 කින්ද රුපියල් 137 ක තිබූ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 149 දක්‌වා රුපියල් 12 කින්ද ඉහළ යන අතර භූමිතෙල් ලීටරයක මිල රුපියල් 71 සිට 106 දක්‌වා රුපියල් 35 කින් ඉහළ දැමෙනු ලැබේ. 


ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 105 ත් 106 ත් අතර සිට 118 දක්‌වා සියයට 10-12 අතර ප්‍රමාණයකින් ඉහළ යැම සහ රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව තව දුරටත් අවප්‍රමාණය වීම රජය මෙම තීරණය ගැනීමට ප්‍රධාන හේතුව වී තිබේ.

ඉහත තත්ත්වය හමුවේ ඛනිජ තෙල් සංස්‌ථාව ලබන අධික පාඩුව යම්තාක්‌ පියවා ගැනීම සඳහා මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය වී ඇත.

ඉන්ධන මිල ඉහළ දැමුවද පොදු ප්‍රවාහන සේවාවන් සඳහා ඉන් බලපෑමක්‌ ඇති නොවන පරිදි වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමටද රජය තීරණය කර ඇත.

ඒ අනුව ලංගම සහ පෞද්ගලික බස්‌ රථ, පාසල් වෑන් රථ, ත්‍රිරෝද රථ සහ ධීවර යාත්‍රා සඳහා ඉන්ධන මිල ඉහළ යැම බලනොපාන පරිදි සහන ක්‍රමවේදයක්‌ ඇති කරන බව රජය සඳහන් කරයි.

මේ වන විට රුපියලේ අගය ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල් 110 සිට 115 දක්‌වා තවදුරටත් අවප්‍රමාණය වී ඇති අතර බටහිර රටවල පවතින ශීත දේශගුණික තත්ත්වය හමුවේ එම රටවල ඉන්ධන භාවිතය ඉහළ යැමෙන් ලෝක වෙළඳ පොළේ ඉන්ධන බැරලයක මිල ඉහළ ගොස්‌ ඇති බව මෙම මිල ඉහළ දැමීම පිළිබඳ අදහස්‌ දැක්‌වූ ඛනිජ තෙල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේය.

එහෙත් මෙම මිල ඉහළ දැමීමෙන් ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව මෙරට ජනතාවට ඉන්ධන බෙදා හැරීමේදී ලබා දෙන සහන හේතුවෙන් සංස්‌ථාව ලබන පාඩුව සම්පූර්ණයෙන් පියවා ගැනීමක්‌ සිදු නොවන බවද එම ප්‍රකාශකයා පැවැසීය.

මෙතෙක්‌ ඉන්ධන ලබා දීමේදී භූමිතෙල් ලීටරයක්‌ සඳහා රුපියල් 45 ක්‌ සහ ඩීසල් ලීටරයක්‌ සඳහා රුපියල් 25 ක පාඩුවක්‌ සංස්‌ථාව දැරූ බවද කී හෙතෙම පෙට්‍රල් ලීටරයකින් සංස්‌ථාව රුපියල් හතක ලාබයක්‌ ලැබූ බවද කීය.

මෙම මිල ගණන් සමස්‌තයක්‌ වශයෙන් ගත් කල සංස්‌ථාව පාඩු ලැබූ බවද කී එම ප්‍රකාශකයා නව මිල සංශෝධනය තුළින් වුව සංස්‌ථාවට ලාභයක්‌ හිමි නොවන බවද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
 
Related Posts with Thumbnails