Ads 468x60px

.

නව වසරේ ප්‍රාර්ථනා


අධ්‍යක්ෂවරයෙක් විදිහට දොරට වඩිනවා

රවීන්ද්‍ර රන්දෙණිය
නව වසර පිළිබඳ කතා කරත්දී පසුගිය වසර ගැන කතා කළොත්, පසුගිය වසර මම මේ රටේ ජනතාවට ඉතාම සමීප වුණු වසරක් වුණා.ඒ සමීප භාවය තවදුරටත් රැක ගනිමින් වසර 41 ක් පුරා ආ මේ ගමන්මඟ මගේ ආදරණීය රසිකයන්ගේ ආදරය දිනමින් ඔවුන් වෙනුවෙන් මගේ වෘත්තිය ජීවිතය තුළ යමක් කරන්නට මේ වසරේදීත් මට හැකි වේවි කියා මම හිතනවා.

ඒ වගේම මේ රටේ යහපත් පුරවැසියෙක් විදිහට ජීවත්වීම මගේ බලාපොරොත්තුවක්.
ඒ අතර මගේ කලා ජීවිතේ කලා කටයුතු ගැන කතා කළොත් මේ වසරේ ටෙලි නාට්‍යයක සහ චිත්‍රපටයක රඟපෑම සඳහා ආරාධනා ලැබී තිබෙනවා. ඒ වගේම මගේ චිත්‍රපට නිෂ්පාදන ආයතනයෙන් ජාත්‍යන්තර චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ සැලැසුමක් තිබෙනවා.
මේ ඔස්සේ බොහෝ විට අධ්‍යක්ෂවරයෙක් විදිහට දොරට වඩින්නට මේ වසරේ මට හැකි වේවි කියා මම හිතනවා.





‘ගාමණි’ සමඟ මුම්බායි යනවා

සනත් ගුණතිලක
ලැබුවා වූ නව වසර මේ රටේ සියලුම ජනතාවට සතුට සාමය සෞභාග්‍යය සපිරුණු නව වසරක් වේවායි කියා මම ප්‍රාර්ථනා කරනවා.ඇත්තටම මේ නව වසරේ දී මෙරට දේශීය සිනමා කර්මාන්තයට කිසියම් වූ ප්‍රගතියක් ඇති වේවි කියලා මම විශ්වාස කරනවා. මම එයින් අදහස් කළේ එහෙම ප්‍රගතියක් ඇති නොවෙනවා කියලා නෙවෙයි. අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට සෘජුවම මේ කර්මාන්තයට යොමු වී තිබෙනවා.
එය තමයි මගේ තිබෙන සතුටට කරුණ. 

මේ රටේ සිනමා කර්මාන්තයේ නියැලෙන සියලුම ශිල්පීන්ට යම් ආකාරයක සුගතියක්, ප්‍රගතියක් ඇති වෙනවා නම් එතැනට ඕනෑම අවස්ථාවක මගේ උපකාරය, අනුබලය ආශිර්වාදය ලැබෙනවා විශේෂයෙන්ම සිනමාව හා ටෙලි නාට්‍යය කර්මාන්තයේ නියැලෙන ශිල්පී ශිල්පිනියනට රක්ෂණ යෝජනා ක්‍රමයක් යෝජනා වී තිබෙනවා.
මෙය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා සිනමා කලා කර්මාන්තයේ නියැලෙන අයට යහපතක් සැලසේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නව සිනමා නිර්මාණ කීපයකටම මේ වසරේ දායක වීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වන සාකච්ඡා මේ දිනවල සිදු වෙනවා. ඊට අමතරව ‘ගාමණි’ චිත්‍රපටයත් සමඟ ඉන්දියාවේ මුම්බායි චිත්‍රපට උලෙළට සහභාගි වෙන්නට මේ වසරේ විදේශ ගතවෙන්නට මම සූදානමින් සිටිනවා.





අධ්‍යක්ෂණය කරපු මුල්ම චිත්‍රපටය මේ වසරේ තිරයට

අර්ජුන් කමලනාත්
ලැබුවා වූ මේ නව වසර හැම දෙනාටම සාමය සතුට සපිරි සුබ නව වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම මේ නව වසරේ හා හා පුරා කියා මම කුලුඳුලේම අධ්‍යක්ෂණය කරපු ‘ඉඟිල්ලෙන්න ඇයි දඟලන්නේ’ චිත්‍රපටය තිරගත වෙනවා.මේ නිසා අධ්‍යක්ෂවරයෙක් විදිහටත් රංගන ශිල්පියෙක් විදිහටත් මගේ කලා කටයුතු තව තවත් පුළුල් වෙනවා.ඒත් එක්කම මම රංගනයෙන් දායක වුණු ‘සක්විති දඩයම’ මේ 12 වැනිදා තිරගත වෙනවා.එහි විජය නන්දසිරි සමඟ ප්‍රධාන චරිතය මම නිරූපණය කරනවා.






‘ඉරි’ සමඟ රට වටේ යනවා

ජයසේකර අපෝන්සු
අලුත් අවුරුද්දේ අලුත් තිළිණයක් මගේ පේ‍්‍රක්ෂක, රසික ජනතාවට පුද දෙන්න සූදානමින් තමයි මේ දිනවල මම පසුවෙන්නේ.මූලිකවම මම අධ්‍යක්ෂණය කළ ‘සීතා මං ආවා’ චිත්‍රපටය මේ වසරේ පෙබරවාරි මස එළිදක්වන්න තමයි මගේ බලාපොරොත්තුව.
මේ දවස්වල එහි සංස්කරණ කටයුතුත් පසුබිම් සංගීතය සඳහාත් වෙහෙසෙනවා.
ඒ වගේම මේ වසරේ මගේ ‘ඉරි’ වේදිකා නාට්‍ය සමඟත් රට වටා යන්නට මම බලාපොරොත්තු වෙනවා.ඇත්තටම පේ‍්‍රක්ෂකයන්ට හිනාවෙමින් ඉතා සතුටින් නරඹන්නට හැකි නිර්මාණ කීපයක්ම මේ වසරේ තිළිණ කරන්නට ලැබීම ගැන මම සතුටු වෙනවා.










නව වසරේත් මගේ කැපවීම ජනතා සේවයටයි

ගීතා කුමාරසිංහ
මේ ලැබූ නව වසර මේ රටේ සියලුම ජනතාවට යහපත පිරුණු වාසනාවන්ත නව වසරක් වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.මෙතෙක් කාලයක් සිනමා නිළියක ලෙස මගේ දායකත්වය මේ රටේ කලාව පෝෂණය කිරීම උදෙසා මා ලබාදුන්නා.නමුත් අද වන විට මම ජනතාව ළඟට ගිහින් ඔවුන් වෙනුවෙන් ඔවුනගේ දුක හඳුනාගෙන සියයට සීයක්ම ඔවුන් වෙනුවෙන් කැපවී කටයුතු කරනවා.මම දේශපාලනය කරන එකම අරමුණ මගේ ජනතාවයි. ඔවුන් වෙනුවෙන් තව තවත් ළං වෙලා උපරිමයෙන් කැපවෙලා මේ වසරේදීත් සේවය කරන්නයි මගේ බලාපොරොත්තුව.ඒ වගේම මේ රටේ දුක් විඳින සැබෑ ජනතාවගේ සිතුම් පැතුම්වල සැබෑ අරුත හඳුනාගත් සංවර්ධනයක් මේ රට තුළ ඉදිරියට ඇතිවේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.






මගේ චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනයට සූදානම්

නීටා ප්‍රනාන්දු
ලැබුවා වූ නව වසර ශ්‍රී ලාංකේය සියලුම ජනතාවට ශාරීරික සහ මානසික සතුට සැනසුම පිරුණු සුබ නව වසරක් වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.මේ ලැබූ නව වසරේ ජාති, ආගම්, කුල භේදවලින් තොරව මේ යන ගමන එක්සත්ව එක්සිත්ව සතුටින් සාමයෙන් අපි හැමටම ඉදිරියටම යන්න සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියා පතනවා.ඒ වගේම මගේ වෘත්තීය ජීවිතය පැත්තෙන් ගත්තොත් මේ නව වසරේදීත් මගේ කලා කටයුතු, මව ඇතුළු සහෝදර සහෝදරියන් රැකබලා ගනිමින්. කලා ලොවේ ශිල්පීන් සමඟ සුහදව සමීපව කටයුතු කරමින් සුපුරුදු විදිහටම කරගෙන යන්නට මම බලාපොරොත්තු වෙනවා.ඒ වගේම ‘තේජා’ ‘ස්වර’ කියන චිත්‍රපට දෙකත් මේ වසරේ මහජන ප්‍රදර්ශනයට සූදානම්. ඒ නිසා මේ සියලු කටයුතු සාර්ථකව ඉටුකර ගැනීමයි මේ වසරේ මගේ පැතුම.





නව වසරේ ‘සිරි පැරකුම්බා’ අරඔනවා

රේණුකා බාලසූරිය
අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු දෙකකින් මගේ සිත පිරිලා තිබෙනවා.
ඉන් එකක් තමයි ‘කුස පබා’ චිත්‍රපටය තිරගත වීම. එය මේ ජනවාරි 26 වැනිදා ප්‍රදර්ශනය අරඹනවා.ඒ වගේම අපේ නවතම චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා.‘සිරි පැරකුම්බා’ නමින් නිර්මාණය වන මේ චිත්‍රපටය දඹදෙණි යුගයේ රජ කළ පරාක්‍රමබාහු රජතුමාගේ ළමා කාල වකවානුව අලළා කෙරෙන නිර්මාණයක්.මේ නිසා මේ කටයුතු සාර්ථකව කරගන්න එකයි මගේ බලාපොරොත්තුව.







‘කුස පබා’ට ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා

මහාචාර්ය සුනිල් ආරියරත්න
එළැඹුණු නව වසරේ මගේ එකම බලාපොරොත්තුව තමයි ‘කුස පබා’ චිත්‍රපටය.
මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා විදිහට මෙහි රූගත කිරීම් ඇරැඹුවේ පසුගිය 2011 වසරේ ජනවාරි 01 වැනිදා.එය මේ වසරේ තිරගත වෙනවා. එය ඉතාම හොඳින් සාර්ථකව තිරගත වේවි කියන විශ්වාසය මා තුළ තිබෙනවා.ඒ නිසාම චිත්‍රපටය පිළිබඳ විචාරක, පේ‍්‍රක්ෂක, රසික ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් මේ වසර අරඹන්න මම සූදානම්.










වාර්තා චිත්‍රපට කීපයක් නිර්මාණය කරනවා

බර්ට්‍රම් නිහාල්
මේ උදාවූ නව වසරේ වැඩ කටයුතු කිහිපයක්ම සිදු කිරීමට සැලසුම් කරගෙන තිබෙනවා.
විශේෂයෙන්ම වාර්තා චිත්‍රපටි කිහිපයක්ම නිර්මාණය කිරීමේ කාර්යය මේ වන විට අරඹා තිබෙනවා.නව නිර්මාණයක් සඳහා නවතම පිටපතක් රචනා කරමින් ඉන්නේ.එය රසික ජනතාවට ටෙලි නාට්‍යයක් විදිහට රස විඳින්ට හැකි වේවි ද කියා දැන්මම කියන්නට බැහැ.මේ නව වසරේ නවතම නිර්මාණයකින් මගේ රසික ජනතාව හමුවට එන්නට මම සූදානම් වෙනවා.









හැමදේම සුබවාදීව හිතමු දකිමු

ලක්ෂ්මන් හුළුගල්ලේ
ලැබුවා වූ මේ නව වසර ශ්‍රී ලංකාවාසී සැමට සාමය සතුට සහජීවනය පිරි සුබ නව වසරක් වේවා කියා පළමුව මම ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම, මේ නව වසර ලංකාවාසීන් හැටියට අපේ රට දැවැන්ත සංවර්ධනයකට වේගවත්ව පියවර මනින වසරක් වේවි කියා මම විශ්වාස කරනවා.අද වන විට මේ රට සාමය සංවර්ධනය පෙරදැරි කරගෙන හරි යකත්වයක් යටතේ ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ වේගවත් ර්ධනයකින් ඉදිරියට යනවා. මම දකින විදිහට 2005 වසරේ සිට අපි ආ ගමන්මඟ 2012 වන විට වදුරටත් වේගවත් වෙලා තිබෙනවා.

මුළුමහත් ජනතාවම වැඩි වැඩියෙන් සංවර්ධන මාවතේ ඉදිරියට යන ගමනක් පෙනෙන්නට තිබෙනවා. ඒ හැම දේටම නොසැලී කටයුතු කරන්නට පුළුවන් අයෝමය නායකත්වයක් අපට ලැබිලා තිබෙනවා.ඒ නිසා රටේ ජනතාව හැටියට මේ වසර ඉතාම සාමකාමීව, සංවර්ධනය පෙරදැරිව ඉතා සාර්ථක ගමනක් යන්නට පුළුවන් කියා මම විශ්වාස කරනවා.අද මේ රටේ ශෝකාන්ත කාලය අවසන් වෙලා ජය සතුට පිරුණු දේ ඉදිරියට ඇවිත් තිබෙනවා. ඒ නිසා අපි හැමදේම සුබවාදීව හිතමු දකිමු කියා මම සැමගෙන්ම ඉල්ලා සිටිනවා.






මීළඟ ටෙලි නාට්‍යය ඉතාලියේ

ශි‍්‍රයානි අමරසේන
සියලුම රසික ජනතාවට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.ඒ සමඟම මේ නව වසරේ මම නියැලීමට බලාපොරොත්තු වන කලා කටයුතු කිහිපයක්ම තිබෙනවා.ඉන් ප්‍රධානම වන්නේ නවතම ටෙලි නාට්‍යයක් විදේශයකදී නිර්මාණය කිරීමයි.ඉතාලියේ දී රූගත කෙරෙන මේ ටෙලි නාට්‍යයේ තිර රචනය අධ්‍යක්ෂණය සිදු කරන්නේ මා විසින්මයි.මේ සියලු කලා කටයුතු සාර්ථකව ඉටු කරන්නට මේ නව වසරේ මම බලාපොරොත්තු වෙනවා.











මේ වසරේත් ශාස්ත්‍රීය ග්‍රන්ථ දෙකක්

සනත් නන්දසිරි
හැම වසරක්ම ආරම්භ වෙන කොට අපි කවුරුත් බලාපොරොත්තු ;වන්නේ අලුත් නිර්මාණයක්, අලුත් දෙයක් සමාජයට තිළිණ කරන්නයි.මගෙත් ඒකායන බලාපොරොත්තුව මේ වසරේ අලුත් යමක් මගේ රසිකයන්ට, සිසු සිසුවියන්ට ලබාදීමයි.පසුගිය වසරේ මම ශාස්ත්‍රීය ග්‍රන්ථ දෙකක් එළිදැක්වූවා.ඒ වගේම ලැබුවා වූ මේ වසරේ දීත් නවතම ශාස්ත්‍රීය ග්‍රන්ථයක් එළිදක්වන්නට අදහස් කරනවා.








නව පොත් ප්‍රදර්ශන අලෙවි මන්දිරයක් විවෘත කරනවා

පේ‍්‍රම් දිසානායක
එළැඹුණු මේ නව වසරේ අලුත් අරමුණු හා බලාපොරොත්තු රැසක් සමඟ කලා කටයුතු කීපයක් සමඟම අත්වැල් බැඳගෙන සිටිනවා.වෘත්තීය මට්ටමෙන් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරක ක්ෂේත්‍රයේ ග්‍රැෆික් නිර්මාණ අංශයේ නව ඉසව් කීපයක් කරා අවතීර්ණ වන්නට අපි බලාපොරොත්තු වෙනවා.අපේ මුද්‍රණ අංශය වඩාත් නවීනතම පහසුකම් රැසකින් නවීකරණය කිරීමත් මේ අවුරුද්දේ අපේ තවත් අපේක්ෂාවක්.

2012 වසර වෙනුවෙන් විශිෂ්ටතම පරිවර්තන කෘති සහ නවකතා රැසක් ද ශාස්ත්‍රීය නිබන්ධන කීපයක් ද එළිදැක්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ අතරම අපගේ ප්‍රකාශන අංශය සඳහා වඩාත් පහසුකම් හා ඉඩකඩ සහිත නව පොත් ප්‍රදර්ශන අලෙවි මන්දිරයක් විවෘත කිරීමට ද අපේක්ෂා කරමින් සිටිනවා.මේ සියලු බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන්නේ තිස් වසරක ශාපලත් යුද්ධය නිමා වීමෙන් පසු ඇතිවී තිබෙන නිදහස්, නිවහල් සමාජීය හා ආර්ථික පසුබිම විසින් සිදු කරනු ලබන උත්තේජනය නිසා බව ද සඳහන් කළ යුතුයි.
 
Related Posts with Thumbnails