Ads 468x60px

.

ව්‍යාපාරිකයා නිර්වස්‌ත්‍ර කොට පහරදී අත්අඩංගුවට

"අපි හමුදාවෙන්. වහාම දොර අරින්නැයි තර්ජනය කරමින් කිසියම් පුද්ගලයකු නිවසේ ජනේලයට තට්‌ටු කරන බවට පොලිසියට කළ පැමිණිල්ල ගැන විමර්ශනය කිරීමට පැමිණීම ප්‍රමාදවීම ගැන තමා නොසතුට පළ කිරීම නිසා කෝපයට පත් දෙයියන්දර පොලිසියේ හිටපු
ස්‌ථානාධිපතිවරයා තමාට අමානුෂික ලෙස පහර දුන් බවට චෝදනා කරමින් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු ශ්‍රේෂ්ඨාධි කරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කර ඇත.

එදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් තමාට පසුදා පහන් වන තුරුම පහරදුන් පොලිස්‌ ස්‌ථානාධිපති ඇතුළු නිලධාරීන් තිදෙනකුගෙන් රුපියල් එක්‌කෝටි දසලක්‍ෂයක වන්දියක්‌ අයකර දෙන ලෙස පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරු පිටබැද්දර ඡේ. ඒ. චතුර මනෝහරා නමැති අයෙකි. පෙත්සමේ සඳහන් අන්දමට ඔහු දෙයියන්දර පිටබැද්දර වෙළෙඳ සංගමයේ ලේකම්වරයාය.

දෙයියන්දර පොලිසියේ හිටපු ස්‌ථානාධිපති (දැනට ගාල්ල සහකාර පොලිස්‌ අධිකාරි කාර්යාලයට මාරුකර සිටින) අර්ජුණ විඡේවර්ධන මහතාත්, සුගත් හා යෝගනාද යන පොලිස්‌ රාළහාමිලා දෙදෙනාත් මෙම පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති.

අදාළ සිද්ධිය වී ඇත්තේ ඉකුත් ජුලි 10 දාය. එදා රාත්‍රි 10.30 ට පමණ පෙත්සම්කරු හා බිරිඳ ව්‍යාපාරික ස්‌ථානය පිහිටි දෙයියන්දර නගරයේ සිට නිවසට පැමිණ ටික වේලාවකට පසුව කවුදොa ජනේලයට තට්‌ටුකර වහාම ඉස්‌සරහ දොර ඇරපන් යෑයි උස්‌ හඬින් පවසා ඇත. ඒ අවස්‌ථාවේ බියට පත් පෙත්සම්කරු දෙයියන්දර පොලිසියට දුරකථනයෙන් පැමිණිලි කර ඇත. දෙයියන්දර පොලිසියට නිවසේ සිට ඇත්තේ විනාඩි 05 කින් පැමිණිය හැකි කෙටි දුරකි. එහෙත් පොලිසියට පැමිණීමට පැය 2 ක පමණ වේලාවක්‌ ගතවී ඇත. සිද්ධිය ගැන පෙත්සම්කරු අවට පදිංචි කරුවන්ටද දැනුම් දී ඇති අතර ටික වේලාවකින් සැලකිය යුතු පිරිසක්‌ රැස්‌ව ඇත. ඔවුන් එකතුවී නිවසට පැමිණි ආගන්තුකයන්ගෙන් දෙදෙනකු අල්ලා ගස්‌ බැඳ ඇත. පොලිසිය පැමිණ ඇත්තේ ඊට පසුවය. ප්‍රමාදවීම ගැන පෙත්සම්කරු පොලිසියට නොසතුට පළකර ඇති අතර ඒ අවස්‌ථාවේදී කිසිවක්‌ නොපැවසූ පොලිස්‌ නිලධාරියා අල්ලාගෙන සිටි පුද්ගලයන් දෙදෙනා රැගෙන ගොස්‌ ඇත.

ඊට පසුව රාත්‍රි 1.00 ට යළි පැමිණි පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා පොලිසියට රාජකාරි කරන හැටි උගන්වන්න එනවාද. උඹට හොඳ පාඩමක්‌ උගවන්වන්නම් කියමින් පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වී ඇත. ඒ අවස්‌ථාවේදී ඔහුගේ බිරිඳ ඉදිරියට විත් විරෝධය පළකළ විට ඇය පසෙකට තල්ලුකර දමා ඇති අතර පොලිස්‌ ස්‌ථානාධිපතිගේ වේගවත් පා පහරින් ඇය සමඟ සිටි කුඩා දරුවා විසිවී බිම වැටී ඇත. ඊට පසු බලෙන්ම පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන ත්‍රිරෝද රථයක නංවා පොලිසියට ගෙන ගොස්‌ පොලිස්‌ භූමියේ අලුතින් ඉදිකර තිබූ ගොඩනැඟිල්ලට ඇතුළුකර කාටත් නොපෙනෙන ලෙස දොරවල් වසා පොලිස්‌ ස්‌ථානයට ද කිසිවෙකුට පැමිණිය නොහැකි වන ලෙස ගේට්‌ටුව වසන ලෙසට නියම කර පෙත්සම්කරු නිර්වස්‌ත්‍ර කොට පහරදී ඇත.

පෙත්සම්කරුට යකඩ පුටුවකින් ද පහරදී ඇති අතර හිස මේසය මත තබා ගැසූ පහරින් ඒ මත තිබූ වීදුරුව කැබලිවලට කැඩීගිය බවත් නාසයෙන් හා කටින් ලේ ගලන්නට වූ බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

පොලිස්‌ ස්‌ථානාධිපති තමාට පහරදුන් අවස්‌ථාවේදී හොඳටම බීමත්ව සිටි බව කියන පෙත්සම්කරු නිරුවත්ව බිම වැටී සිටි තමා ළඟට පැමිණ තමා දෙස බලාගෙන මට ආසයි උඹට ගහන්න. උඹ වේදනාවෙන් කෑගහනවා දකින්න. ඇඟෙන් ලේ ගලනවා දකින්න යෑයි පැවසූ බවද පෙත්සමේ සඳහන් කර ඇත.

පසුදින දෙයියන්දර පොලිසියෙන් ලැබුණ පණිවිඩයක්‌ මත ඔහුගේ බිරිඳ ගොස්‌ ප්‍රකාශයක්‌ කර ඇති අතර තමා විසින් කරන ලද පහරදීම සිහියකින් කළ එකක්‌ නොවන බවත් ඒ පිළිබඳ කනගාටුවට පත්වන බවත් පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ඇයට කියා ඇති බවත් පෙත්සම්කරු සිය පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
 
Related Posts with Thumbnails