Ads 468x60px

.

පොඩි කාලේ මම හීන මැව්වේ ගුවන් සේවිකාවක් වෙන්න - ශලිනි

සිරස කුමරිය කිරුළ දිනාගැනීමෙන් පසු මෙරට කලා ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව උදාකරගත් ඇය මේ වනවිට පුංචි තිරයේ කාර්යයබහුල රංගන ශිල්පිණියක බවට පත්ව සිටියි. එමෙන්ම සිංහල සිනමාවට එක්වුණු නවතම චිත්‍රපටයක් වන "සෙල්වම්" චිත්‍රපටය තුළින් සිංහල රිදී තිරයට පිවිසීමට ද ඇය අවස්ථාව උදාකරගත්තාය. ටෙලි නාට්‍ය, රූපවාහිනී වෙළඳ දැන්වීම් මෙන්ම ගීත රූප රචනා ද සඳහා ද සිය රංගන දායකත්වය ලබාදෙමින් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගැනීමට ඇය සමත්වූවාය.ඇය ශලිනි තාරකා. . .




*ඉතින් ශලිනි, කොහොමද මේ දවස්වල ජීවිතේ?
ජීවිතේ ගොඩක් සුන්දරයි. වැඩ කටයුතුත් හොඳින් කෙරෙනවා. වෙනදාට වඩා ටිකක් කාර්යයබහුලයි.

*ඔබ මෑතකදී උසස් පෙළ විභාගයට මුහුණදුන්නා. ඒ එක්කම කොහොමද ඔබ අධ්‍යාපනය පැත්තෙන් ඔබේ වැඩ කටයුතු?
මම 2010 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටියා. 2011 වසරේ එහි ප්‍රතිඵල ආවට පස්සේ බොහොම කාර්යයබහුල වෙලයි හිටියේ. ඒ නිසා වැඩිදුර අධ්‍යාපන කටයුතුවලට යොමුවෙන්න මට කාලයක් ලැබුණේ නෑ. 

ඉතින් මේ 2012 වසරේදී වත් කාල වේලාව එහාමෙහා කරගෙන වැඩිදුර අධ්‍යාපනයට යොමුවෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. මගේ ආසාවක් තියෙනවා ව්‍යාපාරික අංශයට යොමුවෙන්න.  ඒ නිසා ඒ හා සම්බන්ධව අධ්‍යාපනය හදාරන්න බලාපො‍රොත්තුවෙන් ඉන්නවා. මම කැමතියි ඇගලුම් කර්මාන්තය සහ අවන්හලක් වැනි පැත්තකට යොමුවෙන්න. මම මුලින්ම ඇඟලුම් කර්මාන්තයට යොමුවෙයි.

*ඔබ ලේඛන කලාව පැත්තටත් යොමුවෙලා ඉන්න බව අපිට දැනගන්නා ලැබුණා?
පොඩි කාලේ ඉඳන් ලියන්න ගොඩක් ආසයි. මම නිසඳැස් වගේ දේවල් ගොඩක් ලියනවා. සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉන්න කාලේ මම නවකතා ලියන්න පටන්ගත්තා. හැබැයි එකක්වත් ඉවරකළේ නෑ. කාටවත් පෙන්නන්නත් ලැජ්ජයි. දැනට ඒ වගේ ලියපු නවකතා 03 ක් විතර තියෙනවා. ඒ හැම නවකතාවක්ම ඉදිරියේ දී එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.  

*ශලිනි, ඔබ රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ අහම්බයක් විදිහට. ඒ අවස්ථාව ගැන දැන් මොකද හිතන්නේ?
ඔව්, 2007 වසරේ මම බොහොම අහම්බයෙන් ක්ෂේත්‍රයට පිවිසුණේ. එතැන් සිට මේ දක්වා මම ටෙලි නාට්‍ය 15 ට සම්බන්ධ වෙලා තියෙනවා. ඉදිරියේදී මම දායකවුණු නිර්මාණ 05 ක් විකාශය වෙන්න නියමිතව තිබෙනවා.මම හිතනවා මගේ සමකාලීනයන් සමග බලද්දි මට හොඳ නිර්මාණවලට දායකවෙන්න අවස්ථාව ලැබුණා කියලා. ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා. මම ක්ෂේත්‍රයට ආවේ අකමැත්තෙන්. නමුත් දැන් කැමැත්තෙන් වැඩ කටයුතු කරගෙන යනවා. පොඩි කාලේ මම හීන මැව්වේ ගුවන් සේවිකාවක් වෙන්න. මම දන්නේ නෑ ඇයි මට එහෙම ආසාවක් ඇතිවුණේ කියලා. අදටත් ඒ ආසාව නැතුව නෙමෙයි. නමුත් දැන් ඉතින් බෑ කියලා හිතෙනවා. 
 
*දීර්ඝකාලීනව වෘත්තීය රංගන ශිල්පිණියක් විදිහට ක්ෂේත්‍රයේ රැඳී ඉන්න ඔබ බලාපොරොත්තු වෙනවද?
දීර්ඝකාලීනව ක්ෂේත්‍රයේ රැඳෙන්න බලාපොරොත්තුවක් නෑ. මම මුලින් කිව්වේ ඒකයි මම ව්‍යාපාරික පැත්තට යොමුවෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. තව අවුරුදු 03 විතර මම ක්ෂේත්‍රයේ රැඳිලා ඉඳීවි. මම ක්ෂේත්‍ර‍යට එද්දිම තීරණය කළා මගේ විවාහයත් සමග මේ ක්ෂේත්‍රයෙන් ඉවත්වෙනවා කියලා. මම ඒ දැඩි තීරණේ ස්ථාවරව රැඳිලා ඉන්නවා. මේ තාක් දුරට මම මගේ ජීවිතේ ප්‍රතිපත්ති බිඳලා නෑ. ඉතින් ඒ ප්‍රතිපත්ති ඒ විදිහටම රැකගෙන මගේ සීමා මායිම් මත හොඳ නිර්මාණවලට දායකවෙලා, ප්‍රේක්ෂක ආදරය ඒ විදිහටම තියාගෙන ක්ෂේත්‍රයෙන් ඉවත්වීම තමයි මගේ බලාපොරොත්තුව. නමුත් මම ඉවත්වෙන්නේ රංගනයෙන්. සමහරවිට වෙනත් අංශයකින් මම ක්ෂේත්‍රය තුළ රැඳීඉන්න ඉඩ තියෙනවා.

*ඒ කියන්නේ තවත් අවුරුදු 03 න් පමණ පසු අපට ඔබේ විවාහය ගැන දැනගන්න ලැබෙයිද?
ඒ ගැන නම් දන්නේ නෑ. බලාපොරොත්තුවක් තියෙනවා වසර 03 න් විවාහවෙන්න. ඒත්, එහෙම වෙයිද දන්නේ නෑ. විවාහයත් එක්ක මම ක්ෂේත්‍රයෙන් ඉවත්වෙනවා.

*ජනප්‍රියත්වය ඔබට ආභරණයක්ද?
ජනප්‍රියත්වය ආභරණයක්. ආභරණයක් පළඳින්නේ ලස්සන වෙන්න. ඒ නිසා මම ලබපු ජනප්‍රියත්වය මම මගේ ජීවිතය ලස්සන කරගන්න තමයි පළඳින්නේ.

*ශලිනි, ඔබේ කලා ජීවිතය තුළ ඔබ විසින් පනවාගත් කිසියම් සීමා මායිම් තිබෙනවාද?
මම මගේ වයසට ගැළපෙන සහ මගේ අනාගතයට හානියක් නොවන චරිත තමයි තෝරාබේරාගෙන කරන්නේ. ඒක තමයි මගේ ලොකුම සීමාව. ඊට අමතරව මට චරිතයක් ලැබුණම මම අනිත් අයගෙනුත් ඒ ගැන අදහස් විමසලා බලනවා. නමුත් මේ දක්වා ම‍ගේ සීමාවෙන් පිට පැනපු නිර්මාණවලට ආරාධනා ලැබිලා නෑ. ඒකත් මගේ වාසනාව. හැම නිර්මාණයකටම බෑ කියන්නේ සිද්ධවෙලා නෑ.

*යම් ක්ෂේත්‍රයකින් ජනප්‍රියත්වයක් ගොඩනගාගත් පුද්ගලයින්ට, විශේෂයෙන් කාන්තා පාර්ශවයට ටිකක් වැඩිපුර කටකතාවලට මුහුණදෙන්න සිද්ධවෙනවා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?

මුල්කාලේ නම් මම ඒ ගැන ගොඩක් කණගා‍ටුවට පත්වුණා. දුකින් අඬ අඬ හිටියා. දැන් නම් ඒවා ගානක් නෑ. කටකතා කියන්නේ සාමාන්‍ය දෙයක්. ඕනම කෙනෙක්ට පතුරුවන්න පුළුවන්. නමුත් කෙනෙක් කටකතාවක් පතුරුවද්දි පොඩ්ඩක් හිතන්න ඕන ඒකෙන් තව කෙනෙක්ට කොයිතරම් කැළලක් වෙනවද කියලා. මම නම් දැන් කටකතා ගැන හිතන්නේ නෑ. කතාවකුත් තියෙනවනේ ඵල ඇති රුකටයි ගල් වදින්නේ කියලා. මේ දක්වා මට ඇතිවුණු කිසිම කටකතාවක් කවුරුවත් ඔප්පු කරලා නෑ. පසුගිය දවසක පුවත්පතක මම සහ තවත් පුද්ගලයෙකු සම්බන්ධ කරලා කටකතාවක් පළකරලා තිබුණා. 

ඒ සම්බන්ධව අලුත් අවුරුද්ද ලබද්දිම මට ගොඩක් දුරකථන ඇමතුම් ආවා. මම ඒ ගැන එම පුවත්පතෙන් විමසීමක් කළා මෙවැනි දේවල් සොයාබැලීමකින් තොරව පළකරන්නේ ඇයි කියලා. ඔවුන් ඒ ගැන මගෙන් සමාව ඉල්ලීමක් කළා.

*ශලිනි, අපේ රටේ ඇතැම් රංගන ශිල්පිණියන් පහසුවෙන් මුදල් ඉපයීම සඳහා සමාජ විරෝධී මාර්ගයන්ට පිවිසුණු බවට පසුගිය දිනවල තොරතුරු හෙළිවුණා. මේ සම්බන්ධව ඔබ මොන වගේ අදහසක්ද දරන්නේ?
මම ඔවුන් රංගන ශිල්පිණියන් නොකියා නිළියන් කියලා හඳුන්වන්නම්. ඉතින් හැමෝම එකම මිම්මෙන් මනින්නේ නැතුව පොඩ්ඩක් ඇස් කන් ඇරලා බලන්න කියලා ඉල්ලනවා. දැන් කාලේ රූප රාමුව පිටිපස්සෙන් ගියත් කියන්නේ එයා නිළියක් කියලා. ඉතින්, මම වුණත් ඔය කියන සිද්ධිවලට සම්බන්ධ බව කියන, මාධ්‍ය ඔස්සේ හෙළිකරපු නිළියන් නිර්මාණවල නම් දැකලා නෑ. ඔවුන් තමන් නිළියන් කියලා හිතාගෙන ඒ මුදල් ඉපයීම් කරනවා ඇති. ඒ ගැන හැමෝම එකතුවෙලා පියවරක් ගන්න ඕන. නැත්නම් එයින් අනාගතයේ ක්ෂේත්‍රයට සම්බන්ධවෙන්න ඉන්න පිරිසට සහ සම්බන්ධවෙලා ඉන්න රංගන ශිල්පිණියන්ට ලොකු කැළලක් වෙනවා.

*ඔබේ කලා කටයුතු ගැන අපි බොහෝ විස්තර කතාකළ නිසා ඔබේ පවුලේ සාමාජිකයින් ගැනත් විස්තර ටිකක් දැනගන්න ඔබට ආදරය කරන ඔබේ රසික රසිකාවියන් කැමති වේවි?  
මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා රූපලාවන්‍ය ශිල්පිණියක්. ඇය රංගනයටත් ටිකක් විතර සම්බන්ධ වෙලා ඉන්නවා. මට නංගි කෙනෙක් සහ අයියා කෙනෙක් ඉන්නවා. නංගි තවම පාසල් යනවා. 
 
*ඔබ කොහොමද ඔබේ විවේකය විනෝදයෙන් ගතකරන්නේ?
විවේකයක් ලැබුණොත් මම පැය කිහිපයක් නිදාගන්නවා. දැනට මම ඉන්නේ කොළඹ. ඉතින් ඉඩක් ලැබුණොත් මම මීගමුව මගේ ගෙදරට යනවා. ඒ වගේම මගේ යාළුවෝ හම්බවෙන්න යනවා. මම වැඩිපුර කැමති නිදහස් වෙලාවක් ලැබුණොත් කිසිකෙනෙක් නැතිව ටිකක් නිදහසේ ඉන්නයි.

*ක්ෂේත්‍රයේ වැඩ කරද්දි හෝ ඔබේ පෞද්ගලික ජීවිතයේදී ඔබට විවිධ සිත් රිදවීම්වලට මුහුණදෙන්න සිද්ධවෙනවා. මෑතකදී ඔබට මුහුණදෙන්න සිද්ධවුණු ඒ වගේ අවස්ථාවක් මතක්කරන්න පුළුවන්ද?
එහෙම ලොකු හිත් රිදවීම් නම් මට ඇතිවෙලා නෑ. මොකද මගේ හිත රිද්දුවත් මම ගණන් ගන්නේ නෑ. ඉතින් ඒ නිසා මට ඒක දැනෙන්නේ නෑ.  හැබැයි ඒ වගේ සිත් රිදවීමක් වුණොත් මට ඇ‍ඬෙනවා. ප්‍රශ්නයක් ඇතිවුණොත් නම් මම ඒ ගැන කෙලින්ම අහලා විසඳුමකට එනවා.

*පුංචි තිරයේ වගේම රිදී තිරයෙත් ආදරණීය පෙම්වතිය වන ඔබ මේ වෙනකොට සැබෑ ජීවිතයේත් පෙම්වතියක්ද කියලා ඇහුවොත්?
තවම නෑ.

*ඔබ බලාපොරොත්තු‍ වෙන්නේ මොනවගේ සහකරුවෙක්ද?

මම සුදු අයට කැමති නෑ. ඒ නිසා ඔහු කොහොමත් සුදු කෙනෙක් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම උස වෙන්න ඕන. සුදු නැති උස කෙනෙක් හොඳයි. ගතිගුණ ගැන කිව්වොත්, කතා දෙකක් නෑ මට අවංකව ආදරය කරන්න ඕනෙ. සහ මාව හොඳට බලාගන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕනෙ. මම ගැන හොඳට හොයලා බලන්න ඕනෙ.

*සාමාන්‍ය ජීවිතයේ ශලිනි තාරකා හඳුන්වාදෙන්න පුළුවන් කොහොමද?
මම බොහොම සාමාන්‍යයි. විනෝදෙන් ඉන්න කැමතියි. පොළවේ පය ගහල ඉන්න කෙනෙක්.

*කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නොවුණා නම් ඔබ මොනවගේ ක්ෂේත්‍රයකට සම්බන්ධ වෙයිද?
ගුවන් සේවිකාවක් වෙයි. එහෙමත් නැත්නම් ගෙදරට වෙලා ඉඳීවි.

*මේ දවස්වල කලා ශිල්පිණියන් කරන චෝදනාවක් තමයි අන්තර්ජාලය හරහා ඔවුන් පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙනවා කියන දෙය. විශේෂයෙන් ෆේස්බුක් වෙබි අඩවිය හරහා. ඇතැම්විට තමන්ගේ නම්වලින් ව්‍යාජ ගිණූම් නිර්මාණය කරලා තියෙනවා කියලා ඔවුන් චෝදනා කරනවා. මේ ගැන ඔබේ අත්දැකීම මොන වගේද?

මගේ නමින් ඒ වගේ ව්‍යාජ ගිණුම් ගොඩක් හදලා තියෙනවා. ඒ නිසා මම වෙනත් නමකින් එම වෙබ් අඩවියේ ඉන්නවා.

HARD TALK

*ක්ෂේත්‍රයේ ඔබ සමග වැඩ කළ කිසියම් ශිල්පියෙකුගෙන් ඔබ ආදර යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවාද?
 ඔව්.

*ක්ෂේත්‍රයේ කිසියම් ශිල්පියෙකු ගැන ඔබ තුළ කිසියම් කැමැත්තක් ඇතිවෙලා තියෙනවද?
ඔව්.

*ඔබ ප්‍රථම ආදර සම්බන්ධව කොපමණ කල් පැවතුණාද?
වසර තුනක්.

*ඔබේ විවාහයේ දී ජ්‍යොතිෂයට මුල් තැනක් දෙනවද?
ඔව්.

*දේශපාලනයට සම්බන්ධවෙන්න අවස්ථාවක් ලැබුණොත් බාරගන්නවද?
නැහැ.

*සාර්ථක රංගන ශිල්පිණියක් ඔබ වඩා වඩා වැදගත්කොට සලකන්නේ මුදල්, සම්මාන, ජනප්‍රියත්වය?
ජනප්‍රියත්වය.




*සම්පූර්ණ නම

ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා

*උපන්දිනය

1990. 11. 15

*ලග්නය

කුම්භ

*උස

අඩි 05 අඟල් 3 ½ 

*ප්‍රියතම විලාසිතාව

ඩෙනිම් කලිසමයි, ටී ෂර්ට් එකයි

 
Related Posts with Thumbnails